[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෞද්ධ සාරධර්ම රැකගෙන උපන් දිනය අර්ථවත් කරමු

බෞද්ධ සාරධර්ම රැකගෙන උපන් දිනය අර්ථවත් කරමු

ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී අපි උත්සව සැණකෙළි පවත්වමු. උපන් දිනයද අපට වැදගත් අවස්ථාවකි. උපන් දිනය සැමරීමට හැම වසරකම දිනයක් වෙන් වී තිබෙන නිසා වසරක් පාසා පවත්වන උත්සවයක් ලෙස එය සංවිධානය කිරීමට සමහරු පෙළඹෙති.

වෙසක් උත්සවය පවත්වන්නේ මහ බෝසතාණන් වහන්සේ මවුකුසින් බිහිවූ දිනය ද සමරන අවස්ථාවක් ලෙස නිසා එය උපන් දින උත්සවයක් ද වෙයි. එය බෞද්ධයාට උපන් දිනය සැමරීම සඳහා ආදර්ශ ලබා ගත හැකි උත්සවයකි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ද, නබි නායකතුමාගේ ද උපන් දින සැමරීමට ඒ ඒ ආගමිකයෝ උත්සව පවත්වති. ඒ ඒ ආගම් අදහන්නන් තම තමන්ගේ උපන් දින උත්සව පවත්වන්නේ තම තමන්ගේ ආගමික ඉගැන්වීම්වලට එකඟව ය. බෞද්ධයින් වන අප බෞද්ධ මුහුණුවරකින් උපන් දිනය සැමරීම යෝග්‍ය ය.

බෞද්ධ දරුවා තම උපන් දිනය දා ආගමික කටයුතු කිහිපයකට මුල්තැන දෙයි. ඔහු තම මවුපියන් සමඟ පන්සලට ගොස් මල් පහන් පුදා බුද්ධ පූජා පවත්වයි. ස්වාමීන් වහන්සේට විශේෂ පූජාවක් කර ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නො කරයි. එසේම දෙමව්පිය වැඩිහිටියන්ගේ ආසිරි ලැබීම ද ඉතා වැදගත් ය.

නිවසේ උපන් දින උත්සවයක් සංවිධානය කරන්නේ නම් දානයක් පිරිනැමීමට හෝ පිරිතක් දේශනා කරවා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. එසේ කිරීමට හැම දෙනාට ම නුපුළුවන් විය හැකි ය. සමහරු මේ දිනය අසරණ ළමයින්ට හෝ වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම සඳහා තෝරා ගනිති. ළමා නිවාසයක්, වැඩිහිටි නිවාසයක්, රෝහලක් වැනි තැනකට ගොස් එහි අවශ්‍යතා සොයා බලා සංග්‍රහ කිරීමට මේ අය පෙළඹෙති.

ජීවත්වීමට නියමිත තැනක් නැතිව මහමඟ දිවි ගෙවන අසරණයින් සොයා ගොස් ඔවුනට ආහාරයෙන් හෝ ඇඳුම් පැළඳුම්වලින් සංග්‍රහ කරන අය ද සිටිති.

උපන් දින උත්සවය ආගමික උත්සවයක් ම විය යුතු නැත. එහෙත් බෞද්ධයාගේ උපන් දින උත්සවය බෞද්ධ සාරධර්මවලට විරුද්ධ නොවන පරිදි පැවැත්වීම අවශ්‍යය. කෙනකුගේ උපන්දිනයේ දී නෑදෑ හිත මිතුරන් හා අසල්වාසීන් සමඟ එක් වී ආහාරපානයෙන් සංග්‍රහ කරමින් සතුටු සාමීචියෙන් ටික වේලාවක් ගත කිරීමට අවස්ථා සලසා ගැනීම වැදගත් ය. නෑකම්, හිතමිතුරුකම් අලුත්වීමට හා තහවුරු වීමට ද සමහර විට අමනාපකම් ආදිය අමතක කර ගැනීමට ද එය හොඳ අවස්ථාවකි. යහපත් වූ විනෝදයක් ලබා පී‍්‍රතිවීමට ද එයින් ඉඩක් ලැබේ.

මේ උත්සවවල දී ඇතැම් විට බෞද්ධකම අමතක වී යෑම ද දක්නට ලැබේ. උත්සවයක් සඳහා සතුන් මරවා ගැනීමත්, රහමෙර පානය සඳහා කටයුතු සූදානම් කිරීමත් අවශ්‍ය ම දෙයකැයි සිතීමට තරම් අපේ රටේ ඇතැම් බෞද්ධයන් පහතට වැටී සිටීම අභාග්‍යයකි.

සත්‍ය වශයෙන් එය බෞද්ධයන් වන අපට නො ගැළපේ. මත්ද්‍රව්‍ය නිසා සිහිය විකල් වූ පසු අම්මා, තාත්තා, දුව, පුතා, සහෝදරයා හෝ සහෝදරිය හරි හැටි නොපෙනී යාමෙන් එකිනෙකා කෙරෙහි තිබිය යුතු ගෞරවය හා සැලකිල්ල නොපවතින තත්ත්වයක් උදාවේ. එය පන්සිල්වල එන පස්වන සිල්පදය කඩා දැමීමකි. එනිසා උපන් දින උත්සවයට අපි මත්පැන් භාවිත නොකරමු, සංග්‍රහ නොකරමු.

ගෞරව කළ යුත්තාට ගෞරව කිරීමටත්, සංග්‍රහ කළ යුත්තාට සංග්‍රහ කිරීමටත් බෞද්ධ සාරධර්මවල ඉගැන්වෙයි. එනිසා අම්මා, තාත්තා හා වැඩිහිටියන් හඳුනාගෙන ඒ අයට ගෞරව කිරීමෙන් හා සංග්‍රහ කිරීමෙන් ඔවුන්ගේ ආශිර්වාද ලබා ගනිමු. නෑදෑයන්, හිතමිතුරන් හා අසල්වාසීන් සමඟ අපේ ඇති සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපි උත්සුක වෙමු. අපේ අඩුපාඩු එකක් දෙකක් හෝ නැති කොට ගෙන, යහගුණ එකක් දෙකක් හෝ මෙදින සිට අපේ ජීවිතයට අලුතින් එකතු කර ගනිමු.

උපන් දිනය සිහිකර අපිට කළහැකි, බෞද්ධයකුට ගැළපෙන තවත් බොහෝ දේ තිබේ. ඒ අතරින් අපිට කළ හැකි කිසිවක් තෝරා ගනිමු. පරිසරය වැනසීයාම අද අපිට බරපතළ ප්‍රශ්නයකි. ගස්වැල් විනාශ වීම ඊට තුඩු දෙන එක් හේතුවක් බව අපි දනිමු. උපන් දිනය සමරා එක කොස් පැළයක්, පොල් පැළයක් හෝ ඖෂධ පෑළෑටියක් රෝපණය කරන්න පුරුදු වෙමු. එසේ සිට වූ අය ඒ ගස් විශාල වී පල දරා ඇති හැටි දැක සතුටු වන අයුරු ඔබ දකින්නට ඇතැයි සිතමු. ඔබටත් කාලයකට පසු එවැනි සතුටක් විඳීමට පුළුවන් වනු ඇත.

පැන්සලක්, පොතක් පතක්, ඇඳුමක් නැතිව පාසල් යා නොහැකිව ළතවන අසරණ දරුවෝ කොතෙකුත් සිටිති. එවැනි එක් දරුවකුට හෝ පාසලට යාමට හා අධ්‍යාපනය ලබා ගැනීමට හැකි තරමින් උපකාර කරන්න. ඔබට කො තරම් නම් තෘප්තියක් එයින් ලබාගත හැකි ද? මුළු වසර පුරාම ඔබට ඒ දරුවාගේ ආශිර්වාදය ලැබෙනු ඇත.

බෙහෙත් ටිකක් ගැනීමට අපොහොසත් අසරණ රෝගීහු කොතෙක් නම් අප රටේ වාසය කරත් ද? එයින් එක් අයකුට හෝ සුළු උදව්වක් කරන්න. ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පින්කමක් කළ බව සිතා ඔබට මහත් තෘප්තියක් ලබාගත හැකි ය.

පාසලේ, පන්සලේ හෝ ප්‍රජා ශාලාවේ පුස්තකාලයට එක හොඳ පොතක් පරිත්‍යාග කරන්න. එය කියවන සිය ගණනකට ඔබ විශාල උපකාරයක් කළා නොවේද? මෙසේ බෞද්ධ සාරධර්මවලට එකඟව උපන් දින සැමරීමට අපි සිතට ගනිමු. බෞද්ධකම අමතක නොකර උපන් දින සැමරීමෙන් නිවැරැදි සතුටක් හා තෘප්තියක් ලබා ගැනීමට අපි අදිටන් කර ගනිමු.

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]