[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පාදවීථිහාර පුණ්‍යකර්මය සමනළගිර නැඟීමෙන් පමණක් කළ හැකි පින්කමක්

සිරිපා කරුණාවෙන් පමණක් කළ හැකි පාදවීථිහාර පුණ්‍ය කර්මය

සිරිපා පද්මය උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෙසත්, උද්දේසික ධාතුන් වහන්සේ නමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා තිබෙන උතුම් සලකුණක් තමයි ශ්‍රීපාද පද්ම ය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශ කළ පාරිභෝගික කළ සංකේතයක් ලෙසත්, ශ්‍රීපාද කමල නැත්නම් සිරිපා සලකුණ හඳුන්වන්න පුළුවන්.

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපා සලකුණ තුන් ලෝකයට ම උතුම් සලකුණක්. මහ බෝසතාණන් වහන්සේ පස්මහබැලුම් බලා මහාමායා බිසවගේ කුසේ පිළිසිඳ ගෙන ලුම්බිණි සල් වනයේ යම් දවසක බිහිවුණා ද, ඒ බිහිවීම සිදුවූයේ අන් අය වගේ නොවෙයි. බෝසත් කුමරු ඉපදෙන විට මුලින්ම ඉපදුනේ සිරිපා කමල යි. මවගේ කුස ඇතුළේ පද්මාසනයෙන් තමයි මහ බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ සිටි පද්මාසනය ම ඉදිරියට දිග හැර මනුලොව බිහිවුණා. එවිට තුන් ලෝකයට ම මුලින්ම දකින්නට පුළුවන් වන්නේ බෝසතාණන් වහන්සේ ගේ සිරිපා සඟල යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර රන් දෙරණේ තැන්පත් කර සුවඳ තෙල් යොදා සඳුන් දර චිතකයේ ආදාහනය කෘත්‍ය සඳහා තැන්පත් කළ මොහොතේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවසන් වතාවට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා වන්දනා කළා. එහෙම නම් මුලින්ම දුටුවෙත්, අවසානයට දුටුවෙත් උන්වහන්සේගේ සිරිපා පද්මය යි.

එදා ඒ පුංචි සිරිපා පතුළ මිහිමඬලේ තබ තබා සත් පියවරක් ගමන් කරන විට මිහිමඬල දෙබෑ කරගෙන පියුම් මතු වුණා. මහ බෝසතාණන් වහන්සේගේ සිරිපා සඟල පුදුම සහගත යි. මහාපුරිස ලකුණින් යුතු රන්වන් රන් සිරිපා සඟල සම ලෙසයි පිහිටා තිබෙන්නේ. පතුලේ උස් තැන් පහත් තැන් දකින්නට නෑ. ඒ වගේම දිගු විළුඹෙන් යුක්ත යි. ඇඟිලි දිගින් යුක්ත යි. ඒ සිරිපතුලේ මැද දහසක් අර, දහසක් නිම් වළලු , චක්‍ර ලක්ෂණයක් (කරත්ත රෝදයක්) පිහිටා තිබෙනවා. මේ කරුණු දැක තමයි “මේ පින්වන්ත කුමරා ගිහිගෙදර වාසය කළොත් සක්විති රජු වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා” කියා මහා පුරිස ලකුණු ගැන ඤාණය තිබෙන කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කියා සිටියේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සිරිපා මේ ලෙස පිහිටන්නට හේතුව මෙසේ වදාළා. එය සඳහන් වන්නේ ලක්ඛණ සූත්‍රයේ. රන්වන් රන් සිරිපා පොළොවේ සමානව තබනවා. සමානව ඔසවනවා. යටිපතුළ පොළොවේ ගෑවෙන්නේ නැති තැනක් නෑ. ශ්‍රී පාදයේ යටිපතුලම මහ පොළොවේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ දකුණු පා තබා වම් පාදය ඔසවන විට දකුණු පාදයේ වූ පා සලකුණ මැකී යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා සටහන කාටවත් පෑගෙන්නේ නෑ. කෙලෙස් සහිත මිනිසුන්ට කෙසේ වේවා කෙලෙස් නැති සාරිපුත්ත, මොග්ගල්ලාන, කාශ්‍යප ආදී උතුමන්ටවත් භාග්‍යවතුන් වහන්සේ පා තැබූ පා සටහන පෑගෙන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මනාව පිහිටි සිරිපා තුළ කෙ තරම් ආනුභාවයක් තිබෙනවා ද? උස් පොළොවේ උස් තැනි තිබුණොත් සිරිපතුල නංවන්නට පෙර පොළොව පහත් වෙනවා. පහත් තැන් තිබුණොත් සිරිපතුල තබන්නට පෙර පොළොව එසවෙනවා. මඩ, අපද්‍රව්‍ය ඉවත් වෙලා සම වෙනවා. මේ සියල්ල මහාපුරිස ලකුණින් යුතු බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපාවල ආනුභාවය යි. එයට හේතුව වන්නේ සංසාරයේ පිරූ පුණ්‍ය සම්භාර යි.

උන්වහන්සේ වදාළා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට මනාව පිහිටි සිරිපතුලක් ලැබුණේ බොහෝ ඈත සංසාරයේ මිනිස් ලොව වාසය කරද්දී කාය, වචී, මනෝ සුචරිත සමාදන් ව සිටීම, දන්දීම, කුසල් කිරීම, මවුපියන්ට පිදීම, කුලදෙටුවන්ට සැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සැලකීම ආදි කුසල් දහම් නිසා බව. ඒ සිල් පද කිසිවක් කඩා සිඳ බිඳ ගන්නේ නැතිව කුසල් සිතින් වාසය කිරීම නිසා තමන් වහන්සේගේ පතුල් පෙරළෙන්නේ නැති බව. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වැනි වියේ පිරිනිවන් පානා තෙක් සිරිපතුල පෙරළී නැහැ. එසේ වූයේ සංසාරයේ කුසල් දහම් තුළින් පෙරළිලා නැති නිසයි. අප නම් කාලයක් සිල් රකිනවා. කාලයක් සිල් රකින්නේ නැහැ. ඒ කියන්නේ සීලය පෙරළුණා. කාලයක් දන් දෙනවා. කාලයක් දන් දෙන්නේ නැහැ. මවුපියන්ට කාලයක් සලකනවා. ඔවුන්ට බැරි කාලයේ ඉවත් කරනවා. ඒ ගුණය පෙරළුණා. එහෙම නොවේ මහා බෝධිසත්ත්වයෝ. යම් කුසලයක් සමාදන් වුණොත් දිවි හිමියෙන් එය රකිනවා. ඒ ආකාරයට මහා බෝධිසත්ත්වයෝ මේ කුසල් රැකි බව තුන් ලොවට ප්‍රකට කළේ සිරිපතුල සම සේ පිහිටලයි.

බුදුරජාණන් වහන්සේ වදාළා සම ලෙස සිරිපතුල පිහිටීමේ ආනිසංසය කුමක්ද? කියා

සම්මා සම්බුදුරජාණන් වහන්සේව කිසිම කෙනකුට අභ්‍යන්තරව, බාහිරව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැඬලන්න බැහැ. බව. උන්වහන්සේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා බොහෝ පිරිසක් පිරිවරා ගැනීමට සංකේතය තිබෙන්නේ සිරිපතුල තුළයි.

භාග්‍යවතුන් වහන්සේගේ තව ලක්ෂණයක් සිරිපතුලේ ආයතපණ්හී නමින් සඳහන් වෙනවා. ආයතපණ්හී යනු දිගු විළුඹක් සහ දිගු ඇඟිලි තිබීම යි. උන්වහන්සේගේ බුදු සිරුර ඍජු යි. මෙසේ වූයේ ඇයි? බොහෝ කාලයක් සංසාරයේ ප්‍රාණඝාතය නො කිරීමයි. අසංඛ්‍යෙය කල්ප ගණන් කිසිදු ප්‍රාණියකුගේ ජීවිතය තොර කර නැහැ. හැමදෙනාම කෙරෙහි දයානුකම්පාවෙන් කටයුතු කළා. අපේ ඇඟිලි සහ විළුඹ කොටයි කියන්නේ සසරේ දී අපි ප්‍රාණඝාත කරලා. දෙව්දත් ගල් පෙරළලා, නාලාගිරි ඇතා රා බී ඉදිරියට ආවත්, දුනුවායෝ වටකර ආවත්, දසබිම්බරක් සේනා සහිත මාරයාටවත් තථාගතයන් වහන්සේගේ ජීවිතයට හානි කරන්න බැහැ කියන සාක්ෂිය එක්කයි උන්වහන්සේ ඉපදුනේ. ඒ තමයි විළුඹ සහ ඇඟිලිවල දිගු බව. ජීවිත අනතුරු තිබෙන බොහෝ අසනීප තිබෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල ළඟ හිස තබා වන්දනා කළ යුත්තේ ඒ නිසයි. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ සිරිපා කමලේ ආනුභාවය කෙතරම් ද කියා බලන්න.

බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකින් ලක්ෂණ හතරක් ම සිරිපතුලේ පිහිටා තිබෙනවා. ඒ සම ලෙස පොළවේ පිහිටන බව, දහසක් චක්‍ර ලක්ෂණ ඇති බව, දිගු විළුඹ ඇති බව, දිගු ඇඟිලි ඇති බව. ඒ වගේම උන්වහන්සේගේ සියුම් සම පිහිටි යටිපතුලේ දූවිලි රැඳෙන්නේ නැහැ. එයත් මහා පුරිෂ ලක්ෂණයක්. අපගේ ශාස්තෘන් වහන්සේ මිහිමඬල සනහා සනහා පන්සාළිස් වසරක් ලෝක සත්වයාට හිත සුව පිණිසමයි සෑම පියවරක් ම තැබුවේ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තුන්ලෝක සත්වයාට ම හිත සුව පිණිසයි. උතුම් සිරිපා පද්මය එසවුණේ. ඒ සිරිපා කමලට අපගේ නමස්කාරය වේවා" යැයි සිතමිනුයි අපි සිරිපා කමල වන්දනා කළ යුත්තේ.

එදා සිටි අසිත තවුසා කියන්නේ මහා තේජස් උතුමෙක්. එතුමා විවේකය ගත කරන්න යන්නේ දිව්‍ය ලෝකයේ නදුන් උයනට යි. මුළු ජම්බු ද්වීපයේ සිටි රජවරු, මහාමාත්‍යවරු, සිටුවරු, අසිත තවුසාගේ පා ළඟ දණ ගසා වන්දනා කරනවා. එතුමා ඉදිරියට සංවට්ඨවිවට්ඨ කල්ප හතළිහකුත්, ආපස්සට සංවට්ඨවිවට්ඨ කල්ප හතළිහකුත්, දකින ඍෂිවරයෙක්. දින කීපයකට කලින් උපන් සිඟිති බෝසත් කුමරු අසිත තාපසතුමාගේ පා අසල තබා ආශිර්වාද ගන්නට සුද්ධෝදන රජතුමා බෝසත් කුමරුගේ හිස තවුසාගේ දෙසට යොමා පා තමා දෙසට තබා ගෙන කුමරුව පහත් කරන විට ම රජුටත් නො දැනී රජුගේ අත් දෙක කැරකී හිස රජුගේ පැත්තටත්, පා තවුසා ඉදිරියටත් යොමු වුණා. අසිත තවුසාගේ පා ළග මහා බෝධි සත්වයන්ගේ හිස පිහිටන්නේ නැහැ. ඒ උතුම් සිරිපා කමල අසිත තවුසාගේ හිසේ වැදුණා. විදුලියක් වැදුණා මෙන් ශරීරය සෙලවී ගියා. දහසක් අර ඇති, චක්‍ර ලකුණින් ඇති රන්වන් සිරිපා සඟල දුටුවා. මහා පුරිස ලක්ෂණ දුටුවා.

“ස්වාමීනි, මට සමාවනු මැනව“ කියා බෝසත් කුමරුගේ සිරිපා තමන්ගේ හිසේ තබා ගෙන සාධුකාර දුන්නා.

අසිත ඍෂිවරයා බහ තෝරන්නේ නැති, සම්බුදු බවට පත් නොවූ, මහා බෝසතුන්ගේ සිරිපා කමල අභියස වැඳ වැටුණා. ඒ මොහොතේ සුද්ධෝදන රජු ද කඳුළු සලමින් සිදුහත් බෝසතාණන්ගේ සිරිපා කමල ළඟ වැඳ වැටුණා. පිය වැඳුමෙන් වැඳුම් ලැබූ රන්වන් රන් සිරිපා. ඒ උතුම් සිරිපා සලකුණ තමයි සමනළ කන්ද මුදුනේ කළුගල මත තැබුවේ. ඒ කළුගල නිල් මාණික්‍යයක් බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණ පිහිටපු නිසා.

ඒ වගේම ඔබට මතක ඇති උන්වහන්සේට නම තබන වෙලාවේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා පුරුෂ ලක්ෂණ විමස විමසා බලන විට ඒ ලක්ෂණ එකින් එක ප්‍රකට වුණා. ඒකයි බමුණා ඇඟිල්ල ඔසවා

“මේ කුමරු ඒකාන්තයෙන් සම්බුද්ධත්වයට පත්වෙනවා” යැයි අනාවැකි කිව්වේ. සිද්ධාර්ථ යන නාමය ලැබුවේ. අපගේ මහ බෝසතාණන් වහන්සේ ශිල්ප දක්වන මොහොතේ මිනිසුන් දහසක් එකතු වී ඔසවන, එකතු වී අදින දුන්න තනි අතින් ඔසවා සිරිපාවේ විළුඹෙන් පාගා දෙකට කර කඩා දැම්මේ. උන්වහන්සේගේ ඒ උතුම් සිරිපා කමල ඉදිරියට තබා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. එදා ඉදිරියට තැබූ සිරිපා දෙවියන්, බඹුන්, මරුන් කිසිවකුට ආපස්සට හරවන්නට නොහැකි වූවා. ඒ උතුම් සිරිපා ඔසොවන විට දොරටු විවර වුණා. උන්වහන්සේගේ රන් මිරිවැඬිසඟල ගලවා

‘මාගේ මිත්‍රය, මා නුඹව අද අත්හැර යන්නේ විමුක්තිය සොයා ගෙනයි. මම බුද්ධත්වයට පත් වී නුඹවත් මේ සසරින් එතෙර කරනවා” යැයි කියා කන්ථක අසුගේ හිසට තට්ටු කළා. කඳුළු වැටුණු දෙනෙතින් යුතුව කන්ථක අසුගේ දිවෙන් ඒ රන්වන් සිරිපා සඟල දෝවනය කළා. ඒ අසුට ඒ පිනේ විපාකය ලෙස මොනවද ලැබුණේ. එතැනින් චුත වී දෙවියන් අතර ඉපදුණා. දිව්‍ය දෑතක් ලැබුණා. ඔහු දිව්‍ය පිරිස පිරිවරා ගෙන පැමිණ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ වැඳ වැටී දිව්‍ය දෑතින් සිරිපතුල ස්පර්ශ කරමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. උන්වහන්සේ මේ මිහිමඬලේ සියලුම පියවර තැබුවේ නිකෙලෙස් සිතින්.

ඒ නිසයි සත්‍ය සොයා සත්ත්වයන්ගේ දෙපා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ඉදිරියට ම පැමිණුනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී නව වෙනි මාසයේ අප ලක් දෙරණට වැඩම කළා. ලක් දෙරණේ මුලින්ම රන්වන් රන් සිරිපා පිහිටියේ මහියංගණයේ. අද ඒ ස්ථානය සුන්දර සෑයක් ඉදිකොට මිනිසුන් වන්දනාමාන කරනවා. සමන්ගිර වඳින්නට බැරි කාටත් මහියංගණ ස්ථූපය වන්දනා කර ගන්නට පුළුවන්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වෙනි වර්ෂයේ චූලෝදර, මහෝදර නාගයන්ගේ යුද්ධය සංසිඳවීම පිණිස නාගදීපයට වැඩම කළා. එහි වැඩම කරද්දී සිරිපා සලකුණ ස්පර්ශ වූ තැන අද මහා ස්තූපයක් ඉදිවී තිබෙනවා. සම්බුද්ධත්වයට පත්වී තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළ මොහොතේ පා සලකුණ තැබුවේ කැලණියේ. ඒ කැලණි පින්බිමේ සිරිපා තබා මැණික් ආසනයේ වැඩ හිඳ දන් වැළඳූ භූමියේ අද කැලණි සෑය ඉදිවී තිබෙනවා. කැලණි ගඟේ පැන් පහසු වී සිරිපා පිහිටි තැන නාගයන් වන්දනා කරන සිරිපා සලකුණ යි.

සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට කියා සිටියා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ විමානය වන සමන්ගිරේ ගිරිමුදුනේ ඔබ වහන්සේගේ සිරිපා කමල තබන සේක්වායි” කියා. සමනල පර්වත මුදුනේ පන්සීයක් මහ රහතන් වහන්සේ සමඟ ආකාසයෙන් වැඩම කොට සිරිපතුල පිහිටවූවා. එදා රුක්වල මල් පිපුණා. ඵල හට ගත්තා. ඒ මොහොතේ නා නා සුවඳ විහිදුණා. නා නා සතුන්ගේ නාද පැතිරී ගියා. ඇතුන් ගේ කුංචනාදය, කොවුලන්ගේ කෝකිල නාදය පැතිරී ගියා. ඒ සමඟම සිරිපතුල තැබූ භූමිය ඉන්ද්‍රඛීල මාණික්‍යයක් බවට පත්වුණා. ඒ උතුම් රන්වන් රන් සිරිපා ගල මත පිහිටියා.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ සිරිපා තැබූ සෑම තැනක් වේ ද, ඒ සෑම තැනම ස්තූප ගොඩනැඟී තිබෙනවා. ලක්දෙරණේ උන්වහන්සේ සිරිපා තැබූ ස්ථාන කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නෑ. රහතන් වහන්සේ පවා සිරසින් වන්දනා කරන පුණ්‍ය භූමියක් බවට සිරිපා තැබූ ස්ථාන පත් වුණා. බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්මවරු ද, සක්දෙවිඳු ඇතුළු සියලු දෙවිවරු ද, නා ලොව නාගයන් ද, මිනිස් ලොව මිනිසුන් වගේම සියලුම රහතන් වහන්සේ ඒ සිරිපතුල ආදරයෙන් වන්දනා කළා.

මහාප්‍රජාපතී උත්තමාවිය වරක් පවසනවා “මගේ ජීවිතයේ ලොකුම ආශාව ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනාව” කියලා. යම්කිසි කෙනකුට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්නට හැකි නම් ඔවුහු මහා වාසනාවන්තයෝ ය. යශෝධරා දේවිය කල්ප අසංඛෙය්‍ය හතරක් විඳි දුක්, ශෝක, කඳුළු ලෙස මේ ලෝකයට මුදා හැර තමාගේ ජීවිතයෙන් ඒ දුක ඉවත් කර ගත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටීමෙන්. ඒ මහෝත්තමාවියත් තමාගේ ජීවිතයේ දුක නැති කර ගත්තේ ඒ රන්වන් රන් සිරිපා ළඟ වැඳ වැටිල යි. උතුම් සම්මා සම්බුදු සිරිපා කෙලෙස් සහිත සත්වයා වන අපි මෙතරම් ආදරයෙන් වන්දනා කළයුත්තේ මේ නිසයි. සිරිපා කමල කියන්නේ ධාතුන් වහන්සේ නමක්. ලෝකයේ වෙන ජාතියකට, ආගමකට, මේ වාසනාව ලැබෙන්නේ නෑ.

ඇතැම් රහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත ආපස්සට සිහි කරද්දී සිරිපා කමලෙ ගුණ මෙසේ කියා තිබෙනවා.

එක්තරා ජීවිතයක තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනය මැදින් වැඩම කරද්දී ඒ වනයේ මම වැද්දෙක් ලෙස ජීවත් වුණා. එදා මමත් ඒ මාවතේ ගමන් කළා. මට පෙනෙන්නට භාග්‍යවතුන් වහන්සේ සිරිපතුල පාරේ පිහිටෙව්වා. සිරිපා සටහන දුටු මම කල්පනා කළා දිගු විළුඹෙන් යුතු, දිග ඇඟිලි තිබෙන සම ලෙස පිහිටි, දහසක් අර ඇති චක්‍ර ලකුණින් යුතු මේ පා සටහන නම් උත්තමයෙක් ගේ මයි සිතා දුනු ඊතල බිම තබා ඒ සිරිපතුලට දණ ගසා වන්දනා කළා. සිදු කළේ එපමණ යි. ඒ පිනෙන් සුගත ලොව උපන් මම ගෞතම බුදුසසුන බබළන කාලයේ දඹදිව උපන්නා. පැවිදිව රහත් වුණා. උන්වහන්සේ වදාළා මම අරහත්වයට පත්වුණේ එදා සිරිපා සටහන වන්දනා කළ පිනට කියලා.

තව තැනක සටහන් වෙනවා, එක්තරා කොස්වාලිහිණියෙක් කුමුදු මලක් කඩාගෙන සිරිපා සටහනක තබා එතනින් ඉගිලී ගියා. තමාට නිවනට බීජය ඉපදුණේ එතනින් කියා ඒ රහතන් වහන්සේ වදාළා. තව රහතන් වහන්සේ නමක් වදාළා මම එක ජීවිතයක දී භාග්‍යවතුන් වහන්සේ නමකගේ සිරිපා සඟල දෙසට සමන් මල් ඉස්සා. ඒ පිනෙන් අරහත්වයට පත් වුණා කියා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ පාද පද්මයට දෑත් එකතු කර වන්දනා කිරීම සුළුපටු දෙයක් නොවේ. සාධු කියා වන්දනා කිරීම, ශරීරයේ උත්තමාංගය වන සිරස ඒ රන්වන් රන් සිරිපා අසල තබා වන්දනා කිරීම නිවනට බීජයක් වන්න පුළුවන්. ඒ උතුම් සිරිපා වන්දනා කරන්න තබන තබන පියවරක් පාසා තමාගේ සංසාර ගමන කෙටි කර ගන්න පුළුවන්. සතර අපායෙන් උඩට එන්න මාවතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු වන්දනාව ශ්‍රද්ධාවෙන්, පහන් සිතින්, ගෞරවයෙන් කරන්න ඕනෑ.

පන්සාළිස් වසක් අන් අයට යහපත පිණිස සිරිපා එසවූ භාග්‍යවතුන් වහන්සේ වෙහෙරෙන් ඉදිරියට වඩිනවා ද? පන්සාළිස් වසරට ම ඉදිරියට තබා තිබෙන්නේ උන්වහන්සේගේ දකුණු සිරිපා පද්මය යි. ඊට පසුවයි වම් සිරිපා තබා තිබෙන්නේ. ඒ වම් සිරිපා සටහනයි සමන්ගිරේ වැඩ ඉන්නේ. එදා නර්මදා නදියේ නාගයන්ගේ ආරාධනා මත ඒ වැලිමළුවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා තැබුවා. උන්වහන්සේ අධිෂ්ඨාන කොට සිරිපාදය යම් වැල්ලක් මත හෝ වේවා තැබුවොත් ඒ සටහන කිසිදු සෙලවීමක් නිසා මැකී යන්නේ නැහැ. කඳු ගණන් සේදී යන සැඩ පහරක් ආවත් වැල්ල මත තැබූ සිරිපා සලකුණ නො සේදෙයි. නර්මදා නදී තෙර තිබෙන ඒ උතුම් සිරිපා මොහොතක් රැල්ලෙන් වැසී යනවා. ඊළඟ මොහොත මාණික්‍යයෙන් වැසී යනවා. එය නාගයන් වන්දනා කරනවා.

පුණ්න මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ සුනාපරන්ත ප්‍රදේශයට වැඩම කරන අවස්ථාවේ සච්චබද්ධ පර්වතයටත් වැඩියා. සච්චබද්ධ තාපසයන් වහන්සේ ඒ පර්වතයේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ තාපසයාට දහම් දෙසුවා. ඔහු තිසරණයේ පිහිටා පැවිදිව, අරහත්වයට පත්වුණා. ඒ සච්චබද්ධ පර්වතයේ භාග්‍යවතුන් වහන්සේ සිරිපා සලකුණ තැබුවා. ඒ සච්චබද්ධ පර්වතය යනු අද කුමක් ද? ඒ තමා තිරිපති කියන්නේ. අද ඇතැම් දෙනා දෙවියන් වන්දනා කරන්න තිරිපති යනවා. නමුත් සිරිපා කමල අමතකයි.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ද ගිරිකේ සුමණාචලග්ගේ
යං තත්ථ යෝණකපුරේ මුනිනෝච පාදං
තං පාදලාඤ්චනමහං සිරසා නමාමි

කියා වන්දනා කරන්නේ මේ නිසයි. ඒ වගේම යෝනකපුරේ තිබෙන සිරිපාදය තමයි මිනිසුන් මක්කම කියා වන්දනා කරන්නේ. නමුත් අන්‍යාගමිකයන් නිසා ඔවුන්ට සිරිපතුල දකින්න බැහැ. ඒ දිසාවට වන්දනා කිරීමක් තමයි තිබෙන්නේ. නමුත් එදා මක්කම තිබෙන ඒ ශ්‍රීපාදයට දෙවියන්, බඹුන්, මිනිසුන් වන්දනා කොට අමා නිවන්සුව ලබා ගන්න ඇති.

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයක් නොමැතිව සිරිපා සටහන පිහිටන්නේ නෑ. කැලණි ගඟේ ගං පතුලේ සිරිපා සටහන පිහිටා තිබෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙනවා අභයගිරිය සෑය තිබෙන ස්ථානය සිරිපා සටහන තිබෙන බව. ඒ වගේම ථූපාරාම සෑය අසල අදටත් තිබෙනවා කුඩා ස්ථූපයක් “පාදලාංඡන ස්ථූපය” කියා. එහිත් සිරිපා සටහන ඇති බව විශ්වාස කරනවා.

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා මේ ලෝකයේ නොයෙක් ස්ථානවල වැඩ සිටිනවා. උන්වහන්සේ සරණ ගිය අපට සිරිපා වන්දනාව කෙතරම් වාසනාවක් ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ගන්ධබ්බ අඹරුක් සෙවණේ යමක මහා ප්‍රාතිහාර්ය පා පියවර තුනකින් තව්තිසා දෙව්ලොවට වැඩම කළා. එක් පියවරක් යුගන්ධර පර්වතයේත්, අනෙක් පියවර මහාමේරු පර්වතයේත්, අනෙක් පියවර පාණ්ඩුකම්බල ආසනය අසලත් තැබුවා. ඒකට කියනවා “ත්‍රිපදවික්‍රමණය” කියා. ඒ උතුම් සිරිපා මේ උතුම් ලක් දෙරණේ සමන්ගිරේ පිහිටිම නිසා ලක්වැසි අප කෙ තරම් පුණ්‍යවන්තයෝ ද?

දිනක් ද්‍රෝණ බමුණා ගමන් කරන මාවතේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට ශ්‍රී පාදය පිහිටන ලෙස අධිෂ්ඨාන කළා. ඒ ශ්‍රී පතුල දුටු බමුණා කල්පනා කළා මේ පාදය ඉතාම පුදුම සහගතයි සිතා ඒ ඔස්සේ සොයා ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී අසා සිටියා ඔබ වහන්සේ දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද? විද්‍යාර්ථයෙක් ද? බ්‍රාහ්මණයෙක් ද? කියා . භාග්‍යවතුන් වහන්සේ වදාළා. බ්‍රාහ්මණය, මම ඒ කවුරුත් නොවෙයි. මඩේ ඉපදී දියෙන් පෝෂණය වී ජලයෙන් උඩට පැමිණ, විකසිත වූ නෙළුමක් තිබෙනවා. ඒ නෙළුම වතුරත් සමඟ නො ගෑවී තිබෙන්නේ. මමත්, ඒ වගේ මිනිසුන් අතරේ ඉපිද හැදී වැඩුණා. නමුත් කෙලෙස් නිරුද්ධ කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. මට දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් කියනවාට වඩා බුද්ධ කියන වචනය තමා සුදුසු. එයින්ම ද්‍රෝණ බමුණා පැහැදුණා. මහා බ්‍රහ්මයාගේ රැස් දහරින්, සක් දෙවිඳුගේ කිරුළේ මිණි පහසින් රජවරුන්ගේ වන්දනාවෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා නිතර වන්දනාවට ලක්වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ළඟ පහන් සිතින් වැඳ වැටුණ කෙනාට නිරයේ මාවත් වැසෙනවා. සිරිපා කමලේ ආනුභාවය එයයි.

අපේ පැරැණි මුතුන්මිත්තෝ “පාදවීථිහාර පුණ්‍ය කර්මය” කියා විශේෂ පින්කමක් කර තිබෙනවා. පාදවීථිහාර පුණ්‍ය කර්මය කියන්නේ පය මුල්කර ගෙන කරන පින්කමක්. ඒ පින්කම සඳහා සමනල කන්ද නැඟිය යුතුම යි. කෙලෙස් නසන්නට, සසර දුකින් මිදෙන්නට බුදුගුණ සිහිකරමින් සමන්ගිරේ නගින්න. සිරිපා කමල අසල නළල තබා වන්දනා කිරීම තුළින් මේ සංසාරයේ ම රෝග දුරුවී යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල අසල කොසොල් රජතුමා වන්දනා කළ හැටි, රෝජමල් රජු වන්දනා කළ හැටි ඔබ කියවා ඉගෙන ගන්න.

එනිසා මේ සා ආනුභාවයක් තිබෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වන්දනා කරන බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ කැටි වූ සිරිපා සඟල ඔබත් සතුටින් වන්දනා කරන්න. එක්තරා දෙවියෙක් මෙසේ කියා තිබෙනවා.

මව් පා නො වැඳ ගෙදරින් පිට වෙන්න එපා
පිය පා නො වැඳ උරුමය අර ගන්න එපා
ගුරු පා නො වැඳ ශිල්පය නම් ගන්න එපා
සිරි පා නො වැඳ මනු පියසෙන් එන්න එපා

දෙව් ලොව දෙවියන්, බඹ ලොව බඹුන්, සිරිපා වඳින්න එන්නේ මේ මනුලොවට යි. එනිසා මනු ලොව උපන් ඔබත් සිරිපා නො වැඳ මේ ලෝකයෙන් පිටවෙන්න එපා. 

දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]