[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කාටත් පොදු වූ ලෝක ධර්මතා

කාටත් පොදු වූ ලෝක ධර්මතා

කර්මය ස්වකීය කොට ගැනීම, උපත් කොට ගැනීම, ඥාති කොට ගැනීම, දායාද කොට ගැනීම, පිළිසරණ කොට ගැනීම, සෑම සත්වයකුට ම පොදුවේ සිදුවන ධර්මතාවකි.

මේ ලෝකයේ බොහෝ දේ සෑම කෙනකුට පොදුවේ එක සමාන අයුරින් බල නො පානු ඇත. උගත් - නූගත්, දුප්පත් - පොහොසත්, කුලවත් - කුලීන, ධනවත් - දුප්පත් අආදී සෑම අංශයක ම ජීවත් වන්නවුන්ට එක සමාන අයුරින් බලපාන්නා වූ ධර්මතා පහක් අඞනිඞ පංචක නිපාතයේ දෙවන පණ්ණාසයට අයත් ඨාන සූත්‍රය තුළින් බුදුරදුන් පෙන්වා දී ඇත.

එම ධර්මතා අද යුගයට වුව ද ඉතා වැදගත් වන අතර, ඒවා පිළිබඳ නො සිතීම තුළින් අද සමාජය තුළ විවිධ ප්‍රශ්න ගැටලු පැන නැඟීමට හේතුවක් වී ඇත. එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජීවිතය පිළිබඳ මොහොතක් පාසා සිතිය යුතු ආකාරයත්, එය භාවනාවක් කොට ජීවත් වන ආකාරයත් පිළිබඳව යි.

මහණෙනි, මෙම කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය. කවර කරුණු පසෙක් ද යත්.

මෙහිදී බුදුහිමි සමාජයේ ජීවත්වන සියලුම දෙනා හසුවන සේ එම ප්‍රකාශය කොට ඇත. ස්ත්‍රීන්, පුරුෂයින්, ගිහියන්, පැවිද්දන් යන සමාජයේ ඇති ප්‍රධාන කොටස් දෙක වන ගිහි පැවිදි දෙපක්ෂය ම කැටිකොට සෑම සත්වයකුට ම පොදු වූ ධර්මතා හා එම ධර්මතා තුළින් පැන යෑමට නොහැකි ආකාරය මනාව දේශනා කොට ඇත. එම කරුණු එකින් එක ගෙන හැර දැක්වීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු ඇත.

ජරාධම්මෝම්හි ජරං අනතීතෝති මම දිරන ස්වභාවය ඇත්තේ වෙමි. ජරාව නොඉක්ම වූයේ වෙමි.

ව්‍යාධිධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නොයික්ම වූයෙමි.

මරණ ධම්මෝම්හි මරණං අනතීතොති මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි

සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවො විනාභාවොති

පි‍්‍රය වූ, මනාප වූ සියල්ලෙන් ම මාගේ වෙන්වීම සිදු වේ.

කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්ම පටිසරණො යංකම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භාවිස්සාමීති

මම කර්මය දායාද කොට ඇත්තෙක් වෙමි. මම කර්මය උරුම කොට ඇත්තෙක් වෙමි. මම කර්මය සුවදුක් ලැබීම හේතුකොට ඇත්තෙක් වෙමි. මම කර්මය නෑ කොට ඇත්තෙක් වෙමි. මම කර්මය පිහිට කොට ඇත්තෙක් වෙමි.

දිරීම වනාහි ස්වභාවික දෙයකි. භද්‍ර යෞවන සමය තුළ ශරීරය තුළ ඇත්තේ සදාකාලික මනෝභාවයන් ය. එවිට ශරීරයේ යථා ස්වභාවය නොහොත්, ඒ තරුණ මදය සිතට ගත් කල්හි ශරීරයේ අනිත්‍යතාව නොපෙනේ. එබැවින් තිදොරින් නොයෙක් දුෂ්චරිත කිරීමට ද පෙළඹේ.

“පරිජිණ්ණ මිදං රූපං”

මෙම රූපය දිරා යන්නේ ය.

ඒ ගැන සිතීමෙන් යෞවන මදය පාලනය කර ගැනීමටත්, නැති කර ගැනීමටත් පුළුවන.

ව්‍යාධිය යනු රෝගාබාධයන්ට ලක්වීම යි. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් දේශනා කළේ නීරෝගිකම උතුම් ම ලාභය බවයි. නමුදු බොහෝ දෙනෙක් නිරන්තරයෙන් විවිධ රෝගාබාධයන්ට ලක් වේ.” රෝග නිඩ්ඩං පභං ගුරං” මේ ශරීරය රෝගයන්ට කැදැල්ලක් බඳු ය. වාතය, පිත, සෙම කිපීමෙන් ද, සෘතු වෙනස් වීමෙන් ද, අතුරු ආබාධ තුළින් ද, වස විෂ තුළින් ද, කර්ම බලපෑමෙන් ද විවිධ රෝගාබාධ ශරීරය කරා එනු ඇත. තමා ලෙඩ රෝගවලට හසු වන්නෙක් හා එය ඉක්මවා යා නොහැක්කෙක් බව සිතා ආරෝග්‍ය මදය යටපත් කර ගැනීමට, නැති කර ගැනීමට උත්සාහවත් විය යුතු ය.

මරණය නම් ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය පහව යෑම යි. නො මැරෙන මිනිසුන් ලෙස ජීවත් වී නොයකුත් අකුසල් කර්ම සිදු කිරීම සසර දුක් විඳීමට හේතු වේ.

“මරණං තම්හි ජීවිතං”

ජීවිතය මරණයෙන් අවසන් වේ.

බුදු, පසේබුදු, මහරහත් වැනි කෙලෙස් නැසූ උතුමන් ද මරණයට පත් වූහ. තමා මිය යන බව නිතර භාවනානුකූල ව සිතීම “මරණානුස්සති භාවනාව“ වැඩීමක් වේ.

කුමන ආකාරයෙන් ජීවත් වුව ද මරණයෙන් නම් ගැලවිය නොහැක. ඒ බව සිතා ජීවත් ව සිටියදී පින් දහම් හා යුතුකම් ඉටු කරමින් ගුණ ධර්ම තුළින් මිනිසත්කම ඔපවත් කරගත යුතු ය.

හතරවෙනි කාරණය වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීමට සිදුවීමේ ස්වභාවය නිතර මෙනෙහි කිරීම යි. චතුරාර්ය සත්‍ය තුළ දුක්ඛ සත්‍ය පිළිබඳ හැඳින්වීමේ දී පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද පෙන්වා දී ඇත. මිනිසුන් පි‍්‍රයයන් කෙරෙහි කැමැත්තෙන් හා රාගයෙන් වෙසෙති. ඒ රාගයෙන් මත් වූ ඔවුහු කාය, වාග්, මනෝ යන ත්‍රිවිධ දුෂ්චරිතයෙහි යෙදෙති. කවදා හෝ පි‍්‍රයයන්ගෙන් වෙන්වීමට සිදුවන බව නිතර මෙනෙහි කරන කල පි‍්‍රයයන් කෙරෙහි ඇති රාගය දුරුවීමත් නැතිකර ගැනීමත් කළ හැකිව ඇත.

පස්වන ධර්මතාව නම් කර්මය තුළ සියල්ල විනිශ්චය වීම ය. ලොව නියාම ධර්ම පහක් ඇත. සෘතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම වශයෙනි. කර්මය තුළින් ම සියල්ල සිදු නො වුණ ද කර්මය අන් සියල්ලට ම වඩා බලවත් ව පෙනී සිටිනු ඇත. කර්මය ස්වකීය කොට ගැනීම, උපත් කොට ගැනීම, ඥාති කොට ගැනීම, දායාද කොට ගැනීම, පිළිසරණ කොට ගැනීම, සෑම සත්වයකුට ම පොදුවේ සිදුවන ධර්මතාවකි.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව ම කර්මය වේ. එහිදී කර්මය අන් න්‍යායන්වලට වඩා බලවත් වන අතර, ඒවා කුසල හා අකුසල වශයෙන් දෙ වර්ගයකින් සැදුම්ලත් ය. හොඳ සිතින් කරන ක්‍රියා කුසල වශයෙනුත්, නරක සිතින් කරන ක්‍රියා අකුසල වශයෙනුත් සසර ගමනට එකතු පාදා වන අයුරු වටහා ගත යුතු ය.

ඉහත සඳහන් කරන ලද ධර්මතා සෑම සත්වයකුට ම අඩු වැඩි වශයෙන් බලපානු ඇත. බුදුරදුන් කල සිටි පූතිගත්තතිස්ස තෙරුන් දැඩි රෝගාබාධයකට ගොදුරු වූවෙකි. බක්කුල රහතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් ආයු විඳි හිමි නමකි. කිසාගෝතමී, පටාචාරා පි‍්‍රයයන්ගෙන් වෙන්වීම උමතු අයුරින් ප්‍රදර්ශනය කළ කාන්තාවන් ය. පසුකල ඔවුන් එහි යථාර්ථය වටහා ගත්හ. මරණ දෝංකාරයෙන් සලිත වූ ප්‍රකට චරිතයක් වන්නේ ආනන්ද හිමියන් ය. බුදු හිමිගේ පිරිනිවීම දරාගත නොහැකිව කඳුළු හෙළු භික්ෂුවකි.

මේ අයුරින් කාටත් පොදු වූ ලෝක ධර්මතා තේරුම් නොගතහොත් අප තුළින් සිදුවන අකුසල් බහුල වන බවත්, සසර තව තවත් දිගු එකක් වන බවත් ප්‍රඥාවෙන් සිතිය යුතු ය. දෛනික ජීවිත තුළට ද එම පීඩනය දරාගත නොහැකිව අනවශ්‍ය ප්‍රශ්න සමුදායකට මුහුණදීමට සිදු වේ.

එබැවින් කාටත් වෙනසක් නොමැතිව උරුම වන පොදු ධර්මතා සෑම දෙනකුට ම උරුම වන බවත්, එයින් පලා යාමට නොහැකි බවත් උපන් සත්වයින් විසින් නිරන්තරයෙන් සිතිය යුතු ය.

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]