[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුවත්පත් කලාවේ බලය පෙන්වූ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

පුවත්පත් කලාවේ බලය පෙන්වූ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ වූ ද, ජාති හිතෛෂියකු සහ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම හොඳ සිංහල බෞද්ධයකු වූ මෙතුමා නමින් දොන් රිචර්ඩ් විජයවර්ධන නම් විය. මේ මස 23දාට යෙදෙන එතුමාගේ 138 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.

“රූපං ජීරති මච්චානං – නාම ගොත්තං න ජීරතී” යන දහම් පාඨය යථාර්ථයක් කළ ඩී.ආර්. විජයවර්ධන නාමය අප මෙලෙස සිහිපත් කරන්නේ එතුමා මේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව, සමාජයීය ලක්ෂණ, අධ්‍යාපනය ආදි අංශ කෙරෙහි ස්වකීය චින්තාව මෙහෙයවීමෙන් සිදු කළ මෙහෙවරත්, ආගමික ප්‍රබෝධයට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉටුකළ අගනා මෙහෙවරත් පාදක කර ගනිමිනි.

අනාගතය පිළිබඳ අප තුළ ඇති විශ්වාසයත්, ඒ සමඟම අපගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා ස්වයං ශික්ෂණයකින් මෙන්ම ඉවසීමෙන් ද යුතුව කටයුතු කිරීමත් මඟින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකි බව තරයේම විශ්වාස කළ උදාර යුග පුුරුෂයකු ලෙස ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් හඳුන්වාදිය හැකි ය.

ලාංකේය ඉතිහාසයේ කියැවෙන තුඩුගල පරපුරට අයත් සේදවත්ත දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍රරත්නය ලෙස 1886 පෙබරවාරි 23 වැනි දින ජන්මෝත්පත්තිය ලැබූ එතුමා කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත්, අනතුරුව බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් සරසවියේ උසස් අධ්‍යාපනයත් ලබා වර්ෂ 1912 දී මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි.

නූතන මහා වංශයේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පිළිබඳ සඳහන් ව ඇත්තේ මේ ආකාරයෙනි. එනම්,

386. ඩී.ආර්. විජයවඩ්ඪනෙන –  ජනානං හිතකාමිනා
සාඩිඪලක්ඛද්වයාධීනං –  ධනං සංරක්ඩිතං අහූ

387. විස්සවිජ්ජාලයෙ යෙතු – විසිට්ඨාජ්ඣෙනතප්පරා
භික්ඛු තෙසං නිවාසත්ථාං – සඩිඝාරාමස්ස කාරණා

388. සුප්පසෙත්‍ථා

පරිච්චාගො – හෙසො සමිපති සීහළෙ
භික්ඛූනං බුද්ධිමත්තානං – චරතං සත්ථසාගරෙ

389. නිකායහෙද්‍රො භික්ඛූනං – තත්‍රා’පි න භවිස්සති
විස්සවිජ්ජාලයාධීන – සිප්සානම්පි නිවෙසනං

“උසස් අධ්‍යාපනයක් ලබනු රිසියෙන් ලංකා විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේට නේවාසික පහසුකම් සලසන අටියෙන් සංඝාරාමයක් තැනීම සඳහා ඩී. ආර්. විජයවර්ධනයන් විසින් “ලංකා විශ්වවිද්‍යාලයීය සංඝාරාම සහ විහාර අරමුදල” යන නමින් රුපියල් ලක්ෂ දෙක හමාරක මහා අරමුදලක් පිහිටුවීම භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ යුගයේ සිදුවු සැලකිය යුතු සිද්ධියකි. භික්ෂූන් වහන්සේට මෙන්ම සාමණේරයන් වහන්සේට ද උසස් අධ්‍යාපනයක් ලබාදීමේ ද, විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිත බෞද්ධ ශිෂ්‍යයන් සඳහා ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ද අධ්‍යාශයෙන් මෙම අරමුදල පිහිටුවා ඇති බව අරමුදලේ භාරකාර ඔප්පුවේ සංඥාපනයෙහි සඳහන් වේ.

මේ අනුව පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය ප්‍රදේශයෙහි සුදුසු භූමි භාගයක සංඝාරාමයක් සහ විහාරයක් පිහිටුවීම අරමුදලේ භාරකාර මණ්ඩලයේ බලාපොරොත්තුව විය. එම සංඝාරාමයේ නේවාසික පහසුකම් සැලසීමේ දී නිකාය භේදයෙන් තොරව ක්‍රියා කළ යුතු බව විජයවර්ධනගේ අභිලාෂය විය.”

ඉංගි‍්‍රසියෙන් පළවූ පුවත්පත් අතර “කලම්බු ජර්නල්” (1834) සිලෝන් ඉන්ඩිපෙන්ඩන් (1888) “සිලෝන් ස්ටෑන්ඩඩ්” (1908) “මෝනිංලීඩර්” “සිලෝන් ඩේලිනිවුස්” “සිලොන් ඔබ්සර්වර්” “කැතලින් මැසෙන්ජර්” සහ “සර්ව් ලයිට්” මුල් තන්හි ලා සැලකිය හැකි ය.

දෙමළ බසින් පළමුවරට ලංකාවේ පුවත්පතක් පළවූයේ 1841 දී ය. ඉක්බිති “මෝනිං ස්ටාර්” නමැති ඉංගී‍්‍රසි පුවත්පත අර්ධමාසිකව පළවන්නට විය.

1935 කාලයේ දී ප්‍රධාන පුවත්පත් ආයතන දෙකක් විය. ඒ ආයතන දෙක නම් කොළඹ නගරයේ පිහිටි “ටයිම්ස්” සමාගම සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ය. මෙයින් ටයිම්ස් පුවත්පත් සමාගම යුරෝපීය වතුකරුවන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් සතු වූවකි. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඩී.ආර්. විජයවර්ධන ( 1886 - 1950) නමැති දේශීය ව්‍යාපාරිකයා සතු විය. “ටයිම්ස්” සමාගමේ අරමුණ වූයේ එවකට මේ රටට බලපෑ විදේශීය ආධිපත්‍යය හා බටහිර සංස්කෘතික වාතාවරණය රැක ගැනීමයි. විජයවර්ධනයන් එම අරමුණුවලට ප්‍රතිවිරුද්ධ පරමාර්ථයන් මුදුන්පත් කරගැනීමට කටයුතු කළේය. මේ සමාගම් දෙක අතරින් සිංහල පුවත්පත් පළකිරීමේ පුරෝගාමියා වූයේ විජයවර්ධනයන්ය. ඔහු පළ කළ දිනපතා පුවත්පත වන දිනමිණ, ඉරුදින පුවත්පත වන “සිළුමිණ” යන පත්‍රවල කර්තෘත්වය පිළිවෙළින් දැරුවාහු එච්.එස්. පෙරේරා, ඇලෙක්සැන්ඩර් වැලිවිට, පියසේන නිශ්ශංක සහ මාර්ටින් වික්‍රමසිංහය.

මෙවකට සිංහල බෞද්ධයා, සිංහල ජාතිය ආදි පත්‍රවලින් ගෙන ගිය ජාතික ව්‍යාපාරය ශක්තිමත් කිරීමෙහිලා උද්‍යෝගිමත් වූයේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සිංහල පත්‍ර සමූහය මෙහෙය වූ විජයවර්ධනයන්ය. මෙම සිංහල පත්‍ර කියැවූ පාඨක පිරිස අනුක්‍රමයෙන් වැඩි වී යෑම නිසා විජයවර්ධනයන්ගේ ආර්ථික තත්ත්වය ද ශීඝ්‍රයෙන් දියුණු විය. එබැවින් ඒ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගම බවට පත්විය.

1936 දී පමණ පුවත්පත්වලින් වැඩි කොටසකට දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමටත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වාර්තා පළකිරීමටත්, ඉඩකඩ ලැබිණි. 1936 මහා මැතිවරණයක් පවත්වන්නට නියම ව තිබූ බැවින් සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේ අගය හා නිදහස් රාජ්‍යයක් පිහිටුවීමේ පරමාර්ථය පැහැදිලි කර දීමට සුදුසු අවස්ථාව උදාව තිබූ බව පත්‍ර කර්තෘවරු විශ්වාස කළහ.

ජාතික හා බෞද්ධාගමික ප්‍රශ්නවල දී “සිංහල ජාතිය” “සිංහල බෞද්ධයා” වැනි පත්‍ර පාඨකයා කෙරෙහි වැඩි බලපෑමක් ඇති කළ බව පෙනේ. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් රට මුදා ගැනීමටත්, එමඟින් නිදහස දිනා ගැනීමටත් එවකට පළවූ සියලු ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර වැදගත් සේවයක් ඉටුකළ බව පිළිගත යුතුයි. ස්වරාජ්‍ය තත්ත්වය දිනා ගැනීම සඳහා ලාංකික ජන නායකයන් ආරම්භ කළ සටනට පක්ෂව භාෂා තුනෙන් ම කරුණු පළ කළේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට අයත් පුවත්පත් මඟිනි. සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, සරසවි සඳරැස වැනි පුවත්පත්වල කතුවැකි විශේෂයෙන් ඒ සඳහා යොමු විය.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කෙරෙහි පැවැති සමාජ චින්තනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සමකාලීන බහුශ්‍රැත පැවිදි පඬිවරුන්ගේ සමීප ඇසුරයි. දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමි, යගිරල පඤ්ඤානන්ද නාහිමි, කහවේ රතනසාර නාහිමි, රත්මලානේ ධර්මාරාම නාහිමි, මහගොඩ ඤාණිස්සර නාහිමි, බද්දේගම ශි‍්‍ර පියරතන නාහිමි, බෙන්තොට අත්තදස්සී නාහිමි, බෙන්තොට සරණංකර නාහිමි, යාත්‍රාමුල්ලේ ධර්මාරාම නාහිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමි ආදි ධර්ම විනයධර සම්භාවනීය පැවිදි පඬිවරුන්ගේ ඇසුරත්, ආභාසයත් නිසා ආගමික පැත්තට එතුමා වඩාත් නැඹුරු විය.

විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ආගමික විඥානය කොතරම් දුරට විශද කළා ද යත් 1933දී දිනමිණ වෙසක් කලාපය ආරම්භ කළේ ය. එම කලාපය සම්බුදු තෙමඟුල වෙනුවෙන් නිකුත් කළේ වාණිජමය ලාබ අපේක්ෂාවෙන් තොරව ය.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ. ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමාතාණන් සතුව පැවැති කැලණිය මානෙල්වත්ත අක්කර 36ක භූමි ප්‍රමාණයක් සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට පුරෝගාමියා වූයේ ද ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාණන් ය.

බුදුදහමෙහි අන්තර්ගත “යථාවාදි තථාකාරි ගුණයෙන් සපිරි ඩී.ආර්. විජයවර්ධනයන් කැලණි විහාරයේ සිතුවම් අඳින්නට සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා තෝරාගනු ලැබීමෙන් ම බෞද්ධ පුනරුදයට මං විවර කළ අයුරු ප්‍රකට වේ.

එවකට ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටි දෙවුන්දර ජිනරතන නාහිමි, දෙවුන්දර වාචිස්සර නාහිමි යන සම්භාවනීය යතිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි ගංගාරාම විහාරස්ථානය ගොඩ නැංවීම මෙන් ම එම පොහොය සීමාව සකස් කිරීම ද ඩී.ආර්. විජයවර්ධන මහතා සිදු කළ සේවාවන් අතර සදානුස්මරණීය වනු ඇත.

එතුමාගේ 138 වැනි ජන්ම දිනය අනුස්මරණය කරමින් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත්, සියලුම කාර්යමණ්ඩලයත් එක්ව මෙම මස 21, 22 දිනයන්හි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර ගරුතර මහා සංඝරත්නය විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණි.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]