සම්බුදුරජාණන් වහන්සේ
සමවත් සුවයෙන් වැඩ සිටි
දීඝවාපි පුදබිම
දීඝවාපි ස්තූපය පිහිට පුද බිම ඓතිහාසික වශයෙන් ආශ්චර්යවත් සිදුවීම් කිහිපයක් ම සිදු
වූ, අනුසස් ඇති පුණ්‍ය භූමියක් ලෙසින් ද සැලකේ. ලංකා ද්වීපයේ අවසාන මහ රහතන් වහන්සේ
ලෙස සැලකෙන මලියදේව තෙරණුවෝ දිගාවැව දී ධජග්ග සූත්‍රය දේශනා කළ බව එක් මතයකි
දීඝවාපි පුදබිම නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයේ සිට සැතපුම්
දහතුනක් පමණ දුරින් දීඝවාපි ග්‍රාමයේ පිහිටා තිබේ. නැඟෙනහිර පළාතේ විශාලතම ස්තූපය
මෙන් ම විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි ස්ථානය ගන්නා ස්තූපය ලෙස ද සැලකේ.
දීඝවාපිය පුදබිම ක්‍රි.පූ. 3 වැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන
පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ. ඒ වගේ ම දීඝවාපිය සම්බන්ධ
ඉතිහාස ගත තොරතුරු 5 වැනි සියවසේ ලියන ලද පුරාණ වංශ කතාවක් වූ මහාවංශයේ ද, ඊට
ප්‍රථම ලියන ලද ථූපවංශයේ ද පරම්පරා ගත කතා සහ අනෙකුත් ඓතිහාසික විස්තරයන් හි ද දැක
ගත හැකි වේ.
මහාවංශයට අනුව දීඝවාපිය වෙත තථාගත බුදුරජාණන් වහන්සේ වැඩි බවත්, උන්වහන්සේ
භාවනානුයෝගී ව වැඩ සිටි ස්ථානයේ පසුකාලීන ව ස්තූපයක් ඉදි වූ බවත් සඳහන් වේ.
බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා මණිඅක්ඛිත නා රජුගේ
ආරාධනයෙන් පන්සියයක් රහතන් වහන්සේ සමගින් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කොට
වදාළහ. ඉන් පසු සමන්තකූටවාසී සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමන්තකූටයට වැඩම කර ශ්‍රී
පාද පද්ම ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් පසු
දීඝවාපියට වැඩම කළ බව ද වංස කතාවන්හි දැක්වේ.
බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩමවා දීඝවාපි ස්තූපය පිහිටි ස්ථානයේ රහතන් වහන්සේ
සමඟින් සමවත් සුවයෙන් වැඩ සිටි බව ද සඳහන් වේ. මෙලෙසින් උතුම් පුණ්‍ය භූමියක් බවට
පත් දීඝවාපිය ආරක්ෂා කරන ලෙස මහාසේන නම් දෙවියන්ට භාර කළ බව ද වංස කතාවන්හි සඳහන්
වේ.
බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ සිටීමෙන් පාරිභෝගිකත්වයට පත් මෙම පූජනීය ස්ථානය
හඳුනාගත් දුටුගැමුණු මහ රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා එම පුණ්‍ය භූමියේ
ස්තූපයක් ඉදිකළේ යැයි ද සඳහන් වේ.
1916 දී පමණ කොහුකුඹුරේ රේවත හිමියන් මෙම ස්තූපය සෙවීමට පටන් ගත් අතර, කරත්තවල
ගඩොල් රැගෙන යන මිනිසුන් උන්වහන්සේට හමුවී ඇත. මේ පිළිබඳ එම මිනිසුන්ගෙන් විමසූ විට
ඝන කැලෑව තුළ ඇති විශාල ගඩොල් කන්දකින් ඒවා රැගෙන එන බව දැන ගන්නට ලැබී ඇත.
ඒ අනුව මෙම ස්වාමීන් වහන්සේ එම ස්ථානය සොයා ගිය විට නටබුන් වී තිබූ දීඝවාපී ස්තූපය
දැක ගන්නට ලැබී ඇත. රේවත හිමියන් දීඝවාපී විහාරයට අයත් අක්කර 250ක පමණ භූමි
ප්‍රමාණයක් නැවත පවරා ගෙන කොළඹ සිට පැමිණි තවත් බෞද්ධයන් කිහිප දෙනකුගේ සහයෝගයෙන්
මෙම පුරාණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය ආරම්භ කරන ලද්දේ යැයි සඳහන් වේ.
සද්ධාතිස්ස රජතුමා මෙම ස්තූපය පමණක් නොව, විහාරය ද ඉදිකර වූ බව සඳහන් වේ. ස්තූපයට
සත් රුවනින් කඤ්චුකයත් හා රියසක (කරත්ත රෝදයක හැඩයට) පමණට මලින් ජාලාවක් කරවා පුද
පූජා පැවැත් වූ බවත් මහාවංසයේ සඳහන් වේ. එලෙසම ස්තූප ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ හා
වටිනා නිධන් වස්තූන් ද තැන්පත් කරන්නට ඇතැයි ද සඳහන් වේ.
දඹදෙණි යුගයේ පමණ සිට මෙම දීඝවාපි ස්තූපය “නඛා ස්තූපය” හෙවත් “නිය ස්තූපය” ලෙස
ප්‍රසිද්ධ වී තිබුණු බව ද සඳහන් ය. ඉතා මෑත කාලයේ ද සමහර කෙනෙක් දීඝවාපිය
හැඳින්වූයේ “නඛා වෙහෙර” නමිනි. මේ ආකාරයෙන් හැඳින්වීමට හේතුව වී ඇත්තේ දීඝවාපී
ස්තූපයෙහි බුදුරජාණන් වහන්සේගේ “නිය ධාතුන්” වහන්සේ තැන්පත් ව ඇතැයි පුරාවෘත්ත
සාක්ෂි දරන නිසයි.
එලෙසම මෙම දීඝවාපි ස්තූපය පිහිටි පුද බිම ඓතිහාසික වශයෙන් ආශ්චර්යවත් සිදුවීම්
කිහිපයක් ම සිදු වූ, අනුසස් ඇති පුණ්‍ය භූමියක් ලෙසින් ද සැලකේ. ලංකා ද්වීපයේ අවසාන
මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව තෙරණුවෝ දිගාවැව දී ධජග්ග සූත්‍රය දේශනා කළ බව
එක් මතයකි. එම සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි භික්ෂූන් වහන්සේ හැට නමක් රහත්
භාවයට පත් වූ බව ද සඳහන් වේ.
එලෙසම දීඝවාපී විහාරයේ වැඩිසිටි ජාතකභාණක තෙරණුවෝ වෙස්සන්තර ජාතකය දේශනා කරන බව ඇසූ
තිස්ස මහා විහාරයේ විසූ තරුණ ස්වාමීන් වහන්සේ නමක් එක් දිනක දී සැතපුම් එකසිය දහ
හතරක් පමණ මඟ ගෙවා පැමිණි බව ද, දෙසූ ධර්මය ශ්‍රවණය කර සෝවාන් වූ බව ද සඳහන් වේ.
දීඝවාපී පුදබිමේ පුරාවිද්‍යා කැණීම්වල දී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ.
ඒ අනුව ස්තූපය වටා ප්‍රාකාර බැමි දෙකක් තිබුණු බවත්, ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ
බවත් තහවුරු වී තිබේ. මෙම කැණීම්වල දී පැරැණි බෝධිඝරයක, ආවාස ගෘහයක සහ ආරෝග්‍ය
ශාලාවක ශේෂයන් ද තහවුරු කර ගෙන ඇත. මෙහි අක්කර පන්සියයකට අයත් ප්‍රදේශවල ආරාමික
ශේෂයක් මතු වී ඇත. අක්කර දොළොස් දහසක් පමණ වූ දීඝවාපී පුදබිමට අයත් ව තිබූ පුළුල්
වපසරියක් තුළ තවත් බොහෝ නටබුන් රැසක් සොයා ගෙන තිබේ.
මෙම සියලු පුරාවිද්‍යා සාධකයන්ගෙන් පෙනී යන්නේ පැරැණි දීඝවාපී පුදබිම ඉතා පුළුල් වූ
බෞද්ධාගමික මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බවයි.
සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව දීඝවාපී ස්තූපය උසින් අඩි 256ක් වන ලෙසට
සැලසුම් කර තිබේ. ඒ වගේ ම මෙහි පහළ ම පේසාවේ විෂ්කම්භය අඩි 239ක් ද, දෙවන පේසාවේ
විෂ්කම්භය අඩි 229ක් ද ඉහළින් ම වන තෙවැනි පේසාවේ විෂ්කම්භය අඩි 220ක් පමණ ද වේ. එම
තෙවැනි සහ ඉහළ පේසාව මත ගොඩනැඟෙන ස්තූප ගර්භයේ පාදමේ විෂ්කම්භය අඩි 212කි. හතරැස්
කොටුව සහ දේවතා කොටුව අඩි 24 බැගින් වන සමාන උසකින් ගොඩනැඟීමට නියමිත ය. පේසා වළලු
ත්‍රිත්වය අඩි 12ක් පමණ උසකින් ද ගර්භය කොටස අඩි 91ක් පමණ ද කොත්කැරැල්ල අඩි 60ක්
පමණ ද උසකින් සමන්විත වනු ඇතැයි සඳහන් වේ.
මෙම පුද බිම පිහිටි ප්‍රදේශය පුරාණයේ ශාක්‍ය ආර්ය ජනපදයක් ලෙස ද සැලකී ඇත. “දීඝායු”
නම් කුමාරයකු මෙම ප්‍රදේශයේ ජනාවාස ව විසූ බව ද එම නිසා “දීඝ ජනපදය” ලෙස ද සලකන
ලදී.
එලෙසම ධාතු වංසයේ දීඝ ජනපදය නම් කර ඇත්තේ දීඝවැව නමින් බව ද සඳහන් වේ. එනම් දිග
වැවක් පිහිටා තිබූ බවකි. වැව බැම්මේ දීර්ඝ වූ ලක්ෂණයට අනුව අතීතයේ දී දීඝවාපී නම
භාවිත වූ බව ද සිතිය හැකි ය. එසේ නොමැති නම්, දීඝායු ප්‍රදේශයේ වූ දිග වැව දීඝවාපී
වූවා විය හැකි ය.
දීපා පෙරේරා |