සසුන් පිළිවෙතත් ගිහි විනයත් බලවත් කරන කලණ මිතුරු
ගාල්ල,
තල්පෙ මාකදුගොඩ සිරි ඤාණරතන පිරිවෙන් පරිවෙණාධිපති
රාජකීය පණ්ඩිත
බුත්තල ඤාණාධාර හිමි
මේ මිහිපිට සජීවී හෝ අජීවී හෝ යම් පමණ දේ තිබේ නම් ඒ හැමෙකක් ම නානා විධ සංස්කාරයන්
සමඟ ආශ්‍රය ලබන බව පැහැදිලි කරුණෙකි.
ආශ්‍රය නොලබන්නා වූ කිසිවක් නැත. එසේ ම ආශ්‍රයෙන් හැම දෙයක් ම වෙනස් ගතිවලට පෙරැළීම
ස්වභාවික ය. සත්ත්වයන් තුළ තිබෙන ස්වභාවික ගති පැවතුම් නන් අයුරින් වෙනස් වීමට
ඔවුනොවුන්ගේ ආශ්‍රය ඉවහල් වේ.
මෙහිලා අප කළ යුතුව තිබෙන්නේ ආශ්‍රය මිනිසාට බලපාන්නේ කෙසේද? එයින් මිනිසාට ලැබෙන
ප්‍රතිඵල කෙබඳු ද යනු පරීක්ෂා කොට බැලීම ය. සිත් පිත් නැති වස්තු ද රළු ගොරෝසු
වස්තු සමඟ එක්වීමෙන් රළු ගතිත්, සෞම්‍ය වස්තු සමඟ එක්වීමෙන් සෞම්‍ය ගතිත් පහළ වන බව
පෙනේ.
මිනිසාට ලැබෙන ආශ්‍රයේ හැටියට මිනිසා සුමඟට හෝ නොමඟට වැටීම ස්වභාවික හෙයින්, ඒ
පිළිබඳ කරුණු ටිකක් සාකච්ඡා කර බැලීම මෙහි ලා වඩාත් සුදුසු බව පෙනේ. සැනසිල්ලේ
ජීවත්වනු කැමැති සියල්ලන් විසින් ම ඇසුරට සුදුසු වූ කලණ මිතුරෙක් සොයා ගත යුතු ය.
එහෙත් එය පහසු නැත. හැම කාලයෙහි ම මිනිස් සමාජය ගතිගුණවලින් ආකූල වූවක් ය. මිනිස්
සමාජයේ හොඳ ගති පැවතුම් තිබෙන අය විරල ය. මිනිස්සු වැඩිහරියක් ම එකක් කියා තවෙකක්
කරන, එකක් පෙන්නා තව විදියකින් හැසිරෙන ස්වභාවය ඇති කොටසකි. ඒ අතින් මිනිසුන්ට වඩා
තිරිසනුන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය. තිරිසන්නු උත්ථානක සත්ත්වයෝ ය. අදහස් සඟවා
නොගෙන ඒ අදහස් එළිපිට ම ක්‍රියාත්මක කරන්නෝ ය. මිනිස්සු එසේ නොව, ගහණ සත්වයෝ ය.
සඟවාත් අදහස් ඇත්තෝ ය. එබැවින් මිනිසුන් කෙබඳු දැ’යි තේරුම් ගැනීම අපහසු බව
පෙන්නුම් කොට වදාළ සේක. සමහරු ඉතා හොඳ ශාන්ත දාන්ත ආකාරයෙන් පෙනී සිටියත් පෙන්නුම්
කරන තරම් දාන්ත ගති ගුණ නැති, නොහික්මුණු ගතිවලින් ගහණව වෙසෙන බව රනින් වැසූ
(පිලිප්පු දැමූ) කාසියක් බඳු මෙරමා රවටන්නෝ යැයි දේශනා කළ සේක.
ලෝකයෙහි වැඩිපුර ම වෙසෙන්නේ පවිටු ගතිවලින් යුතු අය බව පෙනෙතත් කොතරම් දිගු කලක්
ගතකොට හෝ සොයා ගත යුත්තේ කල්‍යාණ මිත්‍රයෙක් ම ය. නුවණැති අය සිය ප්‍රයෝජනය පිණිස
යම්කිසි භාජනයක් මිල දී ගන්නවා නම් ඒ බඳුන සිදුරු සහිත ද, ඉරිතලා තිබේ ද කියා කීප
අයුරකින් බලා සිදුරු නැති, ඉරි තලා නැති, භාජනයක් ගැනීම සිරිත ය. එමෙන් ම සිය ඇසුරට
යම් කිසිවෙක් ළං කර ගත යුත්තේ ද, දිගු කලක් ඔහුගේ ගති ගුණ හා අදහස් කෙබඳු දැයි
නුවණින් විමසා බුද්ධිමත් ව මොහු ඇසුරු කිරීම සිය දියුණුව මිස, පිරිහීමට හේතු වන්නේ
නැතැ’යි හොඳින් වැටහුණාට පසුව ය.
යම් ගමෙක තමන්ට ඇසුරට සුදුසු හොඳ මිතුරකු සොයාගත නොහැකි නම් ඒ ගම’යස්ස ගාමෙ සඛා
නත්ථි යථාරඤ්ඤං තථෙවතං’ කැලෑවක් මෙනැ’යි උගන්වා ඇත. බොහෝ දිගු කාලයක් තිස්සේ මහන්සි
ගෙන හෝ සොයාගත යුත්තේ යහපත් මිතුරෙක්ම ය. හොඳ මිතුරන් සොයා ගැනීම අමාරු යැයි සිතා
නිකමටවත් නරක පවිටයකු ළං කර ගත්තොත් තමන්ට ඇති වන්නේ පිරිහීම මිස දියුණූුව නොවේ.
බුදුරජාණන් වහන්සේ
‘අදස්සනෙන බාලානං නිච්චමෙව සුඛී සියා’
නරක නපුරු අය දකින්නට පවා නොලැබුණොත් එය මහත් සැපතට හා සැනසිල්ලට හේතු වන බව වදාළ
සේක. එහෙත් ආශ්‍රයට සුදුස්සකු හැම කෙනෙකුන්ට ම අවශ්‍ය ය. කල්‍යාණ මිත්‍රයකු නැතිව
හුදෙකලා වාසය දියුණුවට බාධාවකි. බුදුරජාණන් වහන්සේට පවා තමන් වහන්සේ විසින් ගරු
සම්මාන දක්වමින් ඇසුරු කරන්නකු ලැබුණොත් මැනැවැයි සිතී, එබඳු කෙනෙක් ඇත්දැ’යි
සෝදිසි කළ විට උන්වහන්සේගේ ගරු බුහුමනට පාත්‍ර වීමට සුදුස්සකු මුළු සදේවක ලෝකය තුළ
ම නොමැති බව පෙනී, තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය ගරු තන්හි පිහිටුවා ගෙන
විසිය යුතු යැයි අදහස් කළ සේක.
හැම ගුණයෙන් හා නුවණින් පිරිපුන් බුදුරජාණන් වහන්සේටත් තමන් වහන්සේට වැඩි ගුණ නැණ
සපිරි කෙනෙකුගේ ආශ්‍රය ලැබෙනවා නම් මැනැවැයි වැටැහුණා නම් සෙසු අය ගැන කවර කතා ද?
දිනක් ආනන්ද තෙරුන් වහන්සේ විවේකී ව කල්පනා කරමින් සිටින විට පහළ වූ අදහසක් නම්, මේ
සම්බුදු සසුනෙහි තිබෙන සම්පත්වලින් අඩක් ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා ලැබෙන්නේ
ය. කියා යි. ඉන් පසු එම අදහස හරිදැයි දැන ගන්නට භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ
අදහස නිවැරැදි දැයි ඇසූ විට, භාග්‍යවතුන් වහන්සේ,
“මාහෙවං ආනන්ද මා හෙවං ආනන්ද සකල මෙවහිදං ආනන්ද බ්‍රහ්මචාරියං යදිදං
කල්‍යාණමිත්තතා”
ආනන්ද එසේ කියන්න එපා. ආනන්ද, මේ මුළු සසුන් බඹසර පිළිබඳ යම්කිසි දියුණුවක් තිබේ
නම් ඒ හැම කල්‍යාණ මිත්‍ර සම්පත නිසා ම සැලැසෙන්නේ යැයි වදාළ සේක. ඒ කරුණ තවදුරටත්
පැහැදිලි කොට වදාළ බුදුරජාණන් වහන්සේ
“ආනන්ද, ජාති ජරා මරණාදී දුක්වලින් ගහණ සත්වයෝ කල්‍යාණ මිත්‍ර වූ මා කරා එළඹ ඒ
දුක්වලින් මිදෙන්නාහයි දේශනා කොට වදාළ සේක. මේ ආදී කරුණු ගැන සිතත්ම, සසුන්
පිළිවෙතත් ගිහි විනයත් යන දෙක ම බලවත්වීමට කල්‍යාණ මිත්‍රාශ්‍රය තරම් උපකාරවන අන්
කිසිවක් නොමැති බව තේරුම් ගැනීමට කිසිවකුට අමාරු නැත.
අග්ගමහාපණ්ඩිත, විනයවිශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස රාජකීය පණ්ඩිත
ආචාර්ය පරමපූජනීය වැලිගම සිරි ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ‘ගිහි
විනය’ කෘතිය ආශ්‍රයෙනි. |