[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක පෝ දා 2024-02-23

සුදුස්සාට සුදුසු තැන

සම්බුද්ධ ශාසන ඉතිහාසය තුළ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව් පදවි ප්‍රදානය කළේ නවම් පුන් පොහෝ දිනක ය. ඒ තුළින් අප බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන් උතුම් පණිවුඩය නම් සුදුස්සාට සුදුසු තැන ම ලබා දිය යුතු බවයි.

ආගම් පදවි ප්‍රදානය පිළිබඳ සැල වූ ඇතැම් පෘථග්ජන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට චෝදනා කළහ. ඒ එහි යටගියාව නොදන්නාකම නිසයි. උන්වහන්සේගේ අදහස වූයේ මුලින් පැවිදි වූ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ සිටියදී මෑතක දී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට අගසව් පදවි පිරිනැමීම සාධාරණ නොවන බවයි. බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙන බව සඳහන් කරමින් තවත් භික්ෂූන් වහන්සේ චෝදනා කළහ.

මෙම චෝදනාවන් පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ අගසව් දෙනම ගේ අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්වූහ. පංච වග්ගිය භික්ෂූන්, යස භික්ෂුව, භද්ද වර්ගික භික්ෂූන්, තුන් බෑ ජටිල භික්ෂූන් යන මේ සියලු දෙනා වහන්සේ ම අනෙකක් පතා කුසල් කළ බවත් අගසව් තනතුරු නොපැතූ බවත් පැහැදිලි කළහ. එහෙත් සැරියුත් මුගලන් දෙනම වහන්සේ අගසව් තනතුරු පතාම කුසල් කළ බව ද පැහැදිලි කිරීමෙන් පසුව භික්ෂූන් වහන්සේ තුළ පැවති කුකුස දුරුවුණි.

සුදුස්සාට සුදුසු තැන ලැබීමේ වටිනාකම සේ ම තනතුරු ආයාචනය කොට ලබා නොගැනීමේ වටිනාකම ද බුදුදහම ඉහළින් අගය කර තිබේ. එදා අනන්ද මහතෙරුන් වහන්සේට අග්‍ර උපස්ථායක පදවිය ආයාචනය කොට ලබා ගන්නා මෙන් යෝජනා වූ අවස්ථාවල උන්වහන්සේ අවධාරණය කර සිටියේ තනතුරු ආයාචනය නොවැදගත් පිළිවෙතක් බවයි.

වත්මනෙහි එදාටත් වඩා විවිධ තනතුරු බහුල වශයෙන් ප්‍රදානය කරනු දැකිය හැකි වෙයි. මේවා අතර ගරු පදවි සේ ම ගෞරව නාම ද වෙයි. රටේ උත්තරීතර මහා සංඝ සභා, රජය සහ පෞද්ගලික පදනම් හරහා සුදුසුකම්ලත් ගිහි, පැවිදි ප්‍රභූන් හා විද්වතුන් වෙත යම් යම් තනතුරු හා ගෞරව නාම පිරිනමයි. රජයේ වැටුප් ලබන තනතුරු හා පත්වීම් ප්‍රදානයේ දී යෝජිත ඒ ඒ විභාග සමත්වීම අනිවාර්ය වේ.

තනතුරු ප්‍රදානයේ දී බුදු දහමට අනුව සැලකිය යුතු ඉහළම අගය වනුයේ තනතුරු ලාභියා ඊට මනා සුදුසුකම් සහිත වීමයි. නුසුදුසු අයට තනතුරු ප්‍රදානය කිරිම තනතුරු පිරිහීම පිණිස ම හේතු වෙයි. එසේම අද ජන සමාජය තුළ සමහර තනතුරු අවභාවිත කරන්නන් සේ ම විවිධ උසස් තනතුරු දරන්නන්ගේ සමීපතමයන් බව හඟවමින් යම් යම් වංචාකාරී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් පිළිබඳ ව ද විටින් විට වාර්තා වෙයි.

තනතුරු ප්‍රදානයන්හි දී සෑම විටෙකම එය බුදුදහමේ ඉගැන්වූ සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ ඉතා උසස් ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන්නේ නම් කිසිදාක තනතුරු හෑල්ලුවට ලක් නොවේ. තනතුරු නිසා පුද්ගලයා නොව පුද්ගලයා නිසා තනතුරු බැබළිය යුතු ය. නවම් පුන් පොහෝ දිනෙක බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන් උතුම්ම පණිවුඩය එයයි.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]