[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අවදිව ගතකරන සෑම තත්පරයක් ම සිත එකඟ වූ මොහොතක් කළ හැකියි 

සුවපත් මනසක් සුවබර දිවියක් - 11 කොටස:

අවදිව ගතකරන සෑම තත්පරයක් ම සිත එකඟ වූ මොහොතක් කළ හැකියි 

මෙසේ කරන අතරතුරේ දී, භාවනාව දියුණු වන සලකුණු ඔබට දැක ගන්නට ලැබෙයි. සලකුණක ප්‍රසන්න හැඟීමක් ඔබට දැනෙනු ඇත. විවිධ භාවනානුයෝගීහු මෙය විවිධ ආකාරයෙන් අත්දකියි. එය තරුවක්, වටකුරු මැණිකක්, වටකුරු මුතු ඇටයක්, කපු ඇටයක්, දිග නූලක්, මල් රාමුවක්, දුම් ගුලියක් හෝ ඉර හෝ සඳ මූණතක් හෝ එවැනි දෙයක් ලෙස දැකිය හැකි ය.

පුහුණුවේ මුල් අවධියේ දී, හුස්ම ඔබගේ භාවනා අරමුණ විය. දැන් තුන්වැනි අරමුණක් ලෙස මෙම සලකුණු ඔබට ඇත. මෙම තෙවන අරමුණ වෙත අවධානය යොමු කළ විට, විපස්සනා භාවනාව පුහුණු වීමට අවශ්‍ය මට්ටමේ සමාධියක් ඔබට ලබා ගත හැකි වනු ඇත. මෙම සලකුණ, නාස්පුඩු වටා බලවත් ව පවතියි. එය ප්‍රගුණ කර, ඔබගේ පාලනයට නතු කර ගත් විට, අවශ්‍ය ඕනෑම වේලාවක ඔබට එය ඇති කර ගැනීමට පිළිවන. මේ මොහොතේ පවතින මේ සංඥාව සමඟ ඔබගේ සිත එකඟ කර, එළඹෙන සෑම මොහොතක් සමඟ ම සිත ගලා යෑමට ඉඩ හරින්න. එයට පූර්ණ අවධානය එල්ල කරන විට, සෑම මොහොතක ම එම සලකුණු වෙනස් වන බව ඔබට දකින්නට ලැබේ. ඔබගේ අවධානය වෙනස් වන මොහොත තුළ ම තබා ගන්න.

ඔබගේ සිත එකඟ කළ හැකි වන්නේ, දැන් පවතින මේ මොහොත මත පමණක් බව සැලකිල්ලට ගන්න. දැන් පවතින මොහොත සමඟ මෙසේ එක්සත් වීම ක්ෂණික එකඟතාව ලෙස හඳුන්වනු ලබයි. මොහොතින් මොහොත වේගයෙන් ගතවී යන බැවින් සිත ද, වෙනස් වෙමින් වරෙක දර්ශනය වෙමින්, වරෙක නොපෙනී යමින් ඒවා කිසිවක නොඑල්ලී ඒ සමග පවතියි. සිත එක මොහොතක් තුළ රඳවා තැබීමට උත්සාහ කළහොත්, එය අල්ලා තබා ගැනීමට නොහැකි නිසා අප දැඩි කලකිරීමකට පත්විය හැකියි. එබැවින්, අලුත් මොහොත තුළ සිදුවන දේට සමාන හැසිරීමක් පවත්වා ගැනීමට සිතට සිද්ධ වේ. වර්තමාන මොහොත ඕනෑම මොහොතක, පවතින නිසා අවදිව ගත කරන සෑම මොහොතක් ම සිත එකඟ වූ මොහොතක් කළ හැකි ය.

සිත දැන් පවතින මොහොත සමඟ එක් කිරීම සඳහා වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් සොයා ගැනීම අවශ්‍ය කරයි. සෑම වෙනස් වන මොහොතක් කෙරෙහි ම සිත යොමු කිරීමට හැකි වන්නේ තරමක් දුරට සිත එකඟ කිරීමකින් පසුව ය. මෙම චිත්ත ඒකාග්‍රතාව ලබා ගත් පසු, එය පාවිච්චි කර, උදරය ඉහළ පහළ යෑම, පපුව උස් පහත් වීම, වෙනත් කිසියම් වේදනයක් හෝ හැඟීමක් ඇති වීම, හුස්ම ඇතුළු වීම සහ පිට වීම, සිතිවිලි ඇති වීම හා නැතිවීම වැනි ඕනෑම අත්දැකීමක් ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කළ හැකි ය.

විපස්සනා භාවනාවේ යම්කිසි දියුණුවක් ලබා ගැනීමට මෙවැනි ක්ෂණික සිත එකඟ කර ගැනීමක් ඔබට තිබිය යුතුයි. ඔබ අත්දකින සියල්ලක් ම එක මොහොතක් පමණක් පවතින බැවින් විපස්සනා භාවනාව පුහුණු වීමට එපමණක් සෑහේ. මෙසේ එකඟ කර ගත් සිත ඔබගේ කයෙහි හා මනසෙහි සිදුවන වෙනස්වීම් මත යොමු කළ විට ඔබගේ හුස්ම එහි භෞතික කොටසක් බවත්, හුස්ම පිළිබඳ දැනීම, ඒ දැනීම ගැන දැන සිටීම හා සලකුණ ගැන දැන සිටීම මානසික කොටසක් බවත් ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත. ඒවා නිරතුරුව වෙනස් වන බව ද ඔබ දකිනු ඇත.

හුස්මට අමතරව සිරුරේ විවිධ සංවේදනා පැවතිය හැක. ඒවා සියල්ලක් ම ඔබගේ සිරුර පුරාම දැක බලා ගන්න. ස්වභාවික ව හට නොගත් සංවේදනයක් ජනිත කිරීමට ප්‍රයත්න නොදරන්න. නමුත් සිරුරේ පැන නඟින සියලුම සංවේදනා සනිටුහන් කර ගන්න. පැන නඟින සිතිවිලි ද සනිටුහන් කර ගන්න. ඔබගේ සියලුම ශාරීරික හෝ මානසික සංවේදනාවන්හි අස්ථිර බව, අතෘප්තිමත් බව හා අනාත්ම බව පමණක් දැක ගන්න.

ඔබ තුළ එළැඹි සිහිය දියුණු වන විට, වෙනස්වීම කෙරෙහි ඔබගේ ඇති අමනාපය, අප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ ඇති අකැමැත්ත, ප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ කැමැත්ත සහ මමත්වය පිළිබඳ මතය වෙනුවට, අස්ථිර බව, අතෘප්තිමත් බව හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු දැනීමක් පහළ වෙයි. මෙම යථාර්ථය පිළිබඳ දැනුම ජීවිතය කෙරෙහි වඩාත් සන්සුන්වූත් සාමකාමිවූත්, පරිණතවූත් ආකල්ප ඇතිකර ගැනීමට හේතු වේ. කලකට ඉහත දී ස්ථිර යැයි සිතූ දේ ඔබගේ මනසට පවා පවත්වා ගත නොහැකි වේගයකින් වෙනස් වන බව ඔබට දැක ගැනීමට පුළුවන. මෙවැනි වෙනස් වීම්වලින් සමහරක් හෝ දැක ගැනීමට ඔබට ඉඩ ලැබෙනු ඇත.

අස්ථිර බව සහ අනාත්ම බව කෙතරම් සියුම් දැයි ඔබට වැටහෙනු ඇත. මෙම විනිවිද දක්නා නුවණ, ප්‍රීතිය හා සාමකාමි බව ගෙන එමින් එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නුවණ ළඟා කර දෙයි.

නිරතුරුව ගලා යන හුස්ම සමඟ, සිත ඒකාග්‍ර වන විට ස්වභාවිකව ම අපට දැන් පවතින මොහොත කෙරෙහි සිත යොමු කළ හැකි ය. අප ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ ඇති පඨවි ධාතුව (earth element) අපගේ නාස්පුඩුවල පඨවි ධාතුව (earth element)  සමග ගැටෙන මොහොතේ එම ඇතුළුවන, පිටවන වාතය ගැන සිත දැනුවත් වෙයි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ දී ජනනය වන තේජෝ වායුව (fire element)  නාස්පුඩුවල හෝ සිරුරේ වෙනත් තැනෙක උණුසුම් දැනීමක් ඇති කරවයි. ගලායන හුස්මෙහි පෘථිවි ධාතුව (earth element) නාස්පුඩු වටේ වදින විට එහි අස්ථිර බව පිළිබඳ වැටහීමක් ඇතිවෙයි. ආපෝ ධාතුව  (water element)  හුස්මෙහි තිබෙන නමුත් මනසට එය නොදැනෙයි.

එමෙන්ම නැවුම් වාතය ඇතුළුවීමේ දී හා පිටවීමේ දී, පෙණහලුවල, උදරයේ සහ යටිබඩෙහි විශාල වීම හා හැකිළීම ද අපට දැනෙයි. උදරයේ, යටිබඩේ හා පපුවේ පිම්බීම හා හැකිළීම විශ්ව රිද්මයේ කොටසක් ය. අපගේ හුස්ම හා සිරුර මෙන්, මෙම විශ්වයේ පවතින සියලුම වස්තූන් හට ඇත්තේ මෙම පිම්බීමේ - හැකිලීමේ පොදු රිද්මය ය. කෙසේ වෙතත්, මූලිකව අපගේ සැලකිල්ලට භාජනය වන්නේ ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලියේ සහ සිත කය දෙකෙහි සියුම් කොටස්වල පිම්බීම හා හැකිළීම ය.

ඉහළට ගන්නා හුස්ම සමග අප තරමක සන්සුන් බවක් අත්දකිමු. තත්පර කිහිපයක දී මෙම ඉහළට ගත් හුස්ම මුදා නොහළ හොත් අපට ආතතියක් දැනෙනු ඇත. හුස්ම පිට කරනවා සමඟම එම ආතතිය මුදා හැරෙයි. හුස්ම පිට කිරීමෙන් පසුව නැවත හුස්ම ඉහළට ගැනීමට පමා වුවහොත් අපහසුතාවක් දැනෙයි. මින් අදහස් වන්නේ පෙණහලු වාතයෙන් පිරෙන සෑම අවස්ථාවක ම හුස්ම පිට කළ යුතු බව සහ පෙණහලු හිස්වන සෑම විටෙක ම නැවත වාතය ඇතුළු විය යුතු බවත් ය.

ආශ්වාසයේ දී මෙන් ම ප්‍රාශ්වාසයේ දී යම් ප්‍රමාණයක සන්සුන් බවක් අපට දැනෙයි. ආතතිය මුදා හැරීම සහ සන්සුන් බවට අපි ආශා කරමු. හුස්ම නොගන්නා විට දැනෙන හැඟීමට සහ මානසික ආතතියට අපි කැමැත්තක් නොදක්වමු. සන්සුන් බව දිගු වේලාවක් පැවතීම මෙන්ම ආතතිය සාමාන්‍යයෙන් සිදු වනවාට වඩා ඉක්මනින් පහව යා යුතු යැයි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් එම දේවල් එලෙස සිදු නොවෙනු ඇත.

පැමිණෙන සන්සුන් බව වැඩි කාලයක් රැ¼දීම සහ ඉක්මනින් ඉවත්ව යන ආතතිය නැවත නොපැමිණීම අපගේ ආශාව බැවින් නැවතත් අපි නොරිස්සුම් බවක් අත්දකිමු. මෙහිදී අස්ථිර ලෝකයේ ස්ථිර බව පතන ඉතා කුඩා ආශාවක් පවා අපට වේදනාව හෝ නොසතුට ඇති කරන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වනු ඇත. මෙම තත්වය පාලනය කිරීමට “තමා” යන ස්වභාවය නොමැති වීම තවත් බලාපොරොත්තු සුන් වීමක් ය.

කෙසේ වෙතත්, මානසික සන්සුන් බව කෙරෙහි ලොල් නොවී, ආතතිය කෙරෙහි අසතුට නොපෙන්වා, හුස්මෙහි පවතින අස්ථිර බව, අතෘප්තිය හා අනාත්ම බව පමණක් අත්දකින විට මනස සාමකාමී හා සන්සුන් වෙයි.

සිත මුළු කාලයේ දී ම හුස්ම සමඟ රැඳෙන්නේ නැත. එය ශබ්ද, මතකයන්, චිත්තවේගයන්, දැකීම්, සිහිකල්පනාවන් හා චිත්ත නිර්මාණ කෙරෙහි ඇදී යයි. මෙවැනි තත්ත්වයක් අත්දකින විට, හුස්ම අමතක කර අපගේ අවධානය වරකට එක බැගින්, ඒවා වෙත යොමු කළ යුතු ය. ඒවා ඉවත්ව ගිය පසු ඕනෑම දිගු හෝ ඉක්මන් ගමනකින් පසුව නිවස වෙත ආපසු පැමිණෙන්නාක් මෙන් හුස්ම වෙත සිත යොමු කළ හැකි ය. මෙවන් සියලුම මානසික චාරිකා සිත තුළ පමණක් සිදුවන බව මතක තබා ගන්න. සිත හුස්ම කරා නැවත පැමිණෙන සෑම වාරයක දී ම අස්ථිර බව, අතෘප්තිය හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු විදර්ශනා රැගෙන එයි. අපක්ෂපාතී ව හා සාධාරණ ව මෙම සිදුවීම් දෙස බලා සිටීමෙන් සිත විනිවිද දකිනා නුවණින් පිරී යයි. (සිත සහ සිරුර සංකීර්ණය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණක් මෙම ශරීරය, හැඟීම්, විවිධ මානසික ස්වභාවයන් සහ නොයෙක් මාදිලියේ චිත්ත නිර්මාණ භාවිත කළ යුතු බවට, අප තුළ විදර්ශනාව පහළ වෙයි.)

භාවනාවේ දී සිරුර තබා ගන්නේ කෙසේ ද?

භාවනා පුහුණුව වසර දහස් ගණනක් තිස්සේ පැවත එන්නක් බැවින්, දිගු කාලීන අත්හදා බැලීම් තුළින් මනාව පිරිපහදු වූ පිළිවෙත්වලින් එය සමන්විත වේ. මනස හා සිරුර තදින් එකිනෙක බැඳී තිබෙනවා මෙන් ම එකක් අනික කෙරෙහි බලපෑම් කරන බව ද බුදුදහම විසින් සැම කලෙක ම පිළිගනු ලබයි.

එම නිසා, මෙම මානසික නිපුණතාව ඇති කර ගැනීමට උපකාරී වන, නිර්දේශිත අභ්‍යාසයන් සමූහයක් ඇත. මෙම ඉරියව් අභ්‍යාස උපකාරක බව මතක තබා ගන්නා අතර ම ඒවා අනුගමනය ද කළ යුතුයි. ඔබ මෙම දෙවර්ගය පටලවා නොගත යුතුයි. භාවනාව යනු එරමිණියා ගොතාගෙන වාඩි වී සිටීම නොවේ. එය මානසික කුසලතාවකි. ඔබගේ කැමැත්ත පරිදි එය ඕනෑම ස්ථානයක දී පුරුදු පුහුණු කළ හැකියි. නමුත් මෙම ඉරියව් එම නිපුණතාව ඉගෙන ගැනීමට ඔබට සහාය වන අතර ම, ඔබගේ දියුණුව හා වර්ධනය ද ඉක්මන් කරයි. එමනිසා ඒවා භාවිත කරන්න.

සාමාන්‍ය නීති

විවිධ ඉරියව්වල පරමාර්ථය තුන්වැදෑරුම් වෙයි. පළමුව එම ඉරියව් සිරුරට ශක්තිමත් බවක් ලබා දෙයි. සිරුරේ සමතුලිතතාව හා මස්පිඬු වෙහෙසට පත්වීම ගැන කරදර නොවී භාවනා අරමුණ කෙරෙහි සිත යොමු කිරීමට ඔබට පහසුව සලසා දෙයි. දෙවනුව, සිරුර නිසල කිරීම මඟින් සිතේ නිසල බව ප්‍රවර්ධනය කරනු ලබයි. මේ මගින් ගැඹුරු ලෙස තැන්පත් වූත් සන්සුන් වූත් සිත් එකඟතාවක් ඇති කරයි. තෙවනුව, භාවනානුයෝගියාගේ ප්‍රධාන සතුරන් වන වේදනාව, මස්පිඬුවල තදවීම හා නින්ද යන තුනට හසුනොවී දිගු කාලයක් වාඩි වී සිටීමේ හැකියාව ලබා දෙයි.

අත්‍යවශ්‍ය කාරණය පිටකොන්ද කෙළින් තබාගෙන වාඩිවීම ය. එකිනෙක මත ගොඩගැසූ කාසි ගොඩක් ලෙස පිහිට වන ආකාරයෙන් කොඳුඇට පෙළ ඍජු ව තබාගත යුතු ය. කොඳු නාරටියට කෙළින් ඔබගේ හිස තබා ගන්න. මේ සියල්ල ඉතාමත් සැහැල්ලු හා පහසු ගතියකින් කළ යුතුයි. ඔබ ලීවලින් තැනූ සොල්දාදුවකු නොවේ. එමෙන් ම ඔබට සරඹ ඉගැන්වීමට සාජන්වරයකු ද මෙහි නැත. පිටකොන්ද ඍජුව තබා ගැනීමේ දී මස්පිඬුවල ආතතියක් ඇති නොවිය යුතු ය. සැහැල්ලුවෙන් හා පහසුවෙන් වාඩි වන්න. ඔබගේ කොඳුනාරටිය, හරියට මෘදු පසේ නොසැලී වැඩෙන නාඹර ගසක් මෙන් විය යුතු ය. සිරුරේ අනෙක් අවයව සැහැල්ලුවෙන් තබා ගන්න. මේ සම්බන්ධයෙන් ඔබට යම් තරමකට අත්හදා බැලීම් කරන්නට සිදුවෙනු ඇත. සාමාන්‍ය ජීවිතයේ දී අපි ඇවිදින හා කථා කරන විට මස්පිඬු දැඩි කරගත් ඉරියව් ද, විවේකයෙන් පසුවන විට හතර අතට අතපය විහිදා ගත් ඉරියව් ද භාවිත කරමු. ඒ එක ඉරියව්වක් හෝ මෙහිදී සුදුසු නැත. අපගේ සංස්කෘතික පුරුදු වන එම ඉරියව් වෙනස් කර ගැනීමට අපට හැකියාව ලැබේ.

ඔබගේ පරමාර්ථය විය යුත්තේ මුළු භාවනා කාලය තුළම නොසෙල්වී වාඩි වී සිටිය හැකි ඉරියව්වක් සොයා ගැනීම ය. ආරම්භයේ දී පිටකොන්ද ඍජුව තබාගෙන වාඩි වී සිටීම තරමක් නුහුරු බවක් දැනුණ ද ඔබ එයට ඉක්මනින් පුරුදු වනු ඇත. එයට පුහුණුව අවශ්‍ය වන අතර ඍජුව සිටීම ඉතා වැදගත් ය. කායික විද්‍යාවේ දී ප්‍රබෝධවත් බවේ ඉරියව්ව ලෙස සලකන මෙය සමඟ මානසික ප්‍රබෝධය ද බැඳී පවතියි. හිස හා උරහිස් එල්ලා වැටෙන සේ වකුටු වී සිටීම නින්දට කරන ආරාධනයක් වැනියි. මෙහිදී ඔබට වාඩිවීමට කොට්ටයක් හෝ පුටුවක් අවශ්‍ය කරනු ඇත. ඔබ තෝරා ගන්නා ඉරියව්වට ගැළපෙන ආසනයක් ද තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. වඩාත් මෘදු ආසනයක් ඔබ නිදිගන්වන අතර, වඩා තද ආසනයක් ඔබට වේදනාව ඇති කරනු ඇත.

ඇඳුම්

ලිහිල් සහ සිනිඳු ඇඳුම් භාවනාව සඳහා තෝරාගත යුතුයි. රුධිර ගමනාගමනය වළක්වන හෝ නහර මත පීඩනය ඇති කරන ඇඳුම් ඔබට වේදනාව හා පාදයන්ගේ හිරිවැටීම ඇති කරනු ලබයි. ඔබගේ බඳ පටිය ලිහිල් කරන්න. ඇඟට හිර වූ කලිසම් හෝ ගොරෝසු රෙද්දෙන් මැසූ කලිසම් හෝ ඇඳුම් තෝරා නොගන්න. දිග සායක් කාන්තාවන්ට වඩාත් ගැලපෙයි. ඇදෙන හෝ සිනිඳු රෙද්දෙන් මැසූ දිග කලිසමක් කාහට වුව ද ගැළපෙන ඇඳුමකි. ආසියාවේ සාම්ප්‍රදායානුකූල එල්ලා හැලෙන සිනිඳු දිග ඇඳුම් වර්ග ගණනාවකි. සරම හා කිමෝනාව එවැනි ඇඳුම් ය. ඔබගේ පාවහන් ඉවත් කරන්න. දෙපාවල ඇති මේස් තද නම් ඒවා ද ගලවන්න.

මීළඟ කොටස මැදින් පුර පසළොස්වක පෝදා කලාපයේ

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]