[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සංසිඳුණු සිත අකුසල සිතිවිලි වළකයි

සංසිඳුණු සිත අකුසල සිතිවිලි වළකයි

බිබිල,ඇකිරියන්කුඹුර,
බැලුම්ගල ආරණ්‍ය සේනාසනයේ
පොතුහැර විපස්සී හිමි

රාග, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට සිත තුළ ඇති වන සියලු අකුසල් පුද්ගල ජීවිතය පරිහානියට, දුගතියට ඇද දමයි. දමනය නොකළ පාලනය නොකළ, සිතක් ඇති පුද්ගලයා තම හිතුමනාපයට කටයුතු කිරීමෙන් අකුසල් රැස් කර ගනිමින් තම ජීවිතය අනතුරට පත් කර ගනී. මේ නිසා දමනය කළ, සංසිඳුන සිතක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තමාගේ මෙන් ම සමාජයේ ද පොදු යහපත පිණිස ම වේ.

සිතක් දමනය කිරීම පහසු දෙයක් නොවේ. නමුත් එය කළ නොහැකි දෙයක් ද නොවේ. “චිත්තං දන්තං සුඛාවහං” දමනය කළ සිත සැප ගෙන දේ යනුවෙන් ධම්මපදයෙහි දේශනා කොට වදාළේ චිත්ත දමනයෙහි වටිනාකම පිළිබඳව යි. එමෙන් ම සිත වහා වෙනස් වන බවත් (ලහු පරිවත්තං චිත්තං) උපමාවකින් හෝ එම වේගය පැවසිය නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

සිතක් සැම විටක ම අරමුණක් සමඟ ම උපදී. ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු අනුව සිත උපදී. එසේම පුද්ගලයා සතු අයෝනිසෝමනසිකාරය හෙවත් වැරැදි ලෙස කල්පනා කිරීම නිසා අරමුණ හේතුවෙන් රාග, ද්වේශ, මෝහ යන අකුසල් ඇතිවේ. නිතර සිහියෙන්, නුවණින් (සති සම්පජ්ඤ්ඤ) යුතුව කටයුතු කිරීමෙන් අකුසල් ඇතිවීම පාලනය කළ හැකි ය. එසේම ඉන්ද්‍රිය සංවරය වශයෙන් බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ, ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුවල නිමිති නොගෙන සිටීමයි. එය ද සිහිය (සතිය) දියුණු කිරීමෙන් ම කළ යුතු දෙයක් බව හොඳින් විමසා බැලීමේදී පැහැදිලි වේ.

සුත්ත නිපාතයෙහි “අජිත සූත්‍රයේ” සඳහන් වන්නේ, සිහියෙන් (සතිය) කළ හැක්කේ අකුසලයෙන් සිත වළකා ගැනීම පමණි. (සති තේසං නිවාරණං) මුළුමනින් ම සිතෙන් අකුසල් දුරු කිරීමට නම් ප්‍රඥාව දියුණුූ කළ යුතු ය. හෙවත් මාර්ගඵල අවබෝධය ලැබිය යුතුය.

රහතන් වහන්සේ මුළුමනින් ම අකුසලයෙන් සිත වෙන් කොට ඇත. අනුපිළිවෙළින් අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ තම ප්‍රඥාවේ පමණට අකුසලයෙන් දුරු වී ඇත. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා හට අපාය ගාමී රාග, ද්වේශ නැති බව දේශනාවල සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ මුළුමනින් රාග, ද්වේශ දුරු කර නැති බවයි.

අකුසලයෙන් සිත වළකා ගත හැකි අනෙක් ආකාරය නම් සමාධිය දියුණුූ කිරීමයි. පළමුවන ධ්‍යාන සමාධිය විස්තර කිරීමේ දී සූත්‍ර ද්ශනාවල සඳහන් වන්නේ, “විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි” (කාමයන්ගෙන් හා අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ) වශයෙනි. එනම් සමථ වශයෙන් දියුණුූ කරන ලද ධ්‍යාන සමාධි අකුසලයන්ගෙන් තොර වේ. නමුත් එසේ සිත අකුසලයන්ගෙන් වෙන් වන්නේ සමාධිය තුළ සිටින තාක් පමණි. සමාධියෙන් වෙන් වු සිත නැවත අකුසලයට බර වේ. නමුත් සමාධිමත් සිතක් ඇති කර ගැනීම ද පහසු දෙයක් නොවේ. ඉතා දැඩි වීර්යයක් මෙන් ම, බලවත් සිහියක් ද පැවැත්විය යුතු වුවත් එසේ උපදවා ගත් සමාධිය පවා පවත්වා ගැනීම ඉතා දුෂ්කර වේ.

මාර්ගඵල ප්‍රඥාවත්, ධ්‍යාන සමාධියත් යන දෙකම දුෂ්කර නම් තව දුරටත් අකුසල් ඇතිවීමට ඉඩ දිය යුතු ද? නැත. උපක්‍රමශීලි ව ඒ ඒ මොහොතේ ගැළපෙන අයුරින් කටයුතු කොට අකුසලයෙන් සිත වළකා ගැනීම පිළිබඳ ව ද ඉතා වටිනා උපදෙස් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා. එම උපදෙස් නිවැරැදිව හදාරා මතක තබා ගෙන ඒ ඒ මොහොතේ දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගෙන සිත අකුසලයෙන් වළකා ගත හැකි ය.

මේ කුසල් අරමුණක සිත පවත්වමින් ඒ කුසල අරමුණ තුළ සිත දියුණු කිරීමට උත්සාහ දරන විට, රාග, ද්වේශ, මෝහ ආදි අකුසල් සිතිවිලි ගලා එයි නම්, ඒ අවස්ථාවේ දී ඉහත කුසල අරමුණෙන් සිත බැහැර කොට වෙනත් අරමුණක සිත රැඳවිය යුතු ය. එය ද කුසල් අරමුණක් විය යුතු ය. මෙය ඉතා විසිතුරු උපමාවකින් පැහැදිලි කර දී ඇත.

වඩුවකු විසින්, ලීයක හිරවී ඇති ලොකු ඇණයක්, වෙනත් කුඩා ඇණයකින් ගසා ඉවත් කරන්නේ යම් සේ ද, අකුසල් සිත, කුසල් සහගත වෙනත් අරමුණක් සිහිකර බැහැර කළ හැකි ය.

සිතක් පුහුණු කොට නැති, භාවනාවට ආධුනික අයට මෙය ඉතා වැදගත් ය. සාමාන්‍යයෙන් කුසල් අරමුණක සිත රඳවා තබා ගැනීම දුෂ්කර ය. එයට කලබල විය යුතු නැත. මෙහිදී සිත අකුසලයට ගිය බව දැන ගැනීම ද ඉතා වැදගත් වේ. එයට ද යම් සිහියක් තිබිය යුතුය. දැනගත් මොහොතේ ම පෙර කුසල් අරමුණ නැවත සිහිකිරීමට උත්සාහ කළ යුතු ය. එය අපහසු නම් ඉතා හොඳින් සිත සතුටු වන වෙනත් කුසල් අරමුණක සිත පැවැත්වීමෙන් අකුසල සිතිවිලි දුරු කිරීමට වීර්යය කළ යුතු ය.

මේ අයුරින් කුසල විතර්කයකින් සිත තුළ හටගත් අකුසල විතර්කය දුරු කිරීමට නො හැකි වූයේ නම්, එම අකුසල විතර්කයෙහි ආදීනව සිහිපත් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

මා තුළ ඇති වී තිබෙන මේ විතර්කය මේ මේ අයුරින් අකුසල විතර්කයක් බවත්, එය වැරැදි සහගත බවත් සිහි කළ යුතු ය. එමෙන් ම එම අකුසල විතර්කය සිත තුළ වැඩීමෙන් දුක් සහගත විපාක ඇති වන බව සිහි කළ යුතු ය. මෙසේ විවිධ අයුරින් සිත තුළ හටගත් අකුසල විතර්කයෙහි ආදීනව නැවත නැවත විමසා බැලීමේ දී එම අකුසල විතර්කය සිතෙන් දුරුවී යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මෙම කරුණ ද උපමාවක් ඇසුරින් පෙන්වා දුන්නේ මෙසේ ය.

ලස්සනට, පිරිසුදුවට සිටීමට කැමැති තරුණයකු හෝ තරුණියකගේ ඇඟේ දුගඳ හමන මී කුණක් හෝ සර්ප කුණක් එල්ලුවොත්, එයින් ඔහු හෝ ඇය හෝ පිළිකුලටත්, පීඩාවටත් පත් වන්නේ යම් සේ ද එසේම අකුසල විතර්කයෙහි ආදීනව නැවත නැවත විමසීමෙන් එම අකුසලය කෙරෙහි පිළිකුලක්, එපාවීමක් ඇතිවේ. බොහෝ විට සිදුවන්නේ අකුසල විතර්කයෙන් පවා සතුටු වීමයි. එයට හේතුව එහි ඇති දුක් විපාක පිළිබඳ විමසා නො බැලීමයි. මෙහිදී කුසල් අකුසල්වල විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් කරුණු දැන සිටීමත්, ඒවා පිළිබඳ විශ්වාසය (ශ්‍රද්ධාව) ඇති කර ගැනීමත් ඉතා වැදගත් වේ.

අකුසල විතර්කයක් දුරු කිරීමේ තුන්වැනි උපක්‍රමය ලෙස දේශනා කොට වදාළේ එම අකුසල විතර්කය මෙනෙහි නොකර සිටීමයි. (අසති අමනසිකාරා) පෙර සඳහන් කළ උපක්‍රම දෙකෙන් ම අකුසල විතර්කය දුරු කිරීමට නොහැකි වූයේ නම්, එම අකුසල විතර්කය සිහි නොකර සිටීමෙන් ද එය දුරු කළ හැකි ය. ඕනෑම කුසල හෝ අකුසල විතර්කයක් සිත තුළ පවතින්නේ නැවත නැවත සිහිකිරීම නිසා ය. කිසිදු කුසල හෝ අකුසල විතර්කයක් සිතට ඇතුළු කර නොගෙන සිත නිදහස් ව, හිස්ව තබා ගැනීමට පුහුණුූ කළ හැකි ය. නිතර යමක් සිහිකිරීමට පුරුදු වී ඇති නිසා මෙය තරමක දුෂ්කර කාර්යයකි. නමුත් මේ ක්‍රමය නැවත නැවත පුහුණු කිරීමෙන් සිතට විශාල විවේකයක්, සහනයක් ලබා ගත හැකි ය.

එසේ ම විපස්සනා භාවනාවේ දී ඉතා වැදගත් වන සතිය දියුණුූ කිරීම ද මේ නිසා ඉතා පහසුවෙන් කළ හැකි වේ. එයට ම ගැළපෙන උපමාවකින් මෙය පැහැදිලි කර ඇත. එනම් ඇසට පෙනෙන රූපයක් දැකීමට අකැමැති නම්, ඇස වසා ගැනීම හෝ ඉවත බැලීම කළ හැකි ය. ඒ අයුරින් ම අකුසල විතර්කය ද මෙනෙහි නොකර සිටීමෙන් ටිකෙන් ටික එය සිතෙන් ඉවත් වී යයි.

මේ අයුරින් විතර්කය මෙනෙහි නොකර සිටීමෙන් ද එය දුරු කිරීමට අපහසු නම්, අකුසල විතර්කයට හේතු වූ මූලික කාරණය සොයා බැලිය හැකි ය. එය ද අකුසල විතර්කය දුරු කර ගැනීමේ තවත් උපක්‍රමයකි. රාගී විතර්කයක් ඇතිවීමට හේතුව වන්නේ, නිමිත්ත ශුභ වශයෙන් ගැනීමත්, එය වැරැදි ලෙස මෙනෙහි කිරීමත් ය. ද්වේශ සහගත විතර්කයක් ඇති වීමට හේතුව වන්නේ, නිමිත්ත පටිඝ (ගැටීමක්) වශයෙන් සැලකීම හා වැරැදි ලෙස මෙනෙහි කිරීමත් ය.

මුළාවට පත්වූ විතර්කවලට මූලික හේතුව වන්නේ ඇත්ත නොදැන වැරැදි ලෙස මෙනෙහි කිරීම ය. මේ අයුරින් යම් අකුසල විතර්කයක් ඇති වූ විට එය ඇතිවීමට හේතුව පිළිබඳ විමසා බැලීමෙන් ද එම අකුසල විතර්කය දුරු කළ හැකි ය.

මේ සඳහා පෙන්වා දී ඇති උපමාව නම් වේගයෙන් ගමන් කරන පුද්ගලයකු කුමක් නිසා මම වේගයෙන් යන්නේ දැයි සිතා සෙමින් ගමන් කරයි. සෙමින් ගමන් කරන විට කුමක් නිසා සෙමින් යන්නේ දැයි සිතා වාඩිවෙයි. නැවත වාඩි වී සිටින්නේ කුමක් නිසා දැයි සිතා නිදා ගනී. මෙම උපමාවෙන් පෙන්වා දෙන්නේ අනුපිළිවෙළින් ගොරෝසු අවස්ථාවක සිට සියුම් අවස්ථාවක් දක්වා සිත මෙහෙයවීමයි. එසේම ගොරෝසු වූ අකුසල විතර්කය අනුපිළිවෙළින් මෙනෙහි කරමින්, එය හටගන්නට ම හේතුවු සියුම් මූලික අවස්ථාව දක්වා මෙනෙහි කිරීමෙන් එය දුරු කර දැමිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ අවසානයට පෙන්වා දෙන්නේ දැඩි වීර්යයෙන් අකුසල විතර්ක දුරු කිරීමයි. ඉහත සතර ආකාරයෙන් ද අකුසල විතර්කය දුරු කිරීමට අපහසු තරම් දැඩි නම්, මුඛයේ හනු තද කර (දන්තේහි දන්තමාධාය) දිව ද උඩු තල්ලට තද කරගෙන දැඩි විර්යෙන් අකුසලය මෙනෙහි නො කර සිටිය යුතු ය.

හැඩි දැඩි පුද්ගලයෙක් ඉතා දුර්වල පුද්ගලයකු අල්ලා ගෙන ඔහු පීඩාවට පත් කරන අයුරින් දැඩි වීරියෙන් අකුසල විතර්කයට සිත යොමු නොකර සිටීමට මහන්සි ගත යුතු ය. සම්බුද්ධත්වයට පෙර බෝධිසත්වයන් වහන්සේ, බෝධි මූලයේ දී වීර්යය කළ ආකාරය මෙහිදි සිහිපත් කළ හැකි ය.

“මගේ ශරීරයේ මස් ලේ වියළී යේවා, සම ඇට පමණක් ඉතිරි වේවා. වශයෙන් බෝධිසත්වයන් වහන්සේ දැඩි වීරියෙන් යුතුව ම සිත දියුණුූ කොට සම්බුද්ධත්වයට පත්වී වදාළහ.

“තේමිය” ජාතකය ආදි බොහෝ ජාතක කතාවල ද බෝසත් කාලයෙහි දී දැඩි වීරියෙන් කටයුතු කළ ආකාරය විස්තර වේ. අකුසල විතර්කය දුරු කිරීමට එවැනි අවස්ථා ද සිහි කොට වීරිය කළ හැකි ය.

සසර පුරුද්දට අකුසලයට ම බරවූ සිතක් ඇති නිසා, නිරතුරුව ම සිත තුළ අකුසල විතර්කයන් පැන නඟී. දහම නොදන්නා, දහමෙහි හැසිරීමක් නැති අයකුට එහි කිසිදු ගැටලුවක් නැත. ඔහුට එය අන් අයට මෙන් ම සාමාන්‍ය දෙයකි. නමුත් සිතක් පිරිසුදු කිරීමට උත්සාහ දරන දහමේ හැසිරෙන අයකුට අකුසල විතර්ක මහා දුකකි. කරදරයකි. එනිසාම අකුසලයෙන් සිත මුදාගෙන කුසලය තුළ සිත රඳවා ගැනීමට ඔහු උත්සාහ කරයි.

මාර්ගඵල ප්‍රඥාවත්, පුහුණුූ කළ සමාධියත් නැති නම් නිරන්තරයෙන් මේ අකුසල විතර්ක දුරු කිරීම කරන්නට සිදුවේ. ඒ සඳහා උපක්‍රමශීලි ව කටයුතු කළ හැකි ආකාරය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළා.

මේ කරුණු හොඳින් හදාරා දක්ෂ ලෙස ඒ ඒ මොහොතේ ප්‍රයෝජනට ගැනීමෙන් අකුසලයෙන් සිත වළකා ගැනීමට හැකි වේ. අකුසලයෙන් වළකා ගත් සිත, ඉතා පහසුවෙන් සමාධියට හුරු කළ හැකි ය. එබැවින් භාවනා කිරීම අපහසු යැයි කියන බොහෝ දෙනාට මේ අයුරින් අකුසලයෙන් සිත මුදා ගැනීමට උත්සාහ කිරීම භාවනාව සාර්ථක කර ගැනීමට මූලික පුහුණුවක් වේ. සන්සිඳුන කුසල් සිත් ඇති කර ගැනීමට සැමට වාසනාව උදාවේවා.

(මජ්ක්‍ධිම නිකාය 1 - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරිනි) 

දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]