සා පිපාසා දී දුකෙහි නො වැටෙන්නට නම් ...

සා පිපාසා දී දුකෙහි නො වැටෙන්නට නම් ...

දන් දීම ලොව ඇති ප්‍රධානතම පුණ්‍ය කර්මයකි. ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. ලෝකයේ දන්දීමේ ආනිශංස බුදු කෙනෙකු තරම් කිසිවකු නොදන්නාහ. බුදු හිමියන් දේශනා කොට ඇති ආකාරයට දන්දීමේ ආනිශංස මා තරම් යමෙක් දන්නේ නම් අතට ගත් බත් පතෙන් බත් සරලුවක්වත් සතකුට නොදී අනුභව නොකරන බව ය.

එම සත්‍ය දැන හැඳින ගැනීමට නම් හෝ දානානිශංස පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු ය. ඒ සඳහා බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත සේ ම සූත්‍රත්, ඇතැම් ජාතක කතාත් පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. බුද්ධ චරිතය තුළ දානය හා දානානිශංස පිළිබඳ නිරන්තරයෙන් උදාහරණ හමුවේ. උන් වහන්සේ පෙර ආත්මවල කළ දාන පාරමිතාව ඉතා ඉහළ ය.

සාගරයේ ජල කඳ පරදා රුධිරය දන්දීම, පොළොවේ පස්කඳ පරදා මස් දන්දීම, අහසේ තරු පරදා ඇස් දන් දීම, මහාමේරු පර්වත රාජයා පරදා හිස් දන් දීම ආත්මවල පිරූ දාන පාරමිතාවේ සම්පිණ්ඩනයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

වෙස්සන්තර ජාතකය තුළ අඹුදරුවන් පවා දන්දීමට උන්වහන්සේ සමත් වූහ.

එසේ නම් දානය එතරම් ජීවිතය හා සම්බන්ධ වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සිතා බැලිය යුතු ය. සත්වයාගේ උපතින් ම ඇති මනෝභාවයන් ප්‍රභාස්වර වුව ද ආගන්තුක ව එළඹෙන අකුසල සිතිවිලි තුළින් මනස කිලිටි වනු ඇත. සිතේ ප්‍රසන්න බව, පැහැය, දීප්තිමත් බව ආගන්තුක ව පැමිණෙන කෙලෙස් සමූහයා තුළින් අපවිත්‍ර වනු ඇත. ඒ අනුව එම කිලිටි වන සිත තාවකාලික වශයෙන් පිරිසුදු කර ගැනීමට එකම සාධකය වන්නේ දන් දීම ය. මනසට දිය යුතු කෙටිකාලීන විසඳුමක් හැටියට එදිනෙදා ජීවිතය නිරවුල් ව හා පිරිසුදු ව පවත්වා ගෙන යෑමට දන්දීම තරම් පිටිවහලක් සත්වයාට තවත් නොමැත.

ලෞකික වශයෙන් ඕනෑම සත්වයකුගේ ප්‍රාර්ථනය වන්නේ වර්ෂ සියයකට වැඩි හෝ ඊට ආසන්න කාලයක් ජීවත් වීම ය. ඒ කාලය තුළ පැහැපත් වර්ණයක්, සැපයක්, බලයක් හා ප්‍රඥාවක් ඇතිව ද ජීවත් වීමට උත්සාහවත් වනු ඇත. නමුදු ඒවා ඉබේ නොලැබෙනු ඇත. ඒ සඳහා පෙර දන් දුන් පිළිවෙළ හා වර්තමානය තුළ දන් දෙන පිළිවෙළ සෘජුව ම බලපානු ඇත. සක්‍ර දේවේන්ද්‍ර හා දෙවි දේවතා සම්පත්ති, සක්විති සම්පත්ති, රාජ රාජ මහා මාත්‍යාදී සම්පත්ති, සිටු මැති තනතුරු ආදී සියල්ලට ම දානය සෘජුව ම බලපා ඇති ආකාරය ත්‍රිපිටකය හා ඓතිහාසික කතා පුවත් තුළින් අනාවරණය වේ.

බුදුරදුන් දානයට දී ඇති ස්ථානය පිළිබඳ විමසීමේ දී ඒ බව තවත් පැහැදිලි වනු ඇත.

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා 1 දානය

සතර සංග්‍රහ වස්තු 1 දානය

දස පුණ්‍යක්‍රියා 1 දානය

දස පාරමිතා 1 දානය

දස රාජ ධර්ම 1 දානය

ඒ සෑම තැනක දී ම දානය ම මුලට යොදා ඇත. දානයට ප්‍රමුඛස්ථානය දී ඇත. එයින් පැහැදිලි වන්නේ දානය ම සත්වයාගේ ලෞකික හා ලෝකෝත්තර සැපත ඇති කරවන බවයි.

ස.නි. දේවතා සංයුක්තයේ ආදිත්ත වග්ගයේ කිංදද සූත්‍රය තුළින් දන් දීමේ අනුසස් ගැන විවරණය කොට ඇත. එනම්,

අන්නදො බලදො හොති - වත්ථදො හොති වණ්ණදො
යානදො සුඛදො හොති - දීපදො හෝති චක්ඛුදො
සොච සබ්බදදො හොති - යො දදාති උපස්සයං
අමතං දදොච සො හොති - යො ධම්මමනුසාසතීති

ආහාර දෙන්නේ බලය දෙන්නේ වෙයි. වස්ත්‍ර දෙන්නේ වර්ණය දෙන්නේ වෙයි. යාන දෙන්නේ සැප දෙන්නේ වෙයි. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වෙයි. යමෙක් ආවාස දේ. හෙතෙම සියල්ල දෙන්නේත් වෙයි. යමෙක් ධර්මානුශාසනා කෙරේ ද හෙතෙම අමෘතය (නිවන) දෙන්නේත් වෙයි)

මේ ආදී වශයෙන් සත්වයාට දිට්ඨ ධම්මවේදනීය වශයෙන් දන් දීමේ ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ සඳහා මනෝභාවයන් සකස් කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. ස්වභාවයෙන් ම පුහුදුන් සත්වයා ගොඩගසා ගැනීමට, තව තවත් රැස් කිරීමට, තව තවත් ලබා ගැනීමට උපන් ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. එම ආත්මාර්ථකාමී මනෝභාවයන් වෙනස් වනුයේ බුදුන් දෙසූ දීමේ ආනිශංස දැක්වෙන ධර්මතාවන් තුළිනි. ඒ අනුව ආත්ම ශක්තිය තුළින් සිතට නැඟෙන ආත්මාර්ථකාමී සිතිවිලි මැඬ පවත්වා, ඒවා යටපත් කොට දානය පුරුදු පුහුණු කිරීම ලෞකික හෝ ලෝකෝත්තර දෙඅංශයට ම හේතු වේ.

සත්වයා විවිධ ආභරණ පළඳිනු ඇත. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයේ අය බහුවිධ ආභරණ පළඳින්නාහ. ඒ රන්, රිදී, මිණි, මුතු හා තවත් ලෝහමය ඝන ද්‍රව්‍යවලින් යුක්ත ඒවා ය. ඒවාට වටිනාකමක් ද ලැබෙනු ඇත. ඒවායේ ස්වභාවය නම් නැතිවීම, සොරසතුරන් පැහැර ගැනීම, ස්වභාව ධර්මයෙන් විනාශ වීම, බියෙන් සැකෙන් පළඳින්නට සිදු වීම නමුදු දානය නොහොත් පරිත්‍යාගය තුළින් ද සත්වයාට ආභරණයන් පැළඳිය හැකි ය. එය සොරා ගැනීමට හෝ සොර සතුරන්ගෙන් කරදරවලට පත් නොවන්නකි. එනම්,

දානං විභූශනං ලෝකේ
දානං දුඞඛ නිවාරනම්
දානං ස්වර්ගස්‍ය සොපානං
දානං ශාන්තිකරං සුඛං

මේ ලෝකයෙහි දන්දීම තමා පැළඳ ගත් ආභරණයක් වැන්න. දන්දීම සතර අපායෙහි ඉපදීමත් වළකන්නේ ය. දන් දීම දෙව්ලොවට නැඟෙන හිණක් වැන්න. දන්දීම නිවන් සැප සිද්ධ කරන්නා වූ මහත් සුවයෙකි.

දන් දීම සත්වයාට බොහෝ දේ ලබා දෙනු ඇත. තමා පැළඳගත් ආභරණය තුළින් නිතර දිස්නයක් දෙනු ඇත. හදිස්සියක් වන විට එය අලෙවි කොට හෝ මුදලක් ලැබිය හැකි ය. වෙහෙර විහාර උදෙසා පරිත්‍යාග කිරීමට ද පුළුවන. (විසාඛා, බන්දුල මල්ලිකා) මේ ආදී ආභරණයක් පැළඳ සිටීම එදිනෙදා ප්‍රායෝගික ජීවිතය සෑම පැත්තකින් ම ජය ගැනීමට හේතු වන්නකි.

නමුත් ඊටත් වඩා දන්දීම තුළින් ත්‍රිවිධ ලෝකය ම ජය ගැනීමට පුළුවන්කමක් ඇත. ආභරණයක් පැලඳ සිටින්නකුට හිස් බවක්, පාළුවක්, අසම්පූර්ණ බවක් නොදැනෙන්නා සේ දන් දීම තුළින් තමන්ට උපදින භවයක් භවයක් පාසා සැප විපාක ලැබෙනු ඇත. උපදින උපදින භවයක් භවයක් පාසා සාපිපාසා දී දුකක ට පත් නොවීමට සතර අපාදී දුකකට පත් නොවීමට දන් දෙනවා තරම් වටිනා බැබළෙන වස්තුවක් තවත් නොමැත්තේ ය.

“ඉදං මේ දානං ආසවක්ඛයා වහං හෝතු”

මාගේ මේ දානය කෙලෙසුන් නැසීම උදෙසා වේවා...

වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]