[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඉවසීමේ ගුණයෙහි මානුෂීය ශ්‍රේෂ්ඨත්වය

ඉවසීමේ ගුණයෙහි මානුෂීය ශ්‍රේෂ්ඨත්වය

බුදුරජාණන් වහන්සේ ඉවසීමේ ගුණයේ අනුසස් පහක් පෙන්වා වදාළ සේක. ඒ මෙසේ ය.

ඉවසිලිවන්තයා බොහෝ අයට පි‍්‍රයශීලි කෙනෙක් වන්නේ ය.

ඔහුට හෝ ඇයට මිතුරන් බොහෝ වන්නේ ය.

වැරැදි, අඩුපාඩු, අඩු අයෙක් වන්නේ ය.

සිහිනුවණින් යුතුව මරණයට පත්වීමට හැකි වන්නේ ය.

මරණින් මතු සුගතිගාමී වන්නේ ය.

වත්මන් සමාජයේ බොහෝ දෙනා කටයුතු සිදු කරන්නේ ගැහුවොත් ගහනව, බැන්නොත් බනිනවා යන ආකල්පයෙනි. නමුත් ඉවසීමෙන් තමාට, තමන් මෙතෙක් දුර රැකගෙන පැමිණි ගුණයට, තමාගේ ස්වභාවයට, මනුස්සකමට ඇතිවන යහපත, ඒ වගේම තම දරු පවුලට, මව්පියන්ට ඇතිවන යහපත ගැන සිතා බලන ලෙසයි, මෙයින් ආරාධනා කරන්නේ, ධර්මයෙහි පැහැදිලි කරන්නේ සා පිපාසාව, බඩගින්න, කායික මානසික පීඩා, ඇනුම් - බැනුම්, නපුරු වචන, සීත - උෂ්ණ, මැසි - මදුරු ආදී පීඩා පවා ඉවසීමට තරම් ශක්තියක් අප තුළ ඇති කර ගත යුතු බවයි. සොබා දහමෙන් ඇතිවන පීඩාවන් හි දී පවා ඉවසීම පුරුදු කළ යුතු ය. එමඟින් තමාට සිදුවන හානියෙන් ආරක්ෂා වී තම සිත සන්සුන් ව පවත්වා ගැනීමට හැකියි. අව්ව, වැස්ස, පින්න, සීතල සමඟ අමනාප වීමෙන් හෝ කේන්ති ගැනීමෙන් තේරුමක් තිබේ ද? මේවාට දොස් පවරමින් හැසිරීමෙන් තම ශරීරයේ ලේ ධාතුව විනාශ කර ගන්නා අය සමාජයේ මොනතරම් සිටිනවා ද? තම තමන්ගේ සිත ගැන සිතා බලන්න.

බෝසතාණන් වහන්සේ මහාකපි ජාතකයේ දී වානරයෙක් ව ඉපදී වනයක අතරමං වී වලක වැටී සිටි මිනිසකුට එම වලෙන් ගොඩ එන්නට උදව් කළහ. උදව් ලැබූ කුසගින්නේ සිටි මේ නපුරු මිනිසා වානරයා මරා කන්නට සිතා වානරයාගේ හිසට ගලකින් පහර දුන්නේ ය. පහර කෑ වානරයා ලේ ගලන හිස ද එක අතකින් අල්ලාගෙන වනයේ අතරමං වූ ඒ පාපී මිනිසාට ගමකට යෑමට අත්තෙන් අත්තටම පනිමින් පාර පෙන්වීය. “මේ ඉවසීමේ ගුණයයි. කරුණාවයි”

ඒ වගේ ම අප බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සිරිතෙන් අපට ඉවසීම මැනවින් දැකගත හැකියි. ගිහි කල තම එකම පුතු වූ රාහුල කුමරුටත් තමන් වහන්සේට අපමණ කරදර පීඩා සිදුකළ දේවදත්ත තෙරුන්ට ද, තමන් වහන්සේ මරණයට පත් කිරීමට පිටුපසින් එළවා පැමිණි අංගුලිමාලට ද, ඒ වගේ ම තමන් වහන්සේ නැසීමට පැමිණි ධනපාල නම් හස්ති රාජයාට ද එකහා සමාන කරුණාව සහ මෛත්‍රිය දැක්වූහ.

අපත් අපගේ පරිසරයට මහත් සේ හිතවන්ත වෙමු. ඉවසීමේ ගුණයෙහි ඇති මානුෂික ශ්‍රේෂ්ඨත්වය නුවණින් විමසා බලමු. අපේ සිත නිතර වෙනස් වේ. එහෙත් ලාමක වචන නො කියමු. හිතානුකම්පීව මෙත් සිත් ඇතිව ද්වේෂයෙන් තොරව වාසය කරන්නෙමු. අපට යමෙක් වෛර කරයි ද, අප ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සහගත සිත් පතුරුවා ජීවත්වෙමු. ඒ වෛර නැති, තරහ නැති, ක්‍රෝධ නැති මෘදු සිත් පතුරුවා ජීවත්වෙමු යන උදාර සිතිවිලි ඇති කර ගනිමු. ඉවසීම, තරහ සිතින් තොරව වචනයෙන් සහ ක්‍රියාවෙන් ඉවසීම ටිකෙන් ටික පුරුදු කළ යුතු ය. ඉවසීම නැති නිසා මෙලොව ජීවිතයේ සියලු විනාශයන් ද මරණින් මතු දුගතිගාමී බවට ද පත් වූ බොහෝ පිරිස් සිටී.

ඉවසීම නැති තැන වෛරය, ක්‍රෝධය සහ තරහව මතු වන්නට පටන් ගනී. ක්‍රෝධයට පත්වන තැනැත්තාට හොඳ - නරක තේරුම් ගැනීමට අපහසු ය. ඒ වගේ ම යහපත - අයහපත නොපෙනේ. තරහවෙන් කිපුණු පුද්ගලයාට ධර්මය - අධර්මය නොපෙනේ. ඉවසීමෙන් බැහැරව, කිපුණු පුද්ගලයාට තමා ද තමාගේ අය ද යන්න පවා නො පෙනේ.

යමෙක් කිපී, ඉවසීමෙන් තොරව යම් අපරාධයක් කරනු ලැබුවේ ද? ඒ කුමක් වෙනුවෙන් ද? මේ අනිත්‍ය වූ ලෝකයේ කෙදිනක හෝ අත්හැර යන්නට සිදුවන ඉඩ - කඩම් වෙනුවෙනි. නැතිනම් ගේ දොර වෙනුවෙනි. ඉවසීම නැති තැන හටගත් පාපී සිතක විනාශකාරී බලය හා ශක්තිය ගැන ඔබ නුවණින් සිතා බලන්න.

“බකමූණාට දහවලට ඇස් නොපෙනේ. කපුටාට රාත්‍රියට ඇස් නොපෙනේ.”

ඒ වගේ ම ලෝභ, ද්වේෂ, මෝහයෙන් යුතු පුද්ගලයාට රාත්‍රියට මෙන් ම දහවලට ද ඇස් නොපෙනේ. මෙවන් පුද්ගලයා කෙසේ නම් සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නේ ද? ඔහුව එලොවටත් මෙලොවටත් නැති මහා පව්කාරයෙක් ලෙස සාමාන්‍ය ජන සමාජය හඳුන්වනු ලබන්නේ ය.

මේ මනුෂ්‍ය ලෝකයේ දෙදෙනෙක් කිසි විටකත් එක හා සමාන නොවෙති. යම් විටක පෙනුමෙන් එක හා සමාන විය හැකියි. නමුත් අදහස්වලින් මෙන්ම චරිත ලක්ෂණයන්ගෙන් වෙනස් ය. උදාහරණයක් ලෙස එකම මවකගේ කුසින් බිහි වූ දරුවන් අතර පවා විවිධ වූ චරිත ස්වභාවයන් පවතී. ඒ වගේ ම විවිධ වූ හැඟීම් හා අදහස් තිබෙන අය අතර වෙසෙන විට සියලු දේ ම එක හා සමාන ආකාරයට නො පවතී. එනම් සිතිවිලි, කතා කරන ආකාරය මෙන් ම හැසිරීම විවිධ විය හැකි ය. මේ ලෙසින් බලන විට ජීවත්වන පරිසරයේ ද විවිධ වෙනස්කම්වලින් යුතු පිරිස් ජීවත්වෙති.

ඒ වගේම ඔබ ජීවත්වන සමාජයේ විවිධ වූ ස්ථානයන් හි දී ඔබට විවිධ වූ සිතුම් - පැතුම් සහ චරිත ලක්ෂණ හේතුවෙන් නොගැළපීම් සහ කැමැති, අකැමැති වශයෙන් සෑම දෙයට ම මුහුණ දීමට සෑම කෙනෙකුට ම සිදුවේ. මේ ආකාර වූ අකැමැත්ත හෝ නොගැළපීම ඉදිරියේ තරහවට පත් නොවී, වෛර - ක්‍රෝධ නොකර ඉවසීම පුරුදු කිරීම උතුම් ගුªණාංගයකි. ඒ ගුණය තමන්ට යහපතකි. ඉවසීම නම් පාරමිතාවකි. මංගල සූත්‍රයෙහි ‘ඛන්ති’ - ඉවසීම මංගල කරුණක් ලෙසින් දක්වා ඇත්තේ ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]