අතු අතහැර
හරය ගනිමු
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම, ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
බුදුවරු, අරහත්හු, ශාස්තෘවරු, මේ සිරිලක දසදිසේ ජනිත වෙති. විශ්ව මුනි නම්
පුද්ගලයකු ද පසුගිය දින සිය ධර්මය දෙසන්නට ගොස් සිරගත විය. බුදු දහම දත් වියතුන්ට
මෙය අරුම නොවන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වූ අවධියේ හා ඉන් එපිට ද මෙවන් උදවිය වාසය
කළ බව අපේ බණ පොතෙහි දක්නට ලැබෙන හෙයිනි.
කුහකතාපස කථාවස්තුව ඊට කදිම නිදසුනකි. එහි තාපසයකු වෙයි. ඔහුට පැහැදුන දායකයකු
වෙසෙයි. මේ දායකයා සතුව රන් කහවනු තිබිණි. සොරුන් මෙය ගනිතැයි සිතන දායකයා මෙම
කහවනුවල ආරක්ෂාවට එය තාපසාරාමයෙහි තබයි. තාපසයා සෑම දිනක ම රාත්‍රී මේ කහවනු සැඟවූ
තැනින් ගෙන එය අත පත ගා යළිත් තබයි. දිනක් තාපසයා දායකයාගේ ගෙදරට පැමිණ එක් තැනක
සිටීම ඒ තැනට ඇලීමක් ඇතිවන බැවින් තම, තාපසාරාමය අතැර යන බව පවසයි. එසේ ගොස් නැවත
පැමිණ දායකයාගේ නිවසේ තණ කොළයක් තම ජටාවෙහි බැඳී තිබුණ බවත්, එය රැගෙන යාම සොරකමක්
වන නිසා එය දමා යන්නට ආ බවත් පවසයි. දායකයා තාපසයා කෙරෙහි තවත් පැහැදෙයි.
ටික දිනකින් තාපසාරාමයට ගොස් තම රන්කහවනු තිබේ දැයි සොයා බලන විට එය සැඟවූ තැන නොවී
ය. ජටාවේ රැඳුන තණ කොළය ගෙනත් දමා ගිය තාපසයා රන් කහවනු මල්ල රැගෙන ගොස් තිබුණි.
බොරු අරහතුන්ගේ ස්වභාවය ප්‍රකට කරන අවස්ථාවක් මෙහි වෙයි.
උපක ආජිවකයාත් එවැන්නෙකි. ඔහු කාලයක සිට තපස් රකියි. එක් වැද්දෙක් ඔහුට පැහැද ඇප
උපස්ථාන කරයි. වැද්දා නැති දිනක ඔහුගේ රූමත් දියණිය උපස්ථානයට යයි. දියණිය දකින
තාපසයාගේ තවුස් දම බිඳිණි. උපවාසයක යෙදී වැද්දාගේ දියණිය තම අඹුව කොට ගෙන තපස් බව
අත හරී.
ජම්බුක ආජීවක ද මෙවැන්නකි. ඔහු උපතින් ම ඇඳුම් නො අදියි. ආහාර අනුභව නොකරයි. ආහාරයට
ගන්නේ අසූචියි. තම අරමුණ ඉටු කර ගන්නට ඔහු කරන්නේ නගරයේ මිනිසුන් මළ පහ කරන්නට එන
ගල් පොත්තක් මතට ගොස් අතක් ඔසවා, කකුළක් නවාගෙන, කට ඇරගෙන තපස් රැකීමයි. මේ ආකාරයට
ලාභ අපේක්ෂාවෙන් නොවුණත් විශාල පිරිස් පිරිවරා ෂට්ශාස්තෘවරු විසුවේත් බුද්ධ කාලයේ ම
ය.
මෙවන් බුදුවරු පිළිබඳ වර්තමානයේ පමණක් නොව, බුද්ධ කාලයේ ද කුකුස මතු විය. එය දුරු
කරන්නට බුදු රජාණන් වහන්සේ මහා සාරෝපම හා චූලසාරෝපම සූත්‍ර දේශනා කළහ.
මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මෙම සූත්‍ර දෙක දක්නට ලැබෙයි. එම සූත්‍රයන්හි දී
සෑබෑ බුදුන් හා කපටි බුදුන් හඳුනා ගන්නට මනා වූ අත්වැළැක් සපයයි.
එය අලංකාර උපමාවක් තුළින් දක්වා ඇත. කෙනෙක් අරටුවක් සොයා යයි. ඔහුට අරටුව ඇති ගසක්
හමු වෙයි. කෙනෙක් අරටුව යැයි සිතා අතු කොළ රැගෙන යති. තව කෙනෙක් අරටුව යැයි සිතා
ගසෙහි පොත්ත රැගෙන යති. කෙනෙක් ගසෙහි සිවිය ද, තව කෙනෙක් ගසෙහි එලය ද අරටුව යැයි
සිතා රැගෙන යති. එක් අයෙක් පමණක් අරටුව රැගෙන යයි.
මෙහි පස් දෙනකු වෙයි. අරටුව යැයි කොළ අතු රැගෙන යන්නා, අරටුව යැයි සිතා ගසේ පොත්ත
අරන් යන්නා, අරටුව යැයි සිතා ගසේ සිවිය අරන් යන්නා, අරටුව යැයි සිතා එලය අරන්
යන්නා, අරටුව දැන අරටුව අරන් යන්නා ලෙසිනි.
බව සංසාර ගමනෙහි දුක නැති කොට නිවන් දකින අපේක්ෂාවෙන් පැවිදි ජීවිතයට පත් වෙන අය
ලාභ, සත්කාර, කීර්ති - ප්‍රසංසා ලබයි. ඉන් සතුටු වෙයි. තමා උසස් කොට සිතයි. අනුන්
හෙළා දකියි.
තව කෙනෙක් එහි සතුටු නොවී සීලය රකිති. එයින් සතුටු ව පෙර සේ කටයුතු කරති. තවත්
කෙනෙක් සීලයෙහි ද නොරැ¼දී, සමාධියට ගොස් එහි සතුටු ව පෙර සේ වෙති. කෙනෙක් සමාධියෙහි
සතුටු නොවී තවත් ඉදිරියට ගොස් ඤාණ දර්ශනය ලබා එහි සතුටු වෙති. එසේ සතුටු ව පෙර සේ
වෙති. තව කෙනෙක් ඤාණ දර්ශනයෙහි නොරැඳී ඉදිරියට ගොස් අර්හත්වය ලබති.
භව සසර දුක නැති කිරීමට පැවිදි වූ වෝ ද පස් දෙනෙක් වෙති.
ලාභ කීර්ති ප්‍රසංසාවන්හි සතුටු ව සිටින්නා, ලාභ කීර්ති ප්‍රසංසාවෙහි නොරැඳී සීලය
රකින්නා, සීලයෙහි නොරැඳීි සමාධියට යන්නා, සමාධියෙහි නොරැඳී ඤාණ දර්ශනයට යන්නා සහ
ඤාණ දර්ශනයෙහි නොරැඳී අර්හත්වයට යන්නා යනු ඒ පස්දෙනා වෙති.
ලාභ කීර්ති ප්‍රසංසාවෙහි සතුටු ව තමා උසස් කොට අනෙක් අය පහත් කොට සලකන පුද්ගලයා
අරටුව යැයි සිතා අතුකොළ ගෙන යන්නා හා සමාන වෙයි.වර්තමානයේ අප දකින මුනිවරු බොහෝමයක්
මේ ස්ථානයේ රැඳී සිටිති.
ලාභ කීර්ති ප්‍රසංසාවෙහි රැඳී නොසිට සීලය පූරණය කරන්නා අරටුව යැයි සිතා ගසේ පොත්ත
රැගෙන යන්නා ය.
සීලයෙහි නොසිට සමාධියට යන්නා අරටුව යැයි සිතා ගසේ සිවිය රැගෙන යන්නා වේ.
සමාධියෙහි නොරැඳී ඉදිරියට යන්නා අරටුව යැයි සිතා ගසෙහි එලය රැගෙන යන්නා වෙයි.
බුදුවරු, මුනිවරු, අරහත්තු ලෝක යථාර්ථය අවබෝධ කරගත් උතුමෝ වෙති. අරටුව සොයන
උන්වහන්සේ අරටුව හැඳින අරටුව ම රැගෙන යති. ඒ උතුමෝ වීර්යය වඩා සීලය රැක, සමාධියට
පත්ව උතුම් ඤාණ දර්ශනය ලබා රූපාවචර ධ්‍යාන ලැබුවෝ වෙති. අරූපාවචර ධ්‍යාන ලැබුවෝ
වෙති.පියවරින් පියවර සෝවාන් මාර්ග ඵල, සකෘදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල,
අර්හත් මාර්ග ඵල ලද උතුමෝ වෙති. ඔවුහු බාහිර ව සංවර වූවෝ වෙති. අභ්‍යන්තර ව සංවර
වූවෝ වෙති. ඔවුන්ගේ ගමන බිමන තුළ, හැඳීම පැළඳීම තුළ, කන බොන ආකාරය තුළ, කථා බහ තුළ
ඒ බව දකින්නට තිබුණි. ඒ අය අරහත්හු වූහ.
අප අද අරහතුන් යැයි දකින්නේ අරටු නොව අතු කොළ ය. අතු කොළවල අනුගාමිකයන් වීම මේ සසර
දුක නිමා කරලීමක් නොව සසර දුක වඩ වඩාත් වැඩි කර ගැනීමකි. ඒ තුළින් මෙලොව ජීවිතය
විනාශ කර ගනියි. පරලොව ජීවිතය විනාශ කර ගනියි. නිවන වඩ වඩාත් දුරු කර ගනියි.
එහෙයින් සුපිනැතියනි, නුවණින් සිතා බලා අරටු හඳුනාගෙන, ඒ අනුව කටයුතු කළ යුතු ය.
එසේ කිරීම භව සසර දුක නැති කිරීමේ මඟ වෙයි. |