සම්බුදු සසුනේ පිහිට ලබන්න ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්න

සම්බුදු සසුනේ පිහිට ලබන්න ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්න

අපගේ ජීවිතයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ දහම්පද අසන්නට වාසනාව ලැබුණු නිසා උතුම් පිළිසරණක් මේ මනුස්ස ජීවිතයේ දී අපට ගොඩනඟා ගන්නට පුළුවන්කමක් ලැබුණා. හැබැයි ඒ සඳහා ලොකු වෙහෙසක්, මහන්සියක්, කැපවීමක් ඕනෑ.

සම්බුදු සසුනේ පිළිසරණ උදෙසා මූලික ව අපට අවශ්‍ය වන කරුණු දෙකක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යි. කෙනකුට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එකට ලැබුණෙත් ඒ ජීවිතයට පිළිසරණක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා රහතන් වහන්සේ උපමාවක් වදාළා.

එක්තරා වඩුබාස් කෙනෙක් ලීයක් යතු ගාන්නට සිතා යත්ත කියන උපකරණයෙන් යතු ගානවා. යතු ගාන්න ඒ ශිල්පියාට අත හුරුවීමේ දක්ෂකම තිබෙන්න ඕනෑ. සමහර තැන් තිබෙනවා ළඟ ළඟ යතු ගාන්න ඕනෑ. සමහර තැන් ලීය දිගේ යතු ගාන්න ඕනෑ. එය කළ යුතු ආකාරය ඔහුට තේරෙනවා.

ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි. එලෙස උපමා කළේ රහතන් වහන්සේයි. ප්‍රඥාව යත්ත වගේ නම්, ශ්‍රද්ධාව අත වගේ. යත්ත තිබෙනවා, අත නැහැ. එවිට යතු ගාන්න බැහැ. තව කෙනකුට යත්ත නැහැ. අත තිබෙනවා. ඒත් යතු ගාන්න බැහැ. යතු ගානවා නම් යත්තත් ඕන. යතු ගාන ශිල්පියාට අතත් ඕනෑ.

ඒ වගේ කෙනකුට ශ්‍රද්ධාව සමඟ ප්‍රඥාව තිබෙනවා නම්, මේ සම්බුදු සසුන මුණ ගැසුන මොහොතේ, ධර්මය ඇසුණ මොහොතේ අපේ ජීවිතයට පිළිසරණක් හදා ගන්න අපට අවස්ථාව තිබෙනවා.

ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ගළපා ගෙන බුද්ධ ශාසනය තුළ පිළිසරණක් හදා ගන්නේ කොහොමද කියා ආර්ය ශ්‍රාවකයා දැනගත යුතු වෙනවා.

අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, ඔබ ඇත්තට ම කෙනකුට ආදරේ නම්, සෙනෙහෙවන්ත නම්, ඇත්තට ම කෙනෙක් කෙරෙහි ප්‍රේමනීය නම්, ඔහුට අනුකම්පාවෙන්, දයාවෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියා දෙන්න. ඔහුට අනුකම්පාවෙන්, දයාවෙන් ධර්මය සරණ යන්න කියා දෙන්න. ඔහුට අනුකම්පාවෙන්, දයාවෙන් සංඝයා සරණ යන්න කියා දෙන්න. ඒ වගේ ම ඔහුට අනුකම්පාවෙන්, දයාවෙන් සිල්වත් වෙන්න කියා දෙන්න. කෙනකුට තව කෙනෙක් අනුකම්පා නම්, දයාවන්ත නම්, ප්‍රේමනීය නම් හැබෑවට කළ යුත්තේ මේ දේ යි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ සුන්දර මාවතක් වදාළා.

මහණෙනි, සතරමහා ධාතු (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) වෙනස් වන එක වැළැක්විය නොහැකියි. සතරමහා ධාතු වෙනස්වී යන්නේ ම ය කියා.

කෙනෙක් ඔබට තෑග්ගක් දෙනවා. එය මුදලින් දුන්නත්, රනින් දුන්නත්, නිවසක් දුන්නත්, වාහනයක් දුන්නත්, මේ සියල්ල ම සතර මහා ධාතුයි. සතරමහා ධාතු වෙනස් වී යන එක නවතාලීමට නොහැකියි. නමුත්, පින්වත් මහණෙනි තෙරුවන කෙරෙහි තිබෙන ප්‍රසාදය වෙනස් කර ගන්න එපා. සීලවන්ත ජීවිතයක් ගත කරන සිල්වතාට ලැබෙන වටිනාකම වෙනස් වන්නේ නැහැ. ඒ නිසා අප පුරුදු කළ යුතු වටිනාම දේ සීලය කෙරෙහි වගේ ම තෙරුවන කෙරෙහිත් සිත පහදවා ගැනීමයි.

බුදු බණ පදය අනුව අපට ලැබී තිබෙන මේ ශරීරය නිස්සරණ දෙයක්. මේ ශරීරයේ යම් බැබළීමක් තිබෙන්නේ තරුණ කාලයේ පමණයි. ටිකක් ඔත්පළ වෙලා බැරි ගැහෙනකොට තමාගේ කය තමාට ම එපා වෙනවා. සිරුර කියන්නේ එහෙම එකක්.

බොහෝ දෙනකුට ඇතිකර ගන්නට අපහසු දේත් ශ්‍රද්ධාව යි. ශ්‍රද්ධාව කියන මූලය නැති ව අනෙක් මොනවා ලැබුණත් වැඩක් නැහැ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණේ මහා අසාමාන්‍ය ශ්‍රද්ධාවක්. ඒ වගේ ම උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. අප ත්‍රිපිටකය පිළිබඳ කෙ තරම් උපාධි ලැබුවත්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කෙරෙහි ශ්‍රද්ධාව නැති නම්, බුද්ධ වචනය තමාට අවශ්‍ය පරිදි වෙනස් කරමින් විවේචනය කරනවා නම් එතැන දී ශ්‍රද්ධාවත් නැහැ. ප්‍රඥාවත් නැහැ.

ශ්‍රද්ධාව කියන්නේ ඉතාම සුන්දර දෙයක්. කෙනකු සිතුවොත් “මාගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යි. මම ශ්‍රාවකයා යි. භාග්‍යවතුන් වහන්සේ පමණයි සියල්ල දන්නේ. මම කිසිවක් නොදනිම්” කියා සිතන තැන තමයි ශ්‍රද්ධාව මනා කොට පිහිටන්නේ.

බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ අප විශ්වාස කරන අය අතරේ විශ්වාසය උපරිම තැබිය හැකි උත්තමයෙක්. මේ සමාජයේ ජීවත්වන අප විශ්වාසය මත විවිධ සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. විවාහය, යහලුවන් විශ්වාසය මත ගොඩනැඟීමක්. තම ආයතනයේ සේවකයන් සමඟ කටයුතු කරන්නේත් විශ්වාසය මතයි. සුළු අධ්‍යයනයකින් පසුවයි ඒ විශ්වාසය අප ගොඩනඟා ගන්නේ. නමුත් ඒ විශ්වාසය කොයි මොහොතේ හෝ පලුදුවෙන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ යම් සත්‍යයකට අපේ සිත පැහැදුනාද, එතැන් පටන් අපි උන්වහන්සේ විශ්වාස කරනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, ඉපදුණ කෙනා වයසට යනවා. රෝගී වෙනවා. මරණයට පත් වෙනවා, පි‍්‍රය අයගෙන් වෙන් වෙනවා, අපි‍්‍රය අය සමඟ එකතු වෙනවා. මේ සියල්ල අපේ ජීවිතවලට සිදුවන සත්‍ය දේ යි. එනිසා අපි උන්වහන්සේ ගැන සිත පහදවා ගෙන ශ්‍රද්ධාවට එන්න ඕනෑ. ශ්‍රද්ධාව කියන අමෘතය දීර්ඝ කාලයක් කෙනකුට රඳවා ගන්න පුළුවන් වුණොත් දිවි ගමනට ආරක්ෂාව සැලසෙන ආරක්ෂකයෙක්. දිවි ගමනට බලයක් සපයන මහ බලයක්, ජීවිතයට සැප සදන ගුණයක් ශ්‍රද්ධාව කියන්නේ.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩසිටි කාලයේ එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේට පුදුම ගුණයක් පිහිටා තිබුණා. ඒ උන්වහන්සේ කතා කරන විට මුඛය සුවඳයි. එනිසා හැමෝ ම උන්වහන්සේ පි‍්‍රය කළා. ළං ව කතා කළා.

දිනක් එක් ස්වාමීන් වහන්සේ නමක් ඇසුවා “ස්වාමීනි, ඔබ වහන්සේ කතා කරන විට මුඛයෙන් සුවඳ විහිදෙනවා. එයට හේතුව කුමක්ද? එවිට රහතන් වහන්සේ තමන් වහන්සේ පෙර ජීවිතය ගැන මෙසේ වදාළා.

බොහෝ ඈත අතීතයේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටි කාලයේ උන්වහන්සේ මනුලොව ඉපදුණා. ඒ ජීවිතයේ ව්‍යාපාරයක් කරමින් ජීවත් වුණා. ඒ ව්‍යාපාරය තිබුණේ වීදිය කෙළවරක. ඒ වීදිය කෙළවරක ම විහාරයට ඇතුලු වෙන්න තිබෙන තොරණ පිහිටා තිබුණේත්. මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට, වන්දනා කරන්නට, ධර්මය අසන්නට එනවා. නමුත් ඈත පළාත්වලින් එන ඇතැමෙක්ට විහාරය සොයා ගන්න අපහසුයි. වීදිය දිගේ එන ඔවුන් අවසානයට තිබෙන කඩයෙන් අහනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කුමන දිහාවේ ද? කියලා. එවිට එම පුද්ගලයා කියනවා

“ඔබ මේ දිශාවේ තිබෙන මේ තොරණ ඇතුළට යන්න. එහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා. ඒ මඟ පෙන්වීම මත භාග්‍යවතුන් වහන්සේ වෙත යන ඇතැමෙක් රහත්ඵලයට පත්වෙනවා. ඇතැමෙක් අනාගාමී වෙනවා. ඇතැමෙක් සකෘදාගාමි, සෝවාන් වෙනවා. මඟඵල ලබා සසරින් එතෙර වෙන ඔවුන් අර ව්‍යාපර ස්ථානය වෙත ගොස් මුදලාලි හමු වී ඔබ නිසා අපට ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබුණා කියා පවසා යනවා.

එවිට ඔහු දැන ගන්නවා බුදුරජාණන් වහන්සේට “මහා කාරුණික” කියා කියනවා කියලා.

පසුවදා ඇතැමෙක් කියනවා “ඔබ නිසා දස බලධාරී” බුදුරජාණන් වහන්සේගේ පිහිට අපි ලබා ගත්තා කියලා. එතකොට ඔහු දැන ගන්නවා එහෙම නම් බුදුරජාණන් වහන්සේට “දසබලධාරී” කියා කියනවා කියලා.

තව පිරිසක් කියනවා ඔබ නිසා ඒ “තථාගතයන් වහන්සේ” අපට හමුවුණා කියලා. ඔහු එවිට දැන ගන්නවා එහෙම නම් බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේ කියා කියනවා කියලා.

ඇතැමෙක් කියනවා අනේ ඔබ නිසා අපට ඒ “ මහා කාරුණිකයන් වහන්සේ” ඇසුරු කරන්නට ලැබුණා කියලා. එහෙම නම් බුදුරජාණන් වහන්සේට මහා කාරුණික කියා කියනවා කියලා ඔහු දැන ගත්තා.

මේ වගේ භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන විශේෂ නාමයන් ඔහු මතක තබා ගන්නවා. ඊටපසුව එන මිනිසුන්ට ඔහු බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ඔහු මතක තබා ගත් විශේෂණ පද සියල්ල සමඟයි.

“ඔබ ඔය තිබෙන තොරණින් ඇතුලු වෙන්න. එහි මහා කාරුණික, දසබලධාරී, තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා” කියා කියනවා. ඔහු එසේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළත් කිසිම දිනෙක ඒ තොරණින් ගිහිං භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසුණේ නැහැ. දහම් පදයක් අසා නැහැ. අනෙක් අය ව යොමු කළා පමණයි. කෙ තරම් වැඩ කටයුතු මැද සිටියත් කෙනෙක් ඇවිත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දිශාව ඇසුවොත් කිසිදු කේන්තියකින් තොරව ඔහු කෙරෙහි, අනුකම්පාවෙන්, කරුණාවෙන් “ඔය තොරණින් ඇතුළට යන්න” කියා කියනවා.

මේ මුදලාලිට වැඩි ආයුෂ තිබුණේ නැහැ. ඔහු මිය ගියා. මරණින් මතු තව්තිසාවේ උපත ලැබුවා. ඔහු ව දෙවියන් වෙත රැගෙන ගියේ ඔහු කරගත් පිනයි. දෙවියන් අතර බොහෝ සැප විඳලා අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වූ යුගයේ සැවැත්නුවර එක්තරා පවුලක ඉපදුණා. ඔහු සසරේ කළ පිනෙන් හරි කාලයේ, හරි තැන ඉපදුණා.

අප මේ ලෝකය දෙස බලද්දී ඇතැම් රටවල මිනිසුන් බොහෝ ධනවත්. තව පිරිසක් බලවත්. තව පිරිසක් රූපවත්. නමුත් අපි ආර්ථික වශයෙන් දුප්පත් රටක්. බලවත් නැහැ. නමුත් අපට මහා වටිනා දෙයක් ලැබිලා තිබෙනවා. ඒ වටිනාකම ලෝකයේ තිබෙන අනෙක් රටවල් සමඟ සංසන්දනය කරන්නට බැහැ. අපට කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසී තිබෙනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණා. මේ ජීවිතය කෙටි කලයි තිබෙන්නේ. මැරෙන්නට කලින් ජීවිතයට රැකවරණයක් හදා ගන්න කියමින් කියා දෙන පිරිසක් මුණ ගැසුණා. අපට ලැබුණ වටිනාම දේ එයයි. මහා වටිනා දෙයක් ලැබුණා ම අප එය රැක ගන්නවා. ප්‍රඥාවන්තයා කළ යුත්තේ මහත් ආදරයෙන්, ගෞරවයෙන් ඒ වටිනා ලාභය රැක ගැනීම යි.

කෙනෙකුට කෝටියක ජය මල්ලක් ඇදෙනවා. ඊට පසු ඔහුට වටිනා ම දේ ආයුෂ යි. කාලය යි.ජයමල්ල ඇදිලා ඔහු පහුවෙනිදා මිය ගියොත් ඒ ජය මල්ලෙන් ඔහුට වැඩක් නැහැ. ඒ මුදලින් සැප විඳින්නට ඔහු ජීවත් විය යුතු වෙනවා.

ඒ වගේම මේ මිනිස් ජීවිතයේ අපට ලොකු දෙයක් ලැබී තිබෙනවා. ඒ වටිනා කාලය යි. කාලය කා නො දමා කාලයෙන් උපරිම ප්‍රයෝජන රැගෙන තමන් ලද සම්පත්තියේ උපරිම ප්‍රයෝජන ගෙන වටිනාකමක් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නටයි අප වෙහෙසිය යුත්තේ. ගෙවී යන කාලයේ තව ඉතිරිව ඇත්තේ කො තරම් සුළු ප්‍රමාණයක් ද කියා අපි දන්නේ නැහැ.

මේ පුද්ගලයා සැවැත්නුවර ඉපදුණත් දෙව්රම් වෙහෙරට ගොස් තිබුණේ නැහැ. දිනක් ඔහුට දෙව්රම් වෙහෙර ඉදිරියේ එක්තරා පුද්ගලයෙක් මුණ ගැසී කියා සිටියා.

“ඇයි ඔබ දෙව්රම් වෙහෙරට යන්නේ නැද්ද? මේ තොරණින් ඇතුළට ගියා ම තථාගත මහා කාරුණික දසබලධාරී බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා” කියා. ඒ වචන ටික ඇසූ පමණින් ඔහුට සිතේ සතුටක් උපන්නා. ඒ වචනවල හුරු ගතියක් දැනුණා. මීට කල්ප කීපයකට කලින් ඔහු විසින් කී දේ ම දැන් ඔහුට ඇසෙනවා. සිතට පී‍්‍රතියක් උපන්නා. වහා දෙව්රමට දිව ගියා. තථාගතයන් වහන්සේ දම්සභා මණ්ඩපයේ පිරිසකට දහම් දෙසමින් සිටියේ. එහි කෙළවරකින් වාඩි වුණා. සිත යොමා ධර්මය ඇසුවා. ඒ සාකච්ඡාව අවසන සියලු කෙලෙස් නසා උතුම් අරහත්වයට පත් වුණා.

එනිසා අප සිත පහදවා ගත යුතු වෙනවා තමාට රැකවරණය පිණිස පවතින්නේත්, අන් අයට රැකවරණය පිණිස පවතින්නේත් ධර්මය පමණයි කියන දෙයට, කෙනෙක් ධර්මය දන් දුන්නොත් කෙටි කාලීන මිනිස් ජීවිතයෙන් උපරිම ඵල ලැබුවා වෙනවා.

මහානාම ශාක්‍යයා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. ඔහු කපිලවස්තුවේ මහ රජතුමා යි. කපිලවස්තු රාජධානියේ ඔටුන්න හිමි ව තිබුණේ සිද්ධාර්ථ කුමාරයාට යි. සිද්ධාර්ථ කුමරුගෙන් පසුව නන්ද කුමරුට. නන්ද කුමරුගෙන් පසුව රාහුල කුමරුට.

ඒ සියලු දෙනා බුදු සසුනේ පැවිදි වූ නිසා රජකම මහානාමට ලැබුණා. ඒ රජතුමා භාග්‍යවතුන් වහන්සේ ඉතා ම ආදරයෙන් ගෞරවයෙන් ඇසුරු කළා. සම්බුදු සසුනේ හොඳ උපාසකයෙක්. ප්‍රනීත ව දන්පැන් පුජා කළා. උපාසකයන් අතර අග්‍ර වුණේ මහානාම රජුයි.

දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් අසා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට මෙහෙම බියක් හටගෙන තිබෙනවා. ස්වාමීනි මම රාජ්‍යයේ කටයුතු කරමින් සිටියදී විවේක මොහොතක ඔබ වහන්සේ ඇසුරු කරනවා. එවිට මගේ සිත නිවෙනවා. සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදී උතුමන් ඇසුර කරද්දී මගේ සිත නිවෙනවා. මට හරි පහසුවක් ඇතිවෙනවා. ඒත් ස්වාමීනි, ඔබ වහන්සේ ඇසුරෙන් පසුව මට යන්නට තිබෙන්නේ ජනයා ගැවසෙන නගරයට යි.

ඒ නගරයට ගියා ම මට තෙරුවන ගැන සිහියට එන්නේ නැහැ. වේගයෙන් යන හස්ථි කරත්ත, කලබලයෙන් යන මිනිසුන්, කලබලකාරී සතුන් දකිනවා. එතකොට මගේ සිත යන්නේ ඒ දේ වලට යි. ස්වාමීනි, මට බයක් ආවා මේ නගරය මැද්දේ හදිසියේ හෝ මගේ ජීවිතයට හානියක් වෙලා මම මැරුණොත්, ඒ ස්ථානයේ මගේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ නැහැ. මට ඒ උතුමන් සිහි වේවි ද කියා දන්නෙත් නැහැ. උපාසකයෙක් හෝ මගේ ළඟ නො සිටින්නට පුළුවන්. ස්වාමිනී, එහෙම මොහොතක මට තිබෙන පිළිසරණ කුමක් ද? මහානම රජු කෙ තරම් බුද්ධිමත් කෙනෙක් ද?

භාග්‍යවතුන් වහන්සේ මහානාමට වදාළා. මහානාම, ඔබ බය වෙන්න එපා. ඔබට රැකවරණයක් තිබෙනවා. මහනාම, ඔබ දීර්ඝ කාලයක් ඔබේ සිතේ ශ්‍රද්ධාව වැඩුවා. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගොස්, බුදුගුණ සිහිකර, බුදුරදුන් පුදමින්, බුදුරදුන් වදාළ දේ සත්‍යයි කියමින් අදහාගෙන සිටින්නේ. මහානාම, තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාව යි. ඒ වගේම මහනාම ඔබ දීර්ඝ කාලයක් සීලය වැඩූ කෙනෙක්. සීලයේ පළදු නැහැ. කිලිටි නැහැ. පැල්ලම් නැහැ. ඒ නිසා මහානාම තිසරණය සමාදන් ව සීලය රකිනවා නම් ඔබ කො තැනක සිටියත්, කෙසේ මිය ගියත් ඔබට ආරක්ෂාවක් තිබෙනවා කියා.

වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]