[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සදහම් අරණ

බුදු හිමි

ලුම්බිනියේ සල් උයනේ
මායා කුසින් බිහිවීලා
පිවිතුරු පියුමන් මත
වැඩසිට සිහනාද කළා

නේරංජන ගඟ අසබඩ
බෝ සෙවණෙහි වැඩ හිඳලා
මරු බල මැඬ බුදු බව ලැබ
ලොව දහමින් එකලු කළා

ලෝ සත හට නිවනට මඟ
මෙලෙසින් පහදා දීලා
මල්ල රටේ සල් සෙවණේ
පිරිනිවුණි සැනසීලා.....


නිරෝගි වෙමු

රෝහලට ගිය වේලාවේ බිත්තියේ ලොකු අකුරෙන් ආරොග්‍ය පරමාලාභා කියා ලියා තිබුණා. එම පාඨයේ තේරුම නිරෝගිබව උතුම්ම ලාභය බවයි. එනිසා නිරෝගිව ඉන්න. ඒ සඳහා අපි වස විස නැති ආහාර කෑමට ගන්න ඕනෑ. පිරිසුදු ජලය බොන්න ඕනෑ. එදවස බුදුරජාණන් වහන්සේ වදාළා. නිරෝගිකම මෙලොව ඇති උතුම්ම ලාභය බව, ඒනිසා අපිත් සතුටින් නිරෝගිව ජීවත් වෙමු.


මවුපිය උපස්ථානය

පුංචි දුවේ, පුතේ බුදුසරණ සදහම් අරණට අදත් පුංචි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වැඩම කරනවා. ඒ දුවල පුතාලට ලස්සන බණ කතාවක් කියලා දෙන්නයි. වැලිමඩ ධම්මදේව පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ ඉන්නේ කළුතර පයාගල සිරිමුනි විහාරයේ. මේ බණ කතාව කියවලා පුංචි ඔබත් බෝසත් ගුණ පුරුදු කර ගන්න

පින්වත් යාලුවනේ, මම අද ඔයාලට කියලා දෙන්නේ මව්පිය උපස්ථානය ගැනයි. අද සමාජයේ ඇතැම් දරුවන් අම්මාට සහ තාත්තාට සලකනවා කියලා අපට පේන්නේ නැහැ. ඒ නිසා මවුපිය උපස්ථානය ගැන පුංචි කතාවක් ඔයාලට කියලා දෙන්නම්.

ගොඩාක් ඈත අතීතයේ දී සිදු වූ සිදුවීමක්. අම්මා සහ තාත්තා කෙනකුට එක පුතෙක් හිටියා. ඒ පුතා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැවිදි වෙන්න හිතුවා. නිවසට ඇවිත් ඒ බව මවුපියන්ට කිව්වා. නමුත් දරුවා පැවිදි වෙනවාට මවුපියන් කැමැති වුණේ නෑ. අනේ පුතේ, ඔයා නැතිව අපිව කවුද බලා ගන්නේ කියලා ඔවුන් කිව්වා. නමුත් මේ පුතා නොයෙක් හේතු කියලා පැවිදි වෙන්න අවසර ගත්තා. දැන් මේ ස්වාමින් වහන්සේ ඈත පිටිසර ගමකට වැඩලා තනිවම කුටියක වැඩ වාසය කළා. බණ භාවනා කළේත් තනියම යි.

කාලයක් යද්දී මේ මවුපියන් කළ පෙර අකුසලයක් නිසා ඔවුන්ගේ දෑස් අන්ධ වුණා. වතුපිටි, කුඹුරු, නිවාස ආදිය බලාගන්න දී තිබුණු පිරිසම අයිති කර ගත්තා. ඒ නිසා මේ මහලු මවුපියන් පාරේ හිඟමන් යදිමින් ජීවත් වීමට තීරණය කළා.

දිනක් ස්වාමින් වහන්සේ දෙනමක් ඒ ගමට වඩිද්දී උන්වහන්සේ දුටුවා අලුතින් පැවිදි වූ ස්වාමින් වහන්සේගේ මවුපියන් දෙදෙනා පාරේ සිඟාකමින් ජීවත් වෙනවා. ඒ සිදුවීම අර ස්වාමින් වහන්සේ මේ මවුපියන්ගේ පුත්‍ර ස්වාමින් වහන්සේට දන්වා සිටියා. ඒ පුත්‍ර ස්වාමින් වහන්සේ සිතුවා “අනේ මගේ මවුපියන් සිඟා කනවා නම් මම සිවුරු ඇරලා ගිහිං ඔවුන් බලා ගන්නවා” කියලා . ඒ පුත්‍ර ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මේ පිළිබඳ දන්වා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා.

“ඔබ ඒ වෙනුවෙන් සිවුරු අරින්න එපා. මහණදම් පුරමින් ම මවුපියන් පෝෂණය කරන්න” කියා වදාළා.

ඉතින් ඒ ස්වාමින් වහන්සේ දිනපතාම පිණ්ඩපාතට ගෙන මවුපියන් වෙත යනවා. ගොස් ඔවුන් නාවා පිරිසුදු කොට කෑම කවා මවුපියන්ගේ පහසුව සලසා නැවත විහාරයට වඩිනවා.

මේ සිදුවීම ටික කාලයක් කරගෙන යනකොට අනෙක් ස්වාමින් වහන්සේ අතර කතා බහක් ඇති වුණා. උන්වහන්සේ ඒ බව බුදුරජාණන් වහන්සේට කියා සිටියා “ස්වාමිනි, අර අලුතෙන් පැවිදි වූ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතය වැඩලා ඒ දානයෙන් ගිහි අය පෝෂණය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දී අර ස්වාමින් වහන්සේගෙන් මේ කතාව ඇසුවා. උන්වහන්සේ කියා සිටියා “ස්වාමිනි, මගේ ඇස් අන්ධ අම්මා සහ තාත්තා මම රැක ගන්නේ පිණ්ඩපාත දානයෙන් කියලා. එය අගය කළ බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි හැම දෙනාම මවුපියන්ට උපස්ථාන කළ යුතුයි කියා අනුදැන වදාළා.


අම්මා...

දරුවෙක් මෙලොව දකින්නට පෙර සිටම දරුවන් වෙනුවෙන් සිහින දකින අම්මාවරු දහසකුත් දුක් කරදර දරුවන් වෙනුවෙන් උහුලනවා. දරුවන් කුස තුළ දරන කාලයේ සිටම දරුවාට අහිතක් වේ යන බියෙන් දරුවාට අහිතකර කෑමක් බීමක්වත් ගන්නේ නැහැ. ඒ වාගේ ම නූපන් කාලේ සිටම දරුවන් වෙනුවෙන් වෙහෙසන අම්මාවරු දරුවන් උස් මහත් වී ලෝකය ජය ගන්නා තෙක් ම දරුවන් වෙනුවෙන් වෙහෙසනවා. අම්මා කවදාවත් ම මේ ලෝකෙන් මිදෙන තුරාවට ම සෙනෙහස ආදරය දරුවන් කෙරෙන් අත්නොහරියි. ඇය අපගේ ජීවිතය සරුසාර කරන්නට දක්වන වෙහෙස අපමණයි. අප වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මා ආදරයෙන් රකිමි.


පින් සිත් පැතිරෙයි

උඳුවප් පෝ දා සදහම් සිරියයි
සිරිමහ බෝ රජිඳුන්ගේ සෙවණයි
සඟමිත් තෙරණින් වැඩි මේ දිනයයි
පින් සිත් පැතිරෙයි බුදුහිමි සරණයි

සිරිපා කරුණා මෙදිනෙන් ඇරඹෙයි
බැති දන හට පින් කරනට සිත දෙයි
සුමන සමන් දෙවි පිහිට පතන්නයි
මුනි සිරිපා සිත් සේ වැඳ ගන්ටයි


අපේ ගමේ පන්සල

අපේ ගමේ විහාරස්ථානය උඩලමත්ත ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයයි. එහි විහාරාධිපතීන් වහන්සේ ලෙලමත්තේ පාලිත නාහිමියන් ය. ස්වාමීන් වහන්සේ හයනමක් විහාරයේ වැඩ සිටිති. සෑම ඉරිදා දිනක ම පන්සලේ ගාමිණී දහම් පාසල පැවැත්වේ. එහි ප්‍රධානාචාර්ය ධුරය හොබවනු ලබන්නේ විහාරාධිපති හිමියන් විසිනි. ගමේ දරු දැරියන්ට දහම් දැනුම ලබා දී දරුවන් යහ මඟට ගැනීම අප දහම් පාසලේ මූලික අරමුණයි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]