[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොළොම්තොට එකලු කරන මහා සංස්කෘතික මංගල්ලය ගංගාරාම නවම් මහා පෙරහර

කොළොම්තොට එකලු කරන මහා සංස්කෘතික මංගල්ලය ගංගාරාම නවම් මහා පෙරහර

නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන්නේ සුවිශේෂී පුණ්‍ය මහෝත්සවයක් ගැනයි. ඒ, කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂික ව පවත්වා ගෙන එනු ලබන හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර මංගල්ලය යි.

මේ මස 23, 24 දෙදින 46 වැනි වරටත් ගංගාරාමයේ නවම් මහා පෙරහර පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් ය. එදා මෙදා තුර පෙරහරේ සියලු කටයුතු ගංගාරාම විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ගේ අවවාද සහ ආශිර්වාද මැද සිදු කෙරේ.

කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනයාගේ සිත් පහන් කරමින් මානසික සුවය ගෙනදීම අරමුණු කොට ගංගාරාම විහාරස්ථානය යුගයේ අවශ්‍යතාව අනුව නවීකරණය වෙමින් ආගමික හා ශාසනික සංස්කෘතික කටයුතු ඉටු කරනු ලබන මහා ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩනැඟී ඇත.


විහාරාධිකාරී
ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

ගංගාරාම විහාරස්ථානය මූලික කරගෙන කොළඹ නගරයේ පවත්වන ලද පෙරහරක් අතීතයේ දී ද පැවැති අතර එය ඇසළ පෙරහර නමින් හඳුන්වා තිබේ. එසේ ඇරැඹුණු පෙරහර කාලයාගේ ඇවෑමෙන් රටේ ඇති වූ ආර්ථික, දේශපාලන හා සාමාජයීය ගැටලු හමුවේ අතරමඟ නතර වී ඇත. අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර ආරම්භ වන්නේ වර්ෂ 1978 දී ය. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි. කොළඹ නගරයේ පෙරහරක් නො තිබූ යුගයක, රටේ වෙනත් පෙරහරක් නො පැවැති මාසයක මෙම පෙරහර පැවැත්වේ.

සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණු ඓතිහාසික ආගමික දිනය නවම් පුර පසළොස්වක දිනය යි. ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූ දිනය ද වන මෙම නවම් පුර පසළොස්වක පොහොය දා ඒ ඓතිහාසික ශාසනික වැදගත්කම ලොවට කියාපාමින් තුණුරුවන් වෙත පිදෙන පූජෝපහාරයක් ලෙස නවම් මහා පෙරහර වීදි සංචාරය කිරීම සුවිශේෂී වේ.

බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහිකොට සදහම් පුස්තක වැඩම කරවීමත් සුවිශේෂී කරුණකි.

බොදු අනන්‍යතාව ඉස්මතු වන උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ නර්තන සම්ප්‍රදායයන් පෙරහරෙහි අන්තර්ගත වීම අපේ රටේ කලාව, අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට ලබාදෙන ශක්තියක් වනු ඇත.

මෙයින් වර්ෂ 138කට පෙර 1885 වසරේ දී බේරේවැව ඉවුරේ පැවති කවුරුත් ප්‍රයෝජනයට නොගත් වගුරු බිමක කුඩා ආරාමයක් ඉදි කෙරුණි. අවට විහාරයක් නො තිබූ නිසා මෙසේ විහාරයක් ආරම්භ කිරීමට මුල් වී ඇත්තේ ප්‍රකට පඬිරුවනක් ලෙස අදත් ගෞරවාදරය ලබන හික්කඩුවේ සුමංගල නාහිමියන් ය. සුමංගල හිමියන්ගෙන් පසු විහාරයේ නායක පදවිය හිමිව ඇත්තේ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය නමක් වූ දෙවුන්දර ජිනරතන හිමියන්ට ය. ජිනරතන නා හිමියන් මෙම විහාරය කොළඹ නගරයේ බෞද්ධ නිකේතනයක් ලෙස වැඩිදියුණු කිරීමට මුල් වී ඇත. ජිනරතන නා හිමියන්ගෙන් පසු විහාරයේ නායකත්වය හිමිව ඇත්තේ දෙවුන්දර කීර්ති ශ්‍රී සුමංගල වාචිස්සර නා හිමියන්ට ය. විහාරස්ථානයේ දියුණුවට වෙසෙස් කාර්යභාරයක් ඉටුකළ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සැලකේ. ඉන්පසුව විහාරාධිපති පදවිය හිමිවූයේ වාචිස්සර හිමියන්ගේ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට ය.

පොඩි හාමුදුරුවන් වහන්සේ ආගමික කාර්යයන්වලට අමතර ව විහාරස්ථානය සංස්කෘතික කේන්ද්‍රයක් සහ සමාජ සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සමත් වූහ. එහෙයින් කොළඹ ගංගාරාමය කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ද, උන්වහන්සේගේ නම කී පමණින් ගංගාරාමය විහාරස්ථානයද සමඟ නවම් මහා පෙරහර ද දෙස් විදෙස් සැදැහැවතුන්ට අමතක කළ නො හැකි ය.

ගංගාරාමයේ නවම් මහා පෙරහර කොළොම්තොටට අලංකාරයක් එක් කරන මහා සංස්කෘතික දායාදයකි. එය අතීතයට, වර්තමානයට මෙන් ම අනාගත පරපුරට ද මිල කළ නොහැකි වටිනාකමකි.

නවම් පෙරහර නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරනවා සේ ම ගංගාරාම විහාරයේ සුවිසල් මෙහෙවර ද විවිධ අංශ වෙත ව්‍යාප්ත ව ඇත. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ උත්සාහය, කැපවීම හා අප්‍රතිහත ධෛර්යය නිසා ය. නිහඬව නමුත් ඉතාමත් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටු කරනු ලැබූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක්, නිරෝගී චිරජීවනය ලැබේවා'යි ප්‍රාර්ථනා කිරීමට ද මේ පින්බර මොහොත වෙසෙස් අවස්ථාවක් කර ගනිමු.

විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලමින් නවම් පෙරහර සාර්ථකව කර ගැනීම සඳහා කිරින්දේ අස්සජි හිමියන් ගන්නා උත්කෘෂ්ඨ වෑයම ප්‍රශංසාර්භ ය.

පසුගියදා පිරිත් පින්කම විහාරස්ථානයේ දී ආරම්භ වූ අතර, එම කටයුතු නවම් පුර පසළොස්වක පොහොය දින (23) දක්වා ම සිදු කෙරේ.

ඊට අමතරව ඉකුත් 18 වැනිදා ආරම්භ කළ මල් පෙරහර ද මහ පෙරහර ආරම්භ වන දින දක්වා පැවැත්වෙන බවත් 23 දින රන්දෝලි පෙරහරත් 24 දින අවසන් රන්දෝලි පෙරහරත් පැවැත්වෙන බව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]