සාරාණීය වත පිරූ ලෙනගිරිවාසී
තිස්ස මහතෙරුන් වහන්සේ
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ශාසන දායාදය ලබන භික්ෂූන් වහන්සේ සම්පූර්ණ කරන වතක් තමයි සාරාණීය වත කියලා කියන්නේ.
පිණ්ඩපාතයේ ගිහින් පාත්‍රයට ලැබෙන ආහාර පළමු කොටම ගිලනුන්ටත්, දෙවනුව ගිලනුන්ට
උපස්ථාන කරන අයටත්, තුන්වනුව අලුත පැවිදි වුණු හරිහැටි සිවුරු පෙරවිය නොහැකි
භික්ෂූන්ටත් දිය යුතු වෙනවා.
අනතුරුව විහාරයේ මහතෙරුන් වහන්සේ ඇතුළු අනෙක් මහා සංඝයාටත් පිරිනැමිය යුතු වෙනවා.
මේ හැම දෙනාට ම තමන් වහන්සේ ලැබූ ආහාර පිළිගන්වා අවසානයට ඉතිරිවුණ දෙයක් වැළඳිය
යුතු වෙනවා. තමන්ට ආහාර ඉතිරි නොවුණා නම් නැවතත් පිණ්ඩපාතයේ වැඩම කරලා ආහාර සොයාගෙන
පැමිණිය යුතු වෙනවා. මේ විදිහට අඛණ්ඩ ව දොළොස් අවුරුද්දක් සම්පූර්ණ කළහොත් එම
භික්ෂුව සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවක් හැටියට සැලකෙනවා.
යම් හේතුවකින් පිණ්ඩපාතයේ වැඩම කරලා සොයා ගත් දාන පාත්‍රය දානශාලාවේ හෝ ආවාස ගේ හෝ
තියලා පැන් පහසුවීමට ගිහින් ආයෙත් ඇවිත් බලන කොට පාත්‍රයේ ආහාර තමන් වහන්සේට නො
කියා විහාරයේ අනෙක් තෙරුන් වහන්සේ වළඳා තිබෙනු දැකලා ‘මට ඉතිරි කරන්නේ නැතිව ඔක්කොම
වළඳලා’යි මුවින් නොකියා සිතින් සිතූ පමණින් ම සාරාණීය වත බිඳී යනවා. එහෙම වුණොත් ඒ
මොහොතේ ඉඳන් ආයෙත් ඒ ව්‍රතය පිරිය යුතු වෙනවා. ඉතාම අපහසු කාර්යයක් තමයි මේ සාරාණීය
වත කියලා කියන්නේ.
යම් අධිෂ්ඨානයකින් යුක්තව කිසියම් භික්ෂුවක් මේ ව්‍රතය සම්පූර්ණ කළහොත් ඔහුගේ
ඊර්ෂ්‍යාවත්, මසුරුකමත් නැතිවී යනවා. ඒවගේ ම මිනිසුන්ට ප්‍රිය වෙනවා. ඒ විතරක්
නෙවෙයි, පිරිකර පූජා කිරීමේ දී ඉතා අගනාම, වටිනාම පිරිකර ලැබෙනවා. පාත්‍රයෙන් කොපමණ
පිණ්ඩපාතය බෙදා දුන්නත් කිසිම අඩුවක් වෙන්නේ නෑ. සාරාණීය වතේ එතරම් බලයක් ද
පවතිනවා.
සංඝ ශාසනයේ හෙළදිව පහළ වුණු ලෙණගලවාසී තිස්ස තෙරුන් වහන්සේ මේ ව්‍රතය සම්පූර්ණ කළ
මහ තෙරනමක් බව දීගනිකායට්ඨකතාවේත්, මජ්ක්‍ධිම නිකායට්ඨකථාවේ කෝසම්බක
සුත්තවණ්ණනාවේත් සඳහන් වෙනවා. අටුවා කථා පුවත් අනුව පෙනෙන්නේ මේ තෙරුන් වහන්සේට
යම්කිසි පිරිකරක් හිතාමතාම ලැබීමට නො සැලැස්සුවත් එය ලැබුණු බවක්.
දවසක් තිස්ස තෙරුන් වහන්සේ වැඩම කළා මහකිරිගම කියන ගමට. එතැන විහාරයක වැඩ සිටියා. ඒ
විහාරය අසලින් මාර්ගයක් වැටිල තිබුණා නාගදීප විහාරයට යන්න. දුර පළාතක ඉදලා භික්ෂූන්
වහන්සේ පනස්නමක් මේ ගම හරහා යන වේලාවේ දහවල් දාන වේලාව යෙදී තිබුණා. තෙරුන් වහන්සේ
පනස්නම ම තීරණය කළා. මහකිරිගමට වැඩම කරලා පිණ්ඩපාතය කරන්න. කථිකා කර ගත්තා වගේම ගමට
වැඩම කළා. පනස් නමට ම කිසිම ආහාරයක් පාත්‍රවලට ලැබුණේ නෑ.
තිස්ස තෙරුන් වහන්සේත් මේ අවස්ථාවේ ම ගමට වැඩම කළා. පනස්දෙනා වහන්සේ මඟ දී හමුවෙලා
ඇහුවා
‘ස්වාමිනි, ඔබ වහන්සේට පිණ්ඩපාතය ලැබුණා ද? කියලා. මහතෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා
‘ස්ථවිරයන් වහන්ස, අප පනස් දෙනා වහන්සේට ම කිසිම ආහාරයක් ලැබුණේ නෑ’ කියලා.
ඒ අවස්ථාවේ තිස්ස තෙරුන් වහන්සේ ‘එහෙම නම් මම පිණ්ඩපාතයේ වැඩම කරලා එන තෙක් මෙතැන ම
වැඩ ඉන්න’ කියලා ගමට වැඩම කළා. තිස්ස තෙරුන් වහන්සේ වඩිනකම් මඟ බලන් හිටිය එක්
උපාසිකාවක් රසට සකසා ගත් කිරිබතක් පාත්‍රයට පූජා කළා. තිස්ස තෙරුන් වහන්සේ ඒවා
අරගෙන ගිහින් පනස් නමට ම බෙදා දුන්නා. තමන් වහන්සේත් ඇති පමණ වැළඳුවා.
අවසානයේ දී මහතෙරුන් වහන්සේ අහනවා
‘ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ ලෝකෝත්තරභාවය ලැබුවේ කවදාද? කියලා. ඒ අවස්ථාවේ කියනවා
‘ස්වාමිනි, මම ලෝකෝත්තර තත්ත්වයට තවම පත්වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි, මම තවම
ධ්‍යානලාභියෙක්වත් නොවෙයි. ඒත් මම සාරාණීය වත සම්පූර්ණ කළා’යි පවසනවා. ‘මේ පුවත
තෙරුන් වහන්සේගෙන් දායකයන්ටත්, දායකයන්ගෙන් මන්ත්‍රීවරුන්ටත්, ඔවුන්ගෙන්
ඇමැතිවරුන්ටත්, අවසානයේ රජතුමාටත් ආරංචි වුණා. ආරංචිය තමයි තිස්ස තෙරුන් වහන්සේට
කිසිම හේතුවකින්වත් පිණ්ඩපාතය හෝ පිරිකර ලැබීම හෝ වළක්වන්න බෑ කියන එක.
දවසක් මිහින්තලේ පැවැත්වුණා ගිරිභණ්ඩ පූජාවක්. මේ පූජාවට රජතුමාත් පැමිණ සිටියා.
රජතුමා තමයි සඟමහලු පිළිවෙළින් වැඩම කරන සංඝයා වහන්සේට පිරිකර පූජා කරන්නේ.
මේ තිස්ස තෙරුන් වහන්සේ එතරම් වයසට ගිය කෙනෙක් නොවෙයි. උන්වහන්සේට වඩා වැඩිහිටි
තෙරුන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් එතැන වැඩ හිටියා. තිස්ස තෙරණුවෝ පිරිකර දිහා බලලා
ඉතාම අගනා වස්ත්‍ර දෙකක් දැකලා
‘මට තමයි ඔය වටිනා ම වස්ත්‍ර දෙක ලැබෙන්නේ’යි කිව්වා. මේක අහගෙන හිටිය එක්
ඇමැතියෙක් වහාම දුවගෙන ගිහින් රජතුමාට කිව්වා.
‘රජතුමනි, අර පෙනෙන්න වැඩ ඉන්න තරුණ තෙරුන් වහන්සේ කියනවා උන්වහන්සේටලු මේ අගනා ම
වස්ත්‍ර දෙක ලැබෙන්නේ කියලා.
ඒ මොහොතේ ම රජතුමා ඒවා පැත්තකින් අයින් කරලා තියනවා ඉතා මහළු තෙරවරුන්ගේ ශරීරයට
සැහැල්ලුවක් ඇති කිරීමට පූජා කරන්න ඕන කියලා. පිළිවෙළින් වැඩම කරන මහ තෙරවරුන්ට
පිරිකර පූජා කරන්න පටන් ගත්තා. එහෙම වුණත් රජතුමාට අමතක වුණා ඒ වටිනා වස්ත්‍ර දෙක
වැඩිහිටි තෙරවරුන්ට පූජා කර ගන්න.
තිස්ස තෙරුන් වහන්සේ ව හොඳින් ම මතක තියාගෙන පිරිකර පූජා කළත් උන්වහන්සේ රජු
ඉදිරියට වැඩම කරන කොට ම රජතුමාටත් නොදැනීම වටිනා වස්ත්‍ර දෙකම උන්වහන්සේට පූජා කළා.
අර ඇමැතිවරයා ඒක දැකලා රජතුමාට කිව්වා.
‘රජතුමනි, ඔබ වහන්සේ මේ පිරිකර දෙක පූජා කළේ පූජා නොකළ යුතු භික්ෂුවට නේද කියලා. ඒ
මොහොතේ ම රජතුමා කියනවා
‘මේ පිරිකර පූජා කර අවසන් වෙනකම් තිස්ස තෙරුන් වහන්සේ ව මොහොතකට නවතා ගන්න’ කියලා.
කටයුතු අවසන් වුණාට පස්සේ තිස්ස තෙරුන් වහන්සේ වෙත ගිහින් නමස්කාර කරලා
‘ස්වාමිනි, ඔබ වහන්සේ ලෝකෝත්තරභාවය අවබෝධ කර ගත්තේ කවදා ද?’කියලා ඇහුවා. තෙරුන්
වහන්සේ කියනවා
‘රජතුමනි, මම ලෝකෝත්තර තත්ත්වයට පත්වෙලා නෑ. ධ්‍යානලාභියෙක්වත් නොවයි. ඒත් මම
සාරාණීය වත සම්පූර්ණ කළා’යි පිළිතුරු දුන්නා.
මේ කථා පුවතින් අපට පෙන්වා දෙන්නේ දන් දෙන අයගේ මසුරුකම නැතිවී යන බවත්, සිතූපැතූ
සම්පත් ලැබෙන බවත්, ඒවා වළක්වන්න රජතුමාටවත් හැකියාවක් නැති බවත් ය.
ඒ නිසා පින්වතුනි, පුළුවන් හැම මොහොතක ම දන් දෙන්න. එය පාරමිතාවක් මෙන් පුරන්න.
බුදුරජාණන් වහන්සේ ආත්ම ගණනාවක් දාන පාරමිතාව පූරණය කළ නිසා පිරිනිවන් පා අවුරුදු
දහස් ගණනක් ගත වුණත් අදටත් උන්වහන්සේ වෙනුවෙන් වෙන්වන රසවත් පිණ්ඩපාතය කඳු වශයෙන්
ගොඩ කළහොත් එහි උස කියා නිම කරන්න බැරි තරම් වෙනවා. |