[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක පෝ දා 2023-12-05

ඇසුර ගැන සැලකිලිමත් වන්න

බුදුරජාණන් වහන්සේ එක් කලෙක බේලුව නම් ගම වැඩසිටියහ. බොහෝ භික්ෂූන් වහන්සේ ද එහි වැඩ සිටියහ. මෙ සමයේ බුදුරජාණන් වහන්සේ රෝගී වූහ. භික්ෂූන් වහන්සේ ද, උවසුහු ද උන්වහන්සේට උවටැන් කළහ. රජවරු, සිටුවරු, මැති ඇමැතිවරු ආදී සැදැහැවත්හු ද නිතර වෙහෙර බිමට පැමිණ තථාගතයන් වහන්සේගේ සුව දුක් විමසා බැලූහ.

දිනක් සක්දෙව් රජු ද බුදුරජාණන් වහන්සේගේ සුව දුක් බැලීමට බේලුව වෙහරට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගඳකිළියට ගොස් උන්වහන්සේට වැඳ නමස්කාර කළේ ය. ඉන්පසු ඉතා සැදැහැයෙන්, ගෞරවයෙන් බුදු සිරිපා මැඬ - මැඬ සිටියේ ය. බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේට උපස්ථාන කරන්නේ සක් දෙව් බව දැනගෙන ම ඔය කවුදයි සක් දෙවිඳුගෙන් විමසූහ.

සක්දෙවිඳු වෙමි’යි පිළිතුරු ලැබුණි. කුමක් නිසා පැමිණියේ දැයි බුදුරදහු විමසූහ. බුදුරජාණන් වහන්සේගේ සුව දුක් බැලීමටත්, උවටැන් කිරීමටත් පැමිණි බව සක් දෙවිඳු පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට පැවසුවේ තමන් වහන්සේට උවටැන් කිරීමට පිරිස් ඇති බවත්, ආපසු යන ලෙසත් ය. මේ ඇසූ සක් දෙවිඳු කීවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ නිසා අත් පා මෙහෙවර කොට උපස්ථාන කිරීමෙන් පින්සිදු කර ගැනීමට පැමිණි බව ය.

තථාගතයන් වහන්සේ පිළිබඳ සක් දෙවිඳු තුළ වූ සැදැහැති බව හා ආදරය ගෞරවය ගැන භික්ෂූන් වහන්සේ ප්‍රශංසාවෙන් කතා කළහ. සතුටු වූහ. ඒ නිමිති කොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ

බුදු, පසේ බුදු, බුදු සවු යන උතුමන් වහන්සේගේ දැකීම යහපත් ය. එක්ව විමසී ද යහපත් ය. අනුවණයන් නොදැක්ම හා ඔවුන් හා එක්ව නොවිසීම ද සැප ගෙන දීමට හේතු ය යනුවෙනි.

එමෙන් ම අනුවණයන් හා එක්ව විසීම දුකට හේතුවන බව හා නුවණැතියන් හා එක්ව විසීම සැපයට හේතු වන බව ය.

මහා නුවණැති සත් පුරිස උතුමන් සඳු අහස සේවනය කරන්නා සේ සේවනය කළ යුතු බව ය.

ධම්ම පදයේ එන මේ කතා පුවත හා සදුපදේශ ගිහි පැවිදි කාහටත් බෞද්ධාගමානුකූල ජීවිත අරමුණු සාක්ෂාත් කර ගැන්මෙහි ලා මහෝපකාරී වේ.

ජීවිත කාලය පුරා තමන් ඇසුරු කළ පුද්ගලයන් හා ඔවුන්ගේ ක්‍රියා කලාප හා ආභාෂයන් නිසා තමන්ගේ ජීවිතයට ලද අර්ථ අනර්ථ පිළිබඳ ආවර්ජනයක යෙදෙනවා නම් මේ සදූපදේශයන්ගේ අර්ථය ප්‍රායෝගිකව ම අත් විඳින්නට හැකි වනු ඇත.

අයහපත් ඇසුර නිසා ජීවිතය ම පීඩාකාරී බවට, විනාශයට ළං කර ගත් අය මේ සමාජයේ කොතෙකුත් වෙති. බුද්ධ කාලීනව පවා එවැනි අය විසූහ. අප දන්නා හොඳම උදාහරණය අජාසත් රජු ය. දෙව්දත් තෙර වැනි පාප මිත්‍රයකුගේ ඇසුර අජාසත් කුමරුට පියා මැරවීමේ ආනන්තරීය පාප කර්මයක් දක්වා අයහපත් තැනට ඇද දැමුණි. අද ද එවැන්නෝ දුලබ නැත. පාසල් යන දරුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වාම ඇසුරු කරන අය නිසා විවිධ දුරාචාරයන්ට පෙළඹී ජීවිතය ම අඳුරට වැටුණ අය අපමණ ය.

බුදුරජාණන් වහන්සේ දේශන කොට වදාළේ අනුවණකමින් කල් යවන බාලයන් හා එක්ව විසීම, හැසිරීම කඩුගත් අත් ඇති සතුරකු සමඟ විසීම, හැසිරීම මෙන් හැම කල්හි ම බිය ගෙන දෙන බව ය. දුකට හේතුවන බව ය.

කුඩා දරුවාගේ පටන්ම ඇසුරට ගත යුතු අය පිළිබඳ මනා අවබෝධයක් නොවේ නම් තමනුත් නොදැනීම ජීවිතයට විනාශය ළඟා වීම නොවැළැක්විය හැකි වනු ඇත. එහෙයින් නිතර ඒ ගැන අවදියෙන් සිටිය යුතු ය.

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]