දුරුතු අමාවක පෝ දා
2024-02-09
දිරන කය හා නො දිරන නාමය
බුදුරදුන් දවස සැවැත් නුවර තිස්ස නම් තෙර නමක් අසනීප ව කල් ගෙවීය. පළමුව සිරුර පුරා
අබ ඇට සේ හටගත් බිබිලි ක්‍රමයෙන් මුං - කඩල -ඩෙබර- නෙල්ලි - බෙලි පමණ වූ ගඩු බවට
පත්විය. සමහර ගඩු පිපිරී ගොස් ලෙයින්, සැරවෙන් සිරුර අපවිත්‍ර විය. දුර්ගන්ධය
හමන්නට විය. තෙරණුවෝ ද දැඩි වේදනාකාරී ව පීඩා විඳින්නට වූහ. එහෙයින් ම උන්වහන්සේ
පුතිගත්ත තිස්ස නමින් හැඳින්විය. මෙම තෙරණුවෝ මේ සා පීඩාකාරී රෝගයකට මුහුණ දුන්නේ
පෙර කළ අකුසලයක් නිසා ය.
උන්වහන්සේ කසුප් බුදුරදුන් දවස කුරුලු වැද්දෙක් ව සිටියේ ය. සෑම දිනකම බොහෝ
කුරුල්ලන් අල්ලා ගන්නා මේ වැදි තෙම ඉන් කොටසක් විකුණා මුදල් ගනී. කොටසක් ආහාරයට
ගනී. ඉතිරිවන කුරුල්ලන් ද පියඹා යා නොහැකි ලෙස පියාපත් ගලවා දමයි. අඬු ඇට කඩා දමයි.
පසුදාට විකුණයි.
මෙසේ අකාරුණික ගති පැවතුමින් ජීවිතය ගෙවූ මේ වැද්දාගේ නිවෙසට දිනක් රහතන් වහන්සේ
නමක් පිඬු පිණිස වැඩම කළහ. උන්වහන්සේ දුටු වැද්දාගේ සිත සතුටක් ඇතිවුණි. සැදැහැ
සිතින් දන් පූජා කළ හෙතෙම උන්වහන්සේ ඉදිරියේ තම වැරැදි ජීවිතය පිළිබඳ හෙළි කළේ ය.
තමන් බොහෝ පවු කළ බවත්, මෙබඳු පිනක් වුව ද කර ගැනීමට ලැබීම තමන් ලද භාග්‍යක් බවත්
පවසමින්, ඒ පිනෙන් තමන්ටත් රහතන් වහන්සේ ලද දහම මුදුන් පැමිණේවා'යි ප්‍රාර්ථනා කළේ
ය. ඒ අනුව ජීවිත කාලය පුරා තමන් කළ පාප කර්මයේ දුක් විපාකත්, රහතන් වහන්සේට දානය
පූජා කොට සිදු කරගත් පිනෙහි සැප විපාකයත් මේ බවයේ දී ලැබුණි.
තිස්ස තෙරුන් වහන්සේගේ සුවදුක් බැලීම සඳහා තථාගතයත් වහන්සේ එහි වැඩම කළහ. උණු
පැනින් උන්වහන්සේ නහවා සෝදා පිරිසුදු කළ සේක. සෝදා පිරිසුදු කළ සිවුරු පෙරවූ සේක. ඒ
සමඟම පූතිගත්ත තිස්ස තෙරණුවන්ට මහා සුවයක් දැනුණි. උවටැන් ලැබීම නිසා සිත එකඟ වුණි.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ සිරුර නොබෝ කලකින් පහවූ සිතැතිව, හැර දමනු ලදුව
නිසරු දඩු කඩක් මෙන් පොළොවෙහි වැතිර යන්නේ යැයි දේශනා කොට වදාළ දහම් පද අසා
පූතිගත්ත තිස්ස තෙරණුවෝ රහත් බව ලබා පිරිනිවන් පෑ සේක. ඒ අනුව
අචිරං වතයං කායො
පඨවිං අධි සෙස්සති
ජුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං ව කළිංගරං
යනුවෙන් තෙරුන් අරභයා අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා ධර්මයත්, පුතිගත්ත
තිස්ස තෙරුන්ගේ වේදනාකාරී ජීවිතයත් අපගේ ජීවිතය හා ලද මිනිස් භවය තුළ අප කරන කියන
දෙය පිළිබඳ, ඒවායේ අර්ථ අනර්ථ පිළිබඳ නැවත නැවත සිතා බලන්නට අපුරු මඟ පෙන්වීමක් ලබා
දෙයි.
මෙම ගාථා ධර්මයට අනුව ‘අචිරං යනු මේ සිරුර නො පවත්නා බව ය. ඇතැම් කෙනකුට නියම ආයු
කාලය පමණවත් ගෙවා ගත නොහී අකාලයේ මිය යන්නට වන්නේ ය. එමෙන් ම සිත පහ වූ කල මේ
සිරුරෙන් වැඩක් නැත. පිළිකුල් ය. ඉවත ලන්නට වන්නේ ය. නිසරු දඬු සේ වැඩකට නැත.
පොළොවට පස් බවට පැමිණෙන්නේ ය. මේ මෙලොව උපදින අප සියලු දෙනාට අත් විඳීමට සිදුවන
යථාර්ථය යි. බොහෝ දෙනෙක් එය දනිතත් නො දන්නා සේ අපමණ පව්කම් කරමින් ජීවිතය වරදවා
හසුරුවති. මිය යන මොහොතවත් නොදන්නා අප යහපත් ගුණ ධර්මවලින් පොහොසත් ව, කය දිරා ගිය
ද නාමය නො දිරන ලෙස යහපත් නමක් තබන්නට වෙර ගත යුතු ය. |