නැවත නැවත
පුරුදු කළ යුතු
දස අනුස්සති භාවනා
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
දස අනුස්සති :
බුද්ධානුස්සති : බුදුගුණ නවය අරමුණූකොට ඒවා නැවත නැවත සිහිකිරීම (බුදුගුණ අනන්තය.
බුද්ධ වචනයෙන්ම මෙසේ කෙටිකර ඇත)
ධම්මානුස්සති : ධර්මයේ ගුණ හය අරමුණුූ කොට ඒවා නැවත නැවත සිහිකිරීම (දහම් ගුණ ද භව
නෙත්තිය (තණ්හාව කෙළවර) දක්වා දිග්ය.
සංඝානුස්සති : සඟ ගුණ නවය අරමුණුූ කොට ඒවා නැවත නැවත සිහිකිරීම (සැරියුත් තෙරුණට
කල්පයක් පුරාවට වැස්ස වැසි බින්දු ගණනින් කිව හැක.ආනන්ද තෙරුණට 45 වසක් පුරා දෙසූ
සූත්‍ර දේශනා මතකයේ ඇත. මේ නවයද බුද්ධ දේශනාවකි)
සීලානුස්සති : තමා සමාදන්ව ඇති පන්සිල්, අටසිල්, දසසිල් සාමණේර හෝ උපසම්පදා සිල්
සමාදන් වූ මොහොතේ පටන් සිහිකරන මොහොත දක්වා (පැය 1 - 24 සතියක්, මාසයක්, වසරක් වසර
50 - 60 ක් හේ ජීවිත කාලයම) ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක්වන පරිදි ආර්යකාන්ත
ලෙස රැක්ම මෙයින් සිදු විය යුතුය. මේවා කඩනොකොට (අඛණ්ඩ) සිදුරු නැතිව (අජිදු)
පුල්ලි ඇති නොවන පරිදි (අකම්මාස) පන්සිල්වලින් 4 හොඳයි 1 වරින් වර කැඩෙයි ආදි
වශයෙන් එසේ නොවන පරිදි සීලය ආරක්ෂා කර ගැනීම (අසබල) විය යුතුය. එසේ රැකීම ආර්යකාන්ත
වේ. (වරක් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ නමක් දුරින් පිහිටි විහාරයකට බණ ඇසීමට වැඩම
කළේ, ශාලාව පිරී තිබුණ හෙයින් එළියෙන් වාඩි වී බණ අසන්නේ ටික වේලාවකින් අවට සිටි
විෂඝෝර සර්පයකුගේ දළ පහරකට ගොදුරු වූ යේය. සුළු වේලාවක් යන විට විෂ ශරීරයේ උඩට
ක්‍රමයෙන් එන බව දැනෙන භික්ෂුන් වහන්සේ තව මඳ වේලාවකින් තමාගේ මරණය සිදුවන බව වැටහී
කළ යුත්තේ කුමක්’දැයි සිතූහ. උන්වහන්සේ තමා පැවිදි වූ දා පටන් මේ දක්වා තමා ආරක්ෂා
කළ සීලය සිහිපත් කොට මරණයට මුහුණ දෙන බව තීරණය කොට එසේ කළහ. මේ අයුරින් තමා සමාදන්
වූ සීලය පෙරදා සිට මේ මොහොත දක්වා සිහිපත් කරන්නේ ඉහතින් දැක්වූ පරිදි ආර්යකාන්ත
ලෙසින් තමා සමාදන් වූ සීලය රැක්ක බව සිහිපත් වී සිතට සතුට දැනිණි. මෙසේ දිගින්
දිගටම සිහිකරන්නේ ඇතිවන සතුට තුළ ශරීරයේ නැඟී එන ආ විෂ ගතිය පහළට බැස යන බව
උන්වහන්සේට දැනෙන්නට විය. ටික වේලාවකින් සීලය මනාව රකිමින් යහපතෙහි හැසිරීම නිසා
ලැබුණු සතුට නිසා ශරීරයේ ලේ පිරිසිදු වී විෂ ගතිය සම්පූර්ණයෙන් පහව ගියේ නැවත ධර්මය
ඇසීමට සිත කය යොමු කොට හිමිදිරි උදය වන විට මගඵලලාභියකු ද වූ බව මජ්ක්‍ධිම නිකායේ
එන අටුවා කතාවක කියැවේ) මේවා මායා කතා නොවේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකී.
චාගානුස්සති (ත්‍යාගානුස්මෘතිය) දන්දීමෙහි ආනිසංස අවබෝධව නිතර නිතර දන්දීමට සිත
සකස් කර ගත්තහු ත්‍යාගවන්තයෝය. මෙය සිතින් මුදවාලු දාන වස්තූන් දෑතින්ද අල්ලා නොගෙන
දීමෙන් සේදූ දෙඅත් ඇත්තෙකු සේ වීමය. දීමෙහි ඇළුණු කෙනෙක් වීමය. (මුත්තචාගො පයතපාණි)
කපිලවස්තු පුර මහානාම ශාක්‍ය වංශිකයෙකි. බුදුරජාණන් වහන්සේගේ ද ලේ ඤාතියෙකි. මෙතුමා
පියුමතුරා බුදුරජාණන් වහන්සේ දවස මහ දන්දී ධර්මය අසන්නේ ප්‍රණීත රසයෙන් එදා දන්
දුන් උපාසකයෙකු හට අග තනතුරක් පුදනු දැක සතුටුව තමාද ඒ තනතුර පතා සසර පුරා කල්ප
ලක්ෂ ගණන් දිගට දන්දෙමින් දිව්‍ය මනුෂ්‍ය සැපම පමණක් විඳිමින් ආයේය. මේ මහානාම
ශාක්‍යයන්, අප බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩි පළමු අවස්ථාවේදීම සදහම් අසා
සෝතාපත්ති ඵලයට පත් වූවෙකි. අපගේ භාග්‍යවතුන් වහන්සේ 12 වෙනි වස බමුණෙකුගේ
ආරාධනාවෙන් භික්ෂු සංඝයා සමඟ වස් විසීමට වේරඤ්ජාවට වැඩිය මුත් බමුණාට වස් ආරාධනාව
අමතක වී තුන්මසක්ම ඒ ප්‍රදේශයට අශ්ව වෙළඳාමට පැමිණ වෙළඳුන් පිදූ “යව“ අනුභවයෙන් කල්
ගෙවීමට සිදු වූ සේක. වස් පවාරණයෙන් පසු නැවැත කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයට වැඩි බව
ඇසූ මහානාම ශාක්‍යයන් එහි ගොස් බුදුරජාණන් වහන්සේ හමුව වේරඤ්ජාවෙහිදී ඇතිවූ පිඬු
හැසිරීමේදී අපහසුව මවිසින් ඇසූ බව දන්වා සිවුමසක් බික්සඟනට “ඕජස් පල ඇති” (අප
මුඛයෙන් ඇතුල් කරන ඕලාරික රළු ආහාර ආමාශයේදී දිරවා ඕජස් පමණක් ගෙන රොඩ්ඩ පිට කෙරේ.
මේ ඕජස ලේ බවට හරවාලයි) ප්‍රණීත ආහාර පූජා කිරීමට අවසර ඉල්ලීය. ශාස්තෲන් වහන්සේ
ඉවසා වදාළ සේක. ආරාධනාව පිළිගත් බව දැන මහානාම ශාක්‍යයන් පසුදින සිටම ප්‍රණීත රස
බොජුන් හා චතුමධුර ආදියෙන් බුද්ධ ප්‍රමුඛ සියලු සංඝයාට උපස්ථාන කළහ. සිවුමස අවසානයේ
යළිත් සිවු මසකට අවසර ගෙන අටමසක් සපුරාලන්නේ නැවතත් සිවු මසකට අවසර ලබා මුළු
අවුරුද්දේම ප්‍රණීත ආහාර පූජා සිදු කළේය. බුදුරජාණන් වහන්සේ එතැන් සිට අවසර නොදුන්
සේක. එහෙත් මහානාම ශාක්‍ය උපාසක තෙමේ වරින්වර විහාරයට පැමිණ මහා සංඝයා වහන්සේට ඒ
අයුරින්ම සත්කාර කරන්නේ ඔහුගේ මේ ගුණය දඹදිව් පුරා ප්‍රකට වීය. පසු කලෙක සම්මා
සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසද්දී මහානාම ශාක්‍යයන් ප්‍රණීත දන්
දෙන දායකයන් අතුරින් අගතැන්හී තැබූ සේක. මෙතුමා අගතනතුරුලාභී අසූ මහ බුද්ධ
ශ්‍රාවකයන්ගෙන් (ගිහි) එක් අයෙකි. (අ.නි) ඒකක නිපාතය – ඒතදග්ගපාලි – පිට 213 - පාලි
අටුවා)
දානය නිතර වී චාග ධර්මතාවයක් දක්වා දියුණු කරගත හැකි අයුරු මෙයින් කියැවේ. මේවා අපට
ගළපා බැලීමේදී අපට මෙසේ නොකළ හැකි බවට (නිදහසට) බොහෝ කරුණූු ඇත. එහෙත් ධම්ම න්‍යාය
නම් මෙයම වේ. තෙරුවන් කෙරෙහි පැහැදී ශ්‍රද්ධාව පෙරටු කොට අල්ලා ගැනීමෙන් තොරව දෙඅත්
සහ සිත මුදවාගෙන දුකින් මිදීමේ සිත් ඇතිව නිවන අරමුණු කොට දීම තුළ ඔහු භෞතික ධනයෙන්
වුවද නොපිරිහේ. “චාගය” ආර්ය ධනයකි. චාගය සහිත උතුම් ආර්ය ධන 7ක් ධර්මයේ සඳහන් වේ.
ශ්‍රද්ධා – ශීල - පවට ලජ්ජාවීම, පව් කිරීමට බය වීම – ශ්‍රැතිය - චාගය (ත්‍යාග) හා
ප්‍රඥාව වශයෙනි. මේ සත්ධර්මතා ඇත්තා – බෞද්ධයෙකි. ඔහු කිසිදු දුප්පතකු නොවේ.
දේවතානුස්සතිය : දෙවියන් අරමුණු කොට දෙවියන් සාක්ෂියට තබා තමන්ගේ ශ්‍රද්ධා, ශීල
ශ්‍රැත,ත්‍යාග, ප්‍රඥා ගුණ අරමුණූ කොට සිහිය පවත්වාගෙන යාම දේවතානුස්සතියයි.
චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මානරතී, පරනිම්මිත වසවර්ති යන සදෙව්
ලොවක් ඇත. එහි තෙරුවන් සරණ ගිය සෝවාන් – සකෘදාගාමී සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සහ
බඹතලයන්හි බ්‍රහ්මකායික සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඇති බව මම පිළිගනිමි. මොවුන්
මනුලොවින් චුතව එවන් සුගති ලෝකයන්හි පහළ වූයේ ඉහත සඳහන් ශ්‍රද්ධාදී පංච ගුණයෙන්
මෙලොවදී රකිමින් නැවත නැවත සිහිකරමින් (අනුස්සතියෙන්) ආරක්ෂා කළ හෙයිනි. මමද
සම්මාදිට්ඨිගත ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග උපදවා සුගති
ලෝකයක් හෝ අසංඛත නිවන නැවත නැවත සිහියට නංවාගන්නේ යනුවෙන් සිහිකිරීම මේ
අනුස්සතියයි. මෙසේ සිහිකරන්නහුගේ රාග චිත්තයන් මැඬලන්නේය. පංච නීවරණයන් යටපත්ව
ධ්‍යානාංග උපදින බව “මහානාම සූත්‍ර” දේශනාවේ තිබේ. (අං.නි.4 පිට 12)
මරණානුස්සතිය : මෙහි එක් උපතකට හමුවන කාය චිත්ත ජීවිතේන්ද්‍රීය සිඳී යෑම මරණය සේ
සැලැකේ. එය ජවිතේන්ද්‍රියොපච්ඡේද මරණය ලෙස ධර්මයේ සඳහන් වේ. ඒ හැර සමුච්ඡේද මරණය
(රහතන් වහන්සේලා සියලු කෙලෙස් නසා සසර දුකින් මිදීම නම් වූ පිරිනිවීම) ක්ෂණික මරණය
(සංස්කාරයන්ගේ උද්‍ය – ව්‍යය ක්ෂණ භංගය) සම්මුති මරණය (ලෝක සම්මත මරණය) යනුවෙන්
තවත් මරණ තුනෙක් වෙති. තවද සිවු මරණයක් වේ. 1.ප්‍රතිසන්ධික කර්ම ශක්තිය අවසන්
වීමෙන් කම්මක්ඛය මරණය 2. ගෙන ආ ආයුෂ අවසන් වීමෙන් ආයුක්ඛය මරණය 3. කම්ම බලය හා ආයු
ශක්තිය දෙකම එකවිට අවසන්වීමෙන් උභයක්ඛය මරණය හා 4. කර්ම බලය හා ආයුෂ දෙකම ඉතිරිව
තිබියදී සසරදී කළ වෙනත් ප්‍රබල කර්මයක් ඉදිරිපත්ව සිදුවන උපච්ඡේදක මරණය වශයෙනි. මරණ
අනුස්සතියට ගනු ලබන්නේ මේ සතර මරණය මුල්කොටගත් ජවිතේන්ද්‍රයොපච්ඡේද මරණයයි. නැතහොත්
ලෝක සම්මුති මරණයයි. මෙය සිහිකිරීමේදී තමාගේ මරණයට භය හා සෝක ඇති වන්නේ, සතිය
සංවේගය හා ප්‍රඥාව නැති හෙයින්ය.
එනිසා ඇතිවන ඒ භය සෝක පහකිරීමට නම් උපන් සත්ත්වයාට මරණය නියත බවත් මෙතෙක් මෙලොව
ජීවත්ව සිටි උගතා, නූගතා, දුප්පතා පොහොසතා, රෝගී නීරෝගී ආදි කොට ඇති සියලු දෙනා
මරණයට පත් වූවා සේ මමද එසේ යයි සිතට නගාගෙන ප්‍රමාදය මග හැර අප්‍රමාද බව ඇති කොට
සිහිකිරීම මේ අනුස්තියයි. අහස උසට ආසන්න මහා ගල් පර්වත සතරක් හාත්පසින් පෙරළි පෙරළී
එන්නා සේ ජරා – මරණ පර්වත සතරක් හාත්පසින් පෙරළි පෙරළී එන්නා සේ ජරා – මරණ ධර්මතාවය
ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය – ශුද්‍ර හෝ රටවල් ජාති ආගම් කුල හෝ උගත්, නූගත්,
ධනවත්, දුගී භේද රහිතව සියලු සත්ත්වයෝ මඩිමින් එන්නේය.
කිසිවෙකු අත් නොහරින්නේ ය. ජාති, ජරා, ව්‍යාධි, මරණ උපමා කොට ගත් ඒ මහා ගල් පර්වත
හැමතින් පෙරළී එන්නේ ඒවා ඇතුන්ට හෝ යුද ටැංකියකට පාබල සේනාවකට මර්දනය කළ නොහැක.
යුද්ධ කොට මන්ත්‍ර මතුරා මැඬිය නොහැක. මෙසේ ජීවිත සම්පත්තිය මරණ විපත්තියක් කර
නොගත්තාහු වන්නේ අප්‍රමාද ව සිහියෙන් ජීවිත ගත කළාහු පමණි. නොබියව මරනානුස්තිය
වැඩිය හැකි කෙනෙකු වීමට සුදුස්සෙකු වන්නේ මෙවන් අය බව බුදුරජාණන් වහන්සේ වදාළ මරණ
සති සූත්‍රවල සඳහන්ව ඇත. (අං.වි. 4 පිටුව 40 -49/අ.නි.5 - පිටු 302 මරණ සති සූත්‍ර)
කායගතා අනුස්සතිය : මෙහි ‘කාය’ නම් ශරීරයයි. එවිට “කායගත” නම් ශරීරය පිළිබඳ සිහිය
නැවත නැවත සිහිකිරීමයි. යටි පතුලෙහි පටන් උඩ කෙස් අග දක්වා වූ බඹයක් පමණ ඇති මේ
ශරීරයෙහි මුළු වීර්ය යොදා සෙවූ නමුත් කිසිම මුතු ඇටයක්, මැණිකක්, වෛධූර්ය, නිල් රතු
මැණිකක් හෝ සුවඳ හමන අගිල්, කොකුමගරා, කපුරු, වත්සුණු ආදියක් නොදක්නේ ය. දක්නට
ඇත්තේ කුමක්ද? සතර මහා භූතයන්ගෙන් සැකසුණූ ඉතාම දුර්ගන්ධ වූ, පිළිකුල් සහගත වූ
දැකීමට පවා පි‍්‍රය නැති නානාප්‍රකාර අසූචියෙන් (අපවිත්‍ර දෙයින්) පිරුණු කෙස්,
ලොම්, නිය, දත්,බඩවැල්, මළ මූත්‍ර, කෙළ, සෙම්, සොටු ලේ ආදී කොට ඇති දෙතිස් කුණපයකි.
මෙය තම ශරීරය ආධ්‍යාත්මික වශයෙන් සිහියට නැඟීම ය. මෙසේ සිත පිහිටා ගත්තහු හට බාහිර
කය පිළිබඳ මනසිකාරය කරතහොත් බාහිරින් දකින සියලු මනුෂ්‍ය, තිරිසන් ආදීහු ද දකින්නේ
සත්ත්ව සංකල්පයෙන් නොව කොට්ඨාස රාසි වශයෙනි.
සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකාය - 3 උපරිපණ්ණාසකයේ අනුපද වග්ගයේ 9 වන සූත්‍රය
කායගතාසති සූත්‍රය වේ. එහි කායගතාසතිය පැහැදිලි කිරීමේ දී සිහි කළ යුතු පබ්බ හෙවත්
“පිරීම්” හයක් දක්වති. ඒ 1.ආනාපන පබ්බය 2. ඉරියාපථපබ්බය 3.චතුසම්පජඤ්ඤ පබ්බය
4.පටික්කුලමනසිකාර පබ්බය 5. ධාතු මනසිකාර පබ්බය හා 6. නව සීවථික පබ්බය වශයෙනි.
එනමුත් භාවනා වඩන විධි දක්වා ඇති විශුද්ධි මග්ගයේ අනුස්සති කර්මස්ථාන නිද්දේශයේ
කායගතා සතියේ සය පබ්බය පිළිබඳ මෙසේ පැහැදිලි කිරීමක් සඳහන් ව ඇත. මේ පබ්බ අතුරින්
ඉරියාපථ චතුසම්පජඤ්ඤ හා ධාතු මනසිකාරයන් පබ්බ තුන වදාළේ විදර්ශනා වශයෙන් බවත්, නව
සීවථික පබ්බය වදාළේ විදර්ශනා ඥානයෙහි ම ආදීනවානුපස්සනා වශයෙන් බවත් ය. තවද අශුභ
භාවනා වශයෙන් සමථ සම සතළිස් කමටහන්හි උද්ධුමාතිකාදිය ඇතුළත් ව ඇති හෙයින්
කායගතාසතියට ඇතුළත් නොවන බව ය. එවිට ඉතිරි වන්නේ ආනාපන සති පබ්බය හා පටික්කුල
මනසිකාර පබ්බය පමණි. මේ දෙකින් ද ආනාපන සති පබ්බය ද වෙනම කමටහනක් ලෙස අනුස්සති
නිර්දේශයේ එන හෙයින් කායගතා සති අනුස්සතියේ දී මෙහි මුලින් දක්වා ඇති පරිදි
ආධ්‍යාත්මික බාහිර කයේ දෙතිස් කුණප කොට්ඨාස රාසි වශයෙන් දැකීමට සමත් වූ “පටික්කුල
මනසිකාර පබ්බය” පමණක් වැඩීමෙන් භාවනාවේ. අප්‍රමාද ආනිසංස ළඟා වෙන බව දක්වයි. (ම.නි.
3 - පිට 238)
ආනාපානානුස්සතිය : ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන නමි. ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණූ කොට
උපදවා ගන්නා සිහිය ආනාපානුස්සතියයි. එනම්, හුස්ම ඉහළට ගැනීම පහළට හෙළීම අරමුණූ කොට
ඇති සිහියයි. මේ ආනාපානසති සමාධිය පිළිබඳ බොහෝ විස්තර බොහෝ දෙනා දැන සිටින හෙයින්
විස්තරයකට නොයමි. බුදුරජාණන් වහන්සේ මේ සමාධියට ප්‍රශංසා කළ අයුරු දක්වන්නේ නම්,
“මහණෙනි, ආනාපානසති සමාධිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ වී නම් ශාන්ත ද
ප්‍රණීත ද සුඛ විහරණ ද වන්නේ ය. උපනූපන් පාප අකුසල් ධර්ම ඇසිල්ලකින් අතුරුදහන්
කරන්නේ ය. සන්සිඳුවන්නේ ය.” ආදි වශයෙනි. (විස්තර: විශුද්ධිමග්ගය අනුස්සති නිද්දේසයේ
ආනාපානසති නිද්දේසය හා මජ්ක්‍ධිමනිකාය 3 - පිට 224 බලන්න)
උපසමානුස්සතිය: “උපසම” යන්නෙහි ගම්භීර අරුත වන්නේ නිර්වාණයයි. ඒ නිර්වාණය නම් වූ
උපසමය අරමුණූ කොට උපදවා ගන්නා අනුස්සතිය (නැවත නැවත සිහිකිරීම) උපසමානුස්සතියයි.
එනම් සියලු කෙලෙස් (දුක්) සංසිඳවාලිය හැකි සද්ධර්ම දේශනා අරමුණුූ කොට සිහිකරවාලන
සතියයි. අපි සියලු දුක් නැති කිරීමට කුසල ජන්දයක් (දක්ෂබවක්) කුසල් සිත් වැඩීමක්
(කුසලාභිසන්‍ද) පිළිබඳ වීර්ය ඇත්තෙක් වේ නම් පරතෝඝෝෂයෙන් අසා දැනගත් නිවැරැදි නිවන්
මඟ දැනගත් පරිදි තම ප්‍රඥාවෙන් විමසා මෙනෙහි කිරීම මේ සතියයි. සිහිගැන්වීමයි. උදා:–
දොළොස් අංගයෙන් යුත් පටිච්ච සමුප්පාදය, නාමරූප, ස්කන්ධ පහ – ආයතන දොළොස, ධාතු
අටළොසක් ලෙස සිහිකිරීම වේ. මෙසේ සිහිකරන්නේ රාග, ද්වේෂ මෝහාදියෙන් සිතට වෙන පීඩන
පහව යේ. උපසමය (නිවන – චතුස් සත්‍යාවබෝධය) කෙරෙහි සිත ඍජු වේ. නිවන පිළිබඳ ශ්‍රද්ධා
ඇත්තකු එය ඇසීමෙන් (ශ්‍රැතියෙන් ම) සතුටු වේ. එසේ නම් මෙසේ භාවනාවක් ලෙස ප්‍රඥාවෙන්
විමසන විට (වීමංසා) සිත කිලිටෙන් කෙලෙස්වලින් පිරිසුදු වීම අනිවාර්ය වේ.
උපසමානුස්සතිය වඩන්නහු සුවසේ නිදන්නේ ය. සුව සේ පිබිදෙන්නේ ය. සන්සුන් ව ඉඳුරන් ඇති
වන්නේ ය. සන්සුන් නිදන්නේ ය. සුවසේ පිබිදෙන්නේ ය. සන්සුන් ඉඳුරන් ඇති වන්නේ ය.
සන්සුන් ප්‍රායෝගික සිත් ද ඇති වන්නේ ය. පව කෙරෙහි ලජ්ජා භයින් යුක්ත වන්නේ ය.
ප්‍රසාද උපදවන්නේ ය. ප්‍රසන්න අදහස් ඇත්තකු වන්නේ ය. ඇසුරු කරන්නන් අතර ගරු
සම්භාවනීය වන්නේ ය. මත්තෙහි චතුස්සත්‍යාවබෝධය නොවුනේ නම් සුගතියෙහි ම ඉපදීම වන්නේ
ය. මෙසේ හෙයින් ධර්මයට රුචි අපි ඒකාන්තයෙන් අප්‍රමාද ව නොයෙක් ආනිසංස ඇති මේ
උපසමානුස්සතිය වඩන්නෝ වෙමු. පරමාර්ථ දේශනාවේ ධර්මතා සියල්ල 170 කි. චිත්ත (සිත්)
89+ චෛතසික 52 + රූප 28+ නිවන 01 - 170 වේ. මේ ධර්මතා අසා දැන අවබෝධ කරලීම සඳහා
ස්කන්ධ 05+ ආයතන 12+ ධාතු 18+ ඉන්ද්‍රියෝ 22 එකතුව - 57ක් ලෙස දක්වා ඇත.
තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා ඇත්තකු මේ ඉන්ද්‍රිය 22 දැන දැක ගන්නේ නම්, සතර මඟ පල
සාක්ෂාත් කෙරේ. (ඉන්ද්‍රිය 22, විභංග 1 පිට 220 බලන්න)
මේ දස අනුස්සතිය ම සතළිස් ආකාර සමථ භාවනා කර්මස්ථානයන්හි ඇතුළත් කමටහන් දහයක් ම වේ.
එහෙයින් බුදුසමය විශ්වාසයෙන් අදහන්නහු පැහැදුනාහු ධම්ට්ඨිතිඤාණය හෙවත් විදර්ශනා
ඥානයෙන් ගැඹුරු දහමට යාමට පෙර මේ දස අනුස්සති පිළිබඳ අවධානය යොමු කරවාලීම බෙහෙවින්
අගනේ ය. |