[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නොබිඳෙන නොසිඳෙන ගෞරවයක් ලබන්නට

නොබිඳෙන නොසිඳෙන ගෞරවයක් ලබන්නට

මිනිස් දිවිය හොඳින් හදා ගන්නට හේතුවන ප්‍රධාන ධර්ම කරුණු තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. යම් ආකාරයකින් මේ කරුණු තුනෙන් එක් කරුණක් හෝ තේරුම් නොගෙන කටයුතු කරන්නේ නම්, ඔහු හෝ ඇය ජීවිතයේ කවදාවත්ම හැදෙන කෙනකු නොවේ.

අත්තාධිපත්‍ය, ලෝකාධිපත්‍ය, ධම්මාධිපත්‍ය, යමෙකුට යහපත් දිවි පෙවෙතක් මත කටයුතු කරන්නට අවශ්‍යම ප්‍රධානම කරුණු වන්නේ ය.

අත්තාධිපත්‍ය :– යම් පැවිද්දකු (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) මාගේ ශාසනේ කටයුතු කරන්නේ නම්, ඔහු හෝ ඇය සැදැහැවත් කුල පුත්‍රයකු විය යුතු ම වේ. මහණ දිවිය පුරාම සිව් පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය ගැන ගිජු ව, සැප සම්පත් පිළිබඳ ගිජුව, කටයුතු නොකරමි යැයි ක්ෂණයක් පාසා සිතිය යුතු වේ. ඔහු මාගේ ශාසනයේ හරවත් පැවිද්දකු වන්නේ ය. මම ජාති, ජරා, ව්‍යාධි, මරණාදි සසර දුකින් පෙළෙමින් සිටිමි. මම පංචකාම සම්පත් අතහැර ගිහි ගෙයින් නික්ම වූවෙක්මි. සසර දුකට හේතුවන කරුණක් මත ඇලෙන්නේ නම් එය මට සුදුසු නොවේ යනුවෙන් නිවැරැදි නුවණින් විමසා බලා වීර්යය වඩයි. ආරම්භයේ සිට නොනවත්වා ම උත්සාහ කරයි. එළිඹ සිහියෙන් යුතුව කටයුතු කරයි. සිත, කය, වචනය ඉතා ම සරලව සැහැල්ලුවෙන් පවත්වයි. ලැබූ වටිනා මිනිසත් බව පිළිබඳ සිත සිතා නුවණින් විමසා බලා දිරිය වඩවයි. එය අත්තාධිපත්‍ය නම් වේ.

ලෝකාධිපත්‍ය :– යම් පැවිද්දකු විසින් පංචකාම සම්පත් පිළිබඳ සෙවීම, කල්පනා කිරීම විතරක් කිරීම නුසුදුසු ම වන්නේ ය. අනුනට හිංසා පීඩා කිරීම, ක්‍රෝධ සිත් ඇතිව කටයුතු කිරීම නුසුදුසු ම වන්නේ ය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ක්‍රෝධ විතර්ක භික්ෂුවකට නො වටී.

පරසිත් දන්නා නුවණ ඇත්තෝ මගේ හිත දකී. ඔවුන් මා පිළිකුල් කරයි. ලෝකයේ ජීවත්වනවුන්, සමාජයේ ජීවත්වනවුන්, ඇසුරු නිසුරු කරනවුන්, මාගේ ක්‍රියා කලාපයන් දකී. ඔවුන් මාව පිළිකුල් කරති. නින්දා, පරිභව කරති. මාහට ලජ්ජාවට පත්වීමට සිදු වෙයි යැයි සිතා පැවිද්දකු හෝ ගිහියකු සිතන්නේ නම්, කටයුතු කරන්නේ නම්, ලැබූ මනුසත් බව ගැන සිතා කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය ලෝකාධිපත්‍ය පුද්ගලයකු වන්නේ ය.

ධම්මාධිපත්‍ය :– යම් පැවිද්දකු විසින් නිතර නිතර මනා සිහියෙන් යුතුව මම බුදුන් වදාළ දහමට අනුව අනුගත වෙමි. එසේම උන්වහන්සේගේ ධර්මය මෙලොව දී ම විපාක ලබන්න හැකි ඵල ලැබෙන සංදිට්ඨික වූ එකකි. අකාලික එකකි. ඒහිපස්සික වූ ‘එව බලව‘ යන වදනට අනුව අධ්‍යයනය කළ හැකි උතුම් දහමකි. ඕපනයික ගරු කළ යුතු ය. ඒ අනුව ම මාගේ ජීවිතය පවත්වා ගෙන යා යුතුයි සිතන්නේ නම්, ඔහු හෝ ඇය ලැබූ මනුසත් බවට සාධාරණය ඉටු කළ කෙනෙකි.

මේ උතුම් ධර්මය අනුව යමින් මාර්ගඵල ලැබූ පිරිස බොහෝ ය. ඔවුන් මාගේ ජීවිතය පිළිබඳ දකී. මා පිළිබඳ පිළිකුල් කරති. උතුම් නෛර්යානික බුදු සසුනේ කුලපුත්‍රයකු ලෙස පැවිදිව සිව් පසයට ගිජුව ආශාවෙන් ඇලී අනිකාට ලැබෙන දේට ඊර්ෂ්‍යා කර, ප්‍රතිපත්ති අනුව නොව ආමිසය පසු පස ගත සිත දුවන්නේ නම් මගේ භික්ෂූත්වයේ ඵලය කිම? යැයි සිතා කටයුතු කරන යම් පැවිද්දකු හෝ ගිහියකු වේ නම් ඔහු ධම්මාධිපත්‍ය පුද්ගලයකු වන්නේ ය.

ධර්ම බලය ලොව හැම බලයකට ම වඩා බලවත්, එවන් උතුම් බලයක් සහිත බුද්ධි මහිමයකින්, කුසල බලයකින් යුක්තව පසිඳුරන් සහිත ව අඩු පාඩු නැතිව ජීවිතයක් ලබා තිබියදීත් ලෝභ, ද්වේශ, මෝහ අන්ධකාරයෙන් මුළාවෙලා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා මතුකර, තමා ම තමාට පිළිලයක් වී මෙලොවත් පරලොවත් විඳිමින් කටයුතු කිරීම මොනතරම් අඥාන අනුවණ ක්‍රියාවක්ද?

එය තමා තමාගෙන් පළිගැනීමකි. එසේම කරමින් තමා සමඟ එකට ඉන්න ඥාති මිත්‍රාදීන්, හිතවතුන්, දැසි, දස්සන්ගේ ද හිතට කයට මොනතරම් පීඩා පමුණුවනවා ද? අපහසුතාවයන්ට පත්කරනවා ද? තමා තමන්ගේ නිලය, බලය, ධනය ආරක්ෂා කර ගන්නෙ ම පුහු මාන්නයෙන් උදම් වෙලා කටයුතු කරන්නේ ද එසේ කරමින් අනුනට නින්දා අපහස කරනවා ද? අවසානයේ පෙර සසරේ කළ පිනට, කුසල බලයට ලැබුණු මනුස්ස ආත්මභාවය විනාශ කර දැමීම භික්ෂුවකට හෝ ගිහියකුට කොතෙක් උචිත ද යන්න හිතා බැලීම ඉතා වැදගත් වේ.

යමෙකු බුදුන් වදාළ උතුම් ධර්මය අනුව කටයුතු කරන්නේ නම් උට්ඨාන වීර්යය තිබේ නම්, මෙලොව ලැබිය හැකි උසස්ම ප්‍රතිඵලය වන රහත් බව ලැබිය හැකි ය. ඉන් මෙහා ලබා ගත හැකි ධර්ම විනයධර, සුපේශල, ශික්ෂාකාමී යතිවරත්වය ලබා ගත හැකි වේ. එවිට සමාජයේ උතුම් ප්‍රශංසාවට පත්වේ.

ලෝකයාගේ ගරු බුහුමනට ලක්වේ. බලෙන් මට මේ වාගේ කෙනෙකු යැයි කිය කියා බලෙන් ලෝකයාගේ අවධානය ලබා ගැනීමට විවිධ උපක්‍රම කළ යුතු නොවේ. ඒ භික්ෂුවට නිරතුරුව ප්‍රශංසා ලැබේ. වැඳුම් පිදුම් ලැබේ.

ගිහියකු වේවා රට තුළ සමාජය තුළ, ප්‍රදේශය තුළ, ජනී ජනයාගේ ආදරයට, ගෞරවයට බුහුමනට ලක්වන පි‍්‍රයජනක පුද්ගලයකු වන්නේම ය. 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]