මිථ්‍යාව
සත්‍යයක් යැයි සිතා
මුළා නොවන්න
නමෝ තස්ස භගවතො
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උට්ඨානෙනප්පමාදෙන
සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවී
යං ඔඝො නාභිකීරති
කෙනකුට ලෝකය දිහාත්, ලොව සිදුවන දේ දිහාත් බලන්න ක්‍රම කීපයක් තියෙනවා.
එනම් මසැසින්, මනැසින්, නැණසින් හා පැණසින් බැලීමයි.
ලෝකයේ බොහෝ දෙනා තමා දෙසත්, ලෝකය දෙසත් බලන්නේ හා දකින්නේ මසැසිනුයි. එහෙත්
බුදුරජාණන් වහන්සේ නමක් බලන්නේ මනැසින් හා පැණැසිනුයි. එනිසා මසැසින් බලන අපට වඩා
වෙනස් දෙයක් මනසින් හා පැණැසින් බලන කෙනකුට දකින්නට පුළුවනි.
මසැසින් බලන අයට පෙනෙන්නේ ටිකයි. ඒත් නැණැසින් බලන කෙනකුට විශාල දෙයක් දකින්න
පුළුවනි. ඒක හරියට කඳු මුදුනකට නැඟ බලන්නාක් වගෙයි. මසැසින් දකින්නා බොහෝවිට මුළා
වෙනවා. රැවටෙනවා. එහෙම වෙන්නේ දෘෂ්ටි මායාවන් තියෙන නිසයි. ඒත් නැණැසින් දකින
කෙනකුට එහෙම වෙන්නෙ නැහැ. ඒ තැනැත්තාට යමක යථාර්ථය ම දකින්න පුළුවනි.
අපි දකින ආකාරය ධර්මයේ සම්‍යග් දෘෂ්ටිය හෙවත් නිවැරැදි දැක්ම හා මිථ්‍යා දෘෂ්ටිය
හෙවත් වැරැදි දැක්ම යනුවෙන් දෙයාකාර බව පෙන්වා දී ඇත්තේ එනිසයි.
යමෙකු තුළ වැරැදි දැක්මක් තියෙන තුරු ඔහුට ලෝකයේ ඇත්ත අවබෝධ කර ගන්න බැහැ. මිථ්‍යාව
සත්‍යය යැයි සිතා කටයුතු කරනවා. එනිසාම අනේකාකාර දුක්ඛ දෝමනස්සයන්ට හසුවෙලා දිගින්
දිගට සසර පුරාවට ගමන් කරනවා. කෙනකු මුළාවට පත් කරවන දේ අතරින් මිථ්‍යා දෘෂ්ටිය තරම්
භයානක වෙනත් දෙයක් නැතැයි තථාගතයන් වහන්සේ වදාළේ ද එනිසයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඇතුළත් වෙන්නේ ලෝක සත්‍යයයි. අපි බණ ඇසිය යුත්තේ,
බණ පොත් කියවිය යුත්තේ, ධර්ම සාකච්ඡා පැවැත්විය යුත්තේ මිථ්‍යා දැක්මෙන් මිදී
සම්‍යග් දැක්මක් ඇති කර ගැනීමටයි.
අද මාතෘකා කළ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරමුණු
කරගෙනයි. මහාපන්ථක හා චුල්ලපන්ථක දෙදෙනා සහෝදරයින්. අයියා මහාපන්ථක බුදුබණට
පැහැදිලා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් පැවිද්ද ලබා ගත්තා. පිළිවෙත් පුරලා ඉතා
ඉක්මණින් රහත් බව ලැබුවා. තමන් ලද මේ උතුම් තත්ත්වය මල්ලිටත් ලබා දෙන්න සිතා
මහාපන්ථක තෙරුන් වහන්සේ, මල්ලිව විහාරයට ගෙන්වා ගෙන පැවිදි කළා. ධර්මය උගන්වන්න
වෙහෙසුණා. මාස ගණනක් ගතවුවත් එකම ගාථාවක්වත් පාඩම් කරවන්ට බැරි වුණා. මෙහෙම වුණොත්
මල්ලිට පැවිදි ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරි වෙයි හිතුව මහාපන්ථක තෙරුන් වහන්සේ,
මල්ලි කැඳවලා සිවුරුහැර ගෙදර යන්නැයි කිව්වා.
අයියාගේ බහට කීකරු වූ චුල්ලපන්ථක හාමුදුරුවන්, ඒ බව බුදුරජාණන් වහන්සේට කිව්වා.
තථාගතයන් වහන්සේ කරුණු පරීක්ෂා කර චුල්ලපන්ථක තෙරුන්ට සත්‍යය අවබෝධ කර ගත හැකි
ක්‍රියාකාරකමක යෙදෙව්වා. පිරිසුදු සුදු රෙදි කැබැල්ලක් අතට දී, අත්ල උඩ තබාගෙන
අව්වට වී “රජෝ හරණං රජෝ හරණං” යනුවෙන් මෙනෙහි කරමින්, අර රෙදි කැබැල්ල
පිරිමදින්නැයි උපදෙස් දුන්නා.
උන්වහන්සේ ඉතා ඕනෑ කමෙන් ඒ කටයුත්තෙහි යෙදුණා. ටික වේලාවක් ගත වෙනකොට උන්වහන්සේ
දුටුවා තමන් අතේ තියෙන පිරිසුදු රෙදි කැබැල්ල ක්‍රමයෙන් අව පැහැ ගැන්වෙන බව. ඒ ගැන
මෙනෙහි කළා. මගේ සිරුර මොනතරම් අපිරිසුදු දැයි, සිරුර පිළිබඳ යථාර්ථය වැටහෙන්නට
වුණා. එය භාවනා අරමුණක් කර ගත්තා. අවසානයේ දී චුල්ලපන්ථක තෙරුන් රහත් බව ලැබුවා.
මේ සිද්ධිය මුල් කරගෙනයි තථාගතයන් වහන්සේ මුලින් දක්වා ඇති ගාථාව දේශනා කරන්නේ.
පින්වත, මේ ලෝකයේ ජීවත්වන සත්වයින්ගෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරගත හැකි එකම සත්වයා
මිනිසායි. මිනිසාට පුළුවන් මිනිහෙක් ලෙසම ජීවත් වෙලා මැරෙන්ට. නැතිනම් පෙරේතයෙක්
වගේ, තිරිසනෙක් වගේ, එසේත් නැත්නම් අමනුෂ්‍යයෙක් වගේ ජීවත් වෙලා මැරෙන්ටත් පුළුවනි.
මේ ජීවන පැවැත්මේ එක් අංශයක්.
බුදුරජාණන් වහන්සේ අඳුරෙන් අඳුරට හා ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයින් හැටියට දක්වා
ඇත්තේ මේ පිරිසයි. ජීවිත සකස් කර ගන්න තව අංශයක් තියෙනවා. බොහෝ දෙනාගේ ගෞරවයට
පාත්‍ර වෙන දෙවියෙක් වගේ ජීවිතයක් ගත කරන්න පුළුවනි. නැතිනම් සෝවාන් ආදි මාර්ගඵලවලට
පත්ව. ආර්යයන් වහන්සේ කෙනකු ලෙස ජීවත්වීම යි.
මේ කවර හෝ අවස්ථාවකට තම ජීවිතය පරිවර්තනය කර ගැනීමේ හැකියාව හැම කෙනෙකු තුළම
පවතිනවා. තමන් තුළ එවැනි ශක්තියක් ඇතැයි බොහෝ දෙනකු නො දනියි. එනිසා ඔවුන් තමන්ගේ
ඉරණම විසඳීමට මහා බ්‍රහ්මයාට, දෙවියන් වහන්සේට හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයකට භාර
කරනවා. ඇතැම්හු කර්මයට හෝ ග්‍රහයන්ට ඒ වගකීම භාර දෙනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා එවැනි බලවේගවලට භාරදීමට තරම් ප්‍රාථමික මට්ටමකට අපි
පත් වෙලා. මෙවැනි මත අපේ රටේ තිබුණේ, බුදුදහම ලැබෙන්ටත් පෙර. දැනුත් අපි ඒ තැනට ම
පත් වෙලා.
මේ මිථ්‍යාවෙන් අත්මිදෙන තුරු අපට පුද්ගලයින් වශයෙන්වත්, පවුල් වශයෙන්වත්, සමාජයක්
හා රටක් වශයෙන්වත් ඉදිරියට යන්ට පුළුවන්කමක් නැහැ.
ගාථාවක් කටපාඩම් කර ගන්න නොහැකි නිසා පැවිදි ජීවිතයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත
නොහැකි යැයි කියා, පැවිද්ද අතහැර යන්නැයි එළවා දැමූ චුල්ලපන්ථක තෙරණුවන් මේ තුන්
ලෝකයේ ම ලැබිය හැකි අග්‍රඵලය වන නිවන අවබෝධ කර ගැනීමට තරම් සමර්ථයෙක් වූයේ කුමක්
නිසා ද?
බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තුළ පැවති ශක්තිය හඳුනාගෙන, ඒ ශක්තිය මතුකර ගැනීමට
වුවමනා පරිසරය සකසා දීම නිසයි. කෙනකු ගුණවත් බවෙන් හෝ ප්‍රඥාවත් බවෙන් හෝ ඉහළට ඔසවා
තැබීමට බුදුරජාණන් වහන්සේටවත් කළ නොහැකියි. එය තම තමා විසින් ම කර ගත යුතුයි.
ඒ වගේ ම කෙනකු අපරාධකාරයකු, පව්කාරයකු කරන්ටත් වෙනත් කෙනකුට බැහැ. බොහෝ වෙලාවට අපට
ඇහෙනවා අසවලා නිසා තමයි මාව නරක් වුනේ. අසවල්ලු නිසයි අපේ දරුවාගේ ඉගෙනුම කඩා
වැටුණේ ආදී අදහස්. ඒවා තම තමන්ගේ ගැලවුමට කියන කතා මිසක් ඇත්ත නොවෙයි. වරද අන් අයට
පැවරීම හරිම ලේසියි.
බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් තම සිත වරදවා යොදයි නම් ඒ වරදට යොමු කළ සිතම එම
පුද්ගලයා මේ ලෝකයේ වෙන කිසිවෙකුටත් කළ නොහැකි බරපතළ ම අපරාධය සිදු කරන බවයි.
‘මිච්ඡා පණිහිතං චිත්තං’ පාපියොනං තතො කරෙ, යනුවෙන් වදාළේ එයයි.
බොහෝ දෙනෙක් තුළ නැඟී සිටි වීර්යය නැහැ. තමන්ට කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත්
හොඳයි කියලා හිතවනවා. ඒත් එක්කම කරන්ට පුළුවන් වෙයිද? පාඩු ලබයි ද? අතේ තියෙන
මුදලත් නැතිවෙලා යයිද? ආදී වශයෙන් තමන්ගේ බලාපොරොත්තුව බිඳ දමන සිතිවිලි ගොන්නක්
ඇති කරගෙන වැඩේ අතහැර දානවා.
තව සමහරු අව්ව වැස්ස, ශීත උෂ්ණ වගේ හේතු කියලා කරගෙන යන වැඩ නතර කරනවා. කල් දමනවා.
එනිසාම පිරිහෙනවා.
එනිසා ඔබ කළ යුත්තේ උපතින් ඔබ අරගෙන ආ ශක්තිය මතු කරගෙන උට්ඨාන වීර්යයෙන් යුතුව,
අප්‍රමාදීව ක්‍රියා කිරීමෙන් ජීවන ගමන ආලෝකවත් කර ගැනීමයි. ලෞකික ජීවිතය සාර්ථක කර
ගන්නා අතර, ලෝකෝත්තර මඟට පිවිසීමට ද වෙහෙසෙන්න.
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි |