[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උදාර ශාසනික මෙහෙවරක අද්විතීය නායකත්වය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ

උදාර ශාසනික මෙහෙවරක අද්විතීය නායකත්වය

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ

දකුණු ලක රුහුණු පුරවරයේ කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ නමැති සුන්දර ග්‍රාමයේ සම්භාවනීය පවුල් පරිසරයක හිමිකරුවන් වන ඩී. ඇස්. අබේවික්‍රම හා මුණසිංහ වික්‍රමරත්න වීරමන් අබේවික්‍රම යන දම්පතීන් දෙපළ මෙම කුල කුමරුවාගේ පින්බර මවුපියෝ වූහ. 1946 ඔක්තෝම්බර් මස 01 වැනි දින උපන් මෙම පින්වත් කුලදරුවාගේ ගිහි නම වූයේ ජයසේන වීරමන් අබේවික්‍රමයි.

ජයසේන වීරමන් අබේවික්‍රම දරුවා පාසල් අධ්‍යාපනය සඳහා මූලික වශයෙන් පිවිසියේ ගමේ පාසල වන කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයටයි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන් ආරම්භ කරන ලද කොළඹ මහා බෝධි විද්‍යාලයට ඇතුළත් කරන ලදී.

පැවිදි වීමේ දැඩි අභිලාෂයෙන් පරම පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක සමිඳු ඇසුරේ මූලික බණ දහම් ඉගෙන ගත් මෙම පින්වත් දරුවා පැවිදි කිරීමේ ශාසනික කටයුතු සඳහා බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරය වෙත කැඳවා ගෙන එන ලදී. ඒ අනුව පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මෙම පින්වත් දරුවා කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නමින් 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරයේ දී අති උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.

අධ්‍යාපනික වශයෙන් මූලික සුදුසුකම් සපුරා ගත් මෛත්‍රී මූර්ති සාමණේරයන් වහන්සේට නිසි වයස් එළඹීම නිසා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විහාරස්ථ සීමා මාලකයේ දී අති උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වීමේ භාග්‍ය උදා විය.

මේ කාලය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයෙහි ගෞරව උපාධිය සඳහා ඉගෙනීම ලබා දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමේ භාග්‍ය උදාකර ගත් මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේට ප්‍රතිඵල ලැබීමටත් පෙර එවකට දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්. ජයතිලක මැතිතුමාගේ තෝරා ගැනීම අනුව එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ සහකාර කථිකාචාර්ය ධුරයට පත්වීමට අවස්ථාව උදා විය.

බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ විද්‍යායතනයක් බවට පත් කිරීමට මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේ කටයුතු කළහ. ඒ තුළින් දැන උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් මෙන්ම රටට වැඩදායි දහස් සංඛ්‍යාත ගිහි ශිෂ්‍ය පිරිසක් ද ලොවට දායාද කිරීම මුන් වහන්සේගේ ඉතා වැදගත් ශාසනික අධ්‍යාපනික සේවාවකි. අධ්‍යාපනපති උපාධිය ද ඉතා උසස් ලෙස සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේට පත්වීම ලබා දෙන ලදී. එහිදී පිරිවෙන් හා පාසල් තුළ ආගමික අධ්‍යාපනය භාරව කටයුතු කරමින් සිදු කළ විශිෂ්ට සේවය නිසා කෙටි කාලයක් තුළ සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය ප්‍රදානය කරන ලදී.

මෛත්‍රීමූර්ති ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ රාශියකි. ඒ අතර මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය, මානසික රෝග සුවපත් කරන අයුරු, සැනසිලිදායක ජීවිතයකට මඟ, දැවෙන සිතට සමාධි සුවය, ඔබේ සිත දෙස බලන්න ආදී ග්‍රන්ථ ගණනාවක් ද රචනා කළ අතර සඟරා ගණනාවක සංස්කාරවරයකු ලෙස ද කටයුතු කළහ. එමෙන්ම වර්ෂ ගණනාවක සිට බුදුසරණ පත්‍රයට විවිධ මාතෘකා යටතේ ලිපි සම්පාදනය ද සිදු කරනු ලබති.

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන් වහන්සේගේ සඟ පරපුර වනුයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයයි. රාස්සගල විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයටත්, නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයටත්, ඉන් අනතුරුව තම පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයටත් පත් වූයේ මුන් වහන්සේට ශාසනික කටයුතු පිළිබඳ තිබූ සහජ දක්ෂතාව නිසා ම ය. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ධුරයටත් එහි උප සභාපති ධුරයටත් පත්වීමට හැකියාව ලැබිණි. අනතුරුව තම පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් පසුව 2004 වර්ෂයේ අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශවයේ මහා නායක ධුරය දරමින් එහි ශාසනික අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙවරක් සිදු කරනු ලබති. එම සේවාව ඇගැයීමක් ලෙස මේ වන විට සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ධුරය ද දරමින් ලක්දිව සම්බුදු සසුනේ වර්තමානයේ දිදුලන තාරකාවක් ලෙස වැඩ වසති.

එමෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලැබීම, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ යාවජීව සාමාජිකත්වයට පත් වීම, ආරම්භයේ සිට සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකත්වයට පත්වීම, සබරගමු අමරපුර සාමාගී‍්‍ර සංඝ සභාවේ සභාපති ධුරයට පත් වීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සාමාජිකත්වයට පත් වීම ආදී බොහෝ තනතුරුවලින් අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වී ඇත.

එමෙන්ම විවිධ පාර්ශ්ව විසින් අතිගරු මහානායක ස්වාමීන් වහන්සේට පිරිනමන ලද ගෞරව සම්මාන බොහොමයක් වේ. ඒ අතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයෙන් “ආනන්ද මෛත්‍රෙය වංශාවතංස මහා මහෝපාධ්‍යාය” යන ගෞරව නාමය, එක්නැලිගොඩ විහාර පාර්ශ්වයෙන් “ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්යය” යන ගෞරව නාමය, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාත් සංඝ සභාව විසින් “සම්බුද්ධ ශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව නාමය, සබරගමු පළාත් සියම් මහා නිකායේ සිරි සුමංගල මහා සංඝ සභාවෙන් “කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද” යන ගෞරව නාමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා පරිවේණාධිපති කෘත්‍යාධිකාරී සංගමයෙන් “පරියාප්ති ශාසන ධර්මධ්වජාග්‍ර” යන ගෞරව නාමය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පදනමෙන් “සිරි සුගත ශාසනවංශාලංකාර සද්ධර්ම විභූෂණ” යන ගෞරව නාමය හා රත්නපුර දිස්ත්‍රික් ආයුර්වේද සංගමයෙන් “ධම්මෝසධ සෝභිත” යන ගෞරව නාමය ප්‍රදානය කිරීම ද විශේෂ වේ.

උදාර ශාසනික, ආගමික, සාමාජික, අධ්‍යාපනික මෙහෙවරක යෙදී සිටින පරම පූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේට තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් හා සියලු දෙවි රැකවරණින් චිරාත් කාලයක් සසුන් වැඩ වඩන්නට නිදුක් නීරෝගි සුව හා දිගාසිරි සුව වේවා'යි ප්‍රාර්ථනා කරන්නෙමු.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]