[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රාර්ථනා සපුරන මහා පින්කම

ප්‍රාර්ථනා සපුරන මහා පින්කම

සියල්ල සිතින් උපදී. සිත තුළ යහපත ඇති විට එළියට එන්නේ යහපත යි. සිත තුළ කුණු වෙයි නම් එළියට එන්නේ කුණු යි. මෙය බටහිර ජී න්‍යාය ලෙස හඳුන්වයි. මේ සිත තුළ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ආදි දේ මෙන් ම දුක, කනගාටුව, වෛරය, මානය, ඊර්ෂ්‍යාව, අන් අයට හිරිහැර කිරීම, අන් අයගේ දේවල් අයිති කර ගැනීම ආදී දේත් තිබෙයි. පින් කරන විට අවශ්‍ය දේ තබා ගනියි. අනවශ්‍ය දේ බැහැර කරයි.

සිංහල බෞද්ධ සමාජය තුළ චීවර මාසය යැයි මාසයක් වෙයි. චීවර මාසය යනු කඨින චීවර පූජා කරන කාලවකවානුව යි. එම මාසය තුළ බෞද්ධයෝ තම විහාරස්ථානය තුළ මෙන් ම අවට විහාරස්ථානවල සිදු කරන කඨින මහා චීවර පින්කම්වලට සහභාගි වෙති. චීවර මාසය අවසන් වෙත්ම බොහෝ පිරිස් පින් රැස් කර ගනිති.

කඨිනයට පෙර සිවුර මහණ වස්ත්‍රය නිවෙස්වලට ගෙන ගොස් වන්දනාමාන කිරීමක් සිදු කරති. මෙම මාසයේ මහා ප්‍රබෝධයකින් යුතුව බෞද්ධයා පින්කම් කරයි. සෑම විහාරස්ථානයක් ම මහ පිරිසකින් පිරී ඉතිරි යයි. ඒ හා සමානව ම මෙම පින්කම් අනර්ථ වූ පින්කම් කියන්නෝ ද බොහෝ වෙති. “ මොකටද මේ චීවරයකට වන්දනා මාන කරන්නේ. මල් පහන් හඳුන්කූරු පුදන්නේ,ආහාර ගිලන්පස පුදන්නේ, මෙය මිථ්‍යාවක්. මිථ්‍යාවට එරෙහිව සම්‍යක් දෘෂ්ටිය දේශනා කළ බුදුන්ගේ දර්ශනය තුළ මිථ්‍යාවට ඉඩක් නැත.” ආදි ලෙස ඔවුහු කියති.

දියුණුවේ පදනම...

සත්‍ය වශයෙන් ම කඨිනය මහා පින්කමක් ද සොයා බැලීම අපගේ ප්‍රයත්නය වෙයි. පළමුව අප පින යනු කුමක් දැයි සොයා බලමු. අටුවාචාරීන් වහන්සේ පින විග්‍රහ කරනුයේ “ චිත්තං පුණාතී ති පුඤ්ඤං” යනුවෙනි. පුණාති යනු පොළනවා යන්නයි. පොළද්දී සිදුවන දෙයක් වෙයි. අවශ්‍ය දේ කුල්ල තුළ රැදෙයි. අනවශ්‍ය දේ බැහැර වෙයි. වී පොළද්දි හොඳ වී ටික ඉතිරි වෙයි. බොල් හා කාටු බැහැර වෙයි.

සිත තුළ ද අවශ්‍ය, අනවශ්‍ය දේ වෙයි. ලෝභ, ද්වේශ, මෝහ අනවශ්‍ය දේ වෙයි. අලෝභ, අද්වේශ, අමෝහ අවශ්‍ය දේ වෙයි. පින්කම් කිරීම පෙළීමක් නම් ඒ තුළින් සිත තුළ ඇති ලෝභ, ද්වේශ, මෝහ බැහැර වෙයි. අලෝභ, අද්වේශ, අමෝහ සිත තුළ ඉතිරි වෙයි.

සිත අපගේ ජීවිතයේ දියුණුවේ හා පරිහානියේ පදනම වේ. සිත සියල්ලට මුල් වේ. සියල්ලට නායක වෙයි. සියල්ල සිතින් උපදී. සිත තුළ යහපත ඇති විට එළියට එන්නේ යහපත යි. සිත තුළ කුණු වෙයි නම් එළියට එන්නේ කුණු යි. මෙය බටහිර ජී න්‍යාය ලෙස හඳුන්වයි. මේ සිත තුළ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ආදි දේ මෙන් ම දුක, කනගාටුව. වෛරය, මානය, ඊර්ෂ්‍යාව, අන් අයට හිරිහැර කිරීම, අන් අයගේ දේවල් අයිති කර ගැනීම ආදී දේත් තිබෙයි. පින් කරන විට අවශ්‍ය දේ තබා ගනියි. අනවශ්‍ය දේ බැහැර කරයි.

දෙලොව සතුට...

මිනිසුන් යම් යම් කටයුතු කරන්නේ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමටයි. මෙලොව සතුට, පරලොව සතුට, නිවන එම අරමුණු වෙයි. මෙලොව සතුට ලැබෙන්නේ ආයු - නිදුක් නීරෝගීව දිගු කලක් ජීවත් වීම වර්ණ - පැහැපත් බව පෞරුෂය සැප - කායික මානසික සුවපත් භාවය බලය - කායික, මානසික, සාමාජීය ශක්තිය ප්‍රඥා - ජීවත්වන විට මතුවන ගැටලුවල දී නිවැරැදි පිළිතුරු සොයා ගැනීමේ හැකියාව යි. පරලොව සතුට නම් නැවත උපදින විට යහපත් තැනක ඉපදීමයි. මිනිස්, දේව, බ්‍රහ්ම ආදී භවයන්ට කැමැති වීම. නිවන යළි භවයක් නොමැති බවයි. මේ අරමුණු ඉටු කර ගැනීම පින්කම් තුළින් සිදු කරයි.ලෝභ, ද්වේෂ, මෝහ නැතිව අලෝභ, අද්වේෂ, අමෝහ සිත තුළ ඇති වූ විට සිත ප්‍රසන්න වෙයි. සතුට පී‍්‍රතිය ඇති කරයි. සිතේ ඇති සතුට ලේවලට එකතු වෙයි. ලේවල ඇති තාප ජනක ශක්තිය වැඩි දියුණු කරයි. ශරීරය එන්ජිමක් නම් ලේ එන්ජින් ඔයිල් හා සමාන වෙයි. එන්ජින් ඔයිල් පිරිසුදු නම් එන්ජිම හොඳින් කි‍්‍රයාත්මක වෙයි. එය දූෂ්‍ය වූ විට එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය අඩපණ වෙයි. දූර්වල වෙයි. නැති වෙයි. එසේම ලේ පිරිසුදු වූ විට ඉහත කී ශක්තීන් ලබා ගත හැකි වෙයි. පින්කම් තුළින් ඒ ශක්තීන් ලැබෙන්නේ මෙම ස්වරූපය තුළිනි.

ඉසුරුමත් වීමට කැමැති නම්...

පින්කම කරද්දි පින්කම කරන්නා තුළ මේ පාරිශුද්ධත්වය ගොඩනැඟේ. එය පුද්ගල පාරිශුද්ධත්වයකි. එවන් පුද්ගලයන් පිරිසක් එකතු වූ විට සමාජයකි. සමාජ පාරිශුද්ධත්වය ද ගොඩනැඟෙයි. කඨින චීවර පූජාව පින්කමකි. ඒ තුළින් පුද්ගල හා සමාජ පාරිශුද්ධත්වය ගොඩනැඟෙයි.

කඨින යන්නට අර්ථ දෙකකි. එක් අර්ථයක් නම් සාමූහිකාර්ථය, සංගණනාර්ථය, නැතහොත් එකතු වීම යන අර්ථය යි. අනෙක් අර්ථය ගණ, ශක්තිමත්, බලවත් යන අර්ථය යි. කඨින චීවර පූජාව තුළ මේ අරුත් දෙකම සිදු වෙයි.

සංගණනාර්ථය ගත් විට කඨින චීවර පූජාව යනු සාමුහික කි‍්‍රයාකාරකම්වල ප්‍රතිඵලයකි. භික්ෂූන් වහන්සේ තුන් මසක් මුළුල්ලේ වස් ශික්ෂා පදය ආරක්ෂා කරයි. ගිහි පිරිස උන්වහන්සේට සිව්පසය ලබා දෙමින් විවිධ පුණ්‍ය කටයුතු සිදු කරයි. දිගු කලක්, විශාල පිරිසකගේ කායික, මානසික ශක්තිය,විවිධ යහපත් කටයුතු සඳහා යෙදවීමේ ප්‍රතිඵලයකි කඨිනය. එක් අයකු පමණක් නොව පිරිසක් මේ සඳහා ඇප කැප වෙන නිසා සංගණනාර්ථය කඨින චීවර පූජාව තුළ වෙයි. මේ නිසාම කඨින චීවර පූජාව ශක්තිමත් පිනකි. ඒ තුළ මහ පොළොව සේ අකම්පිත ය. ගුණය වෙයි. මහා මේරුවක් සේ අචංචල ය. දියමන්ති පාෂාණයක් සේ ශක්තිමත් ය. මේ නයින් ගත් විට කඨිනය ශක්තිමත් පින්කමකි. එයින් ලැබෙන ආනිශංස ද ශක්තිමත් වෙයි. මිනිස් ලොව ඉපදුණොත් ඔහු අන් අයට වඩා ඉසුරුමත් වෙයි. හීන කුලවල නූපදී. උසස් තනතුරු ලබයි. ප්‍රත්‍ය පහසුකමින් අඩුවක් නොවෙයි. යස ඉසුරු උතුරයි. නීච භවවල නූපදී. දෙව්ලොව සිරි ලබයි. කල්ප සියගණනක් ගිය ද එහි පින වෙනස් නොවෙයි. එතරම්ම පින අකම්පිත වෙයි. අචංචල වෙයි. ශක්තිමත් වෙයි. මේ පුණ්‍යබල මහිමය නිසාම කඨිනය යන්න අරුත් ගැන්වෙයි.

තමන්ට හිරිහැරයක් නොවන, අනුන්ට හිරිහැරයක් නො වන, දෙපිරිසට ම හිරිහැරයක් නොවන සතුටින් කළ හැකි. ප්‍රතිඵලය සතුටින් භුක්ති විදිය හැකි දේ පින වශයෙන් රාහුලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දක්වති. ඒ අනුව ගත් කල කඨින චීවර පුජාව පිනකි. ඒ තුළින් බොහෝ කාල පරාසයක් තුළ බොහෝ පිරිසකගේ අලෝභ, අද්වේශ, අමෝහ යන පින් සිතිවිලි මතුවීම, ඒ පින් සිතිවිලි නිසා බොහෝ පින්කම් කිරීම වස් විසීමට තැනක් සොයා ගැනීම, වස් ආරාධනය, වස් ආරාධනයෙන් පසුව වස් ශික්ෂාපදය සුරැකීම, ඒ කාලය තුළ දාන, ශීල, භාවනාදි වූ පින්කම්වල නිරත වීම,භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීම, බුදුරදුන්ට පුද පූජා පැවැත්වීම, කඨින චීවර පූජාව ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ පින්කම් කොට කඨින චීවර පූජාවදාත් ඊට එක්කොට විහාරස්ථානයේ භික්ෂූන්ට ප්‍රයෝජන ගත හැකි විවිධ දේ පූජා කිරීම ආදි දේ නිසා මෙම පින්කම මහා පින්කමක් වෙයි.

නිවනට මඟක්...

කඨින පින්කමක් කිරීම මෙලොව සැප ලබන මාර්ගයකි. පරලොව සැප ලබන මාර්ගයකි. නිවනට ළඟා විය හැකි මාර්ගයකි.පෙර දවස රජවරු සියලු රට වැසියෝ එක්ව සියලු විහාරවල එක් දිනක දී පුළුන් ගෙන, නූල් ගොතා,රෙදි වියා, සිවුරු මසා, පඬු පොවා ඒ සිවුර කඨින චීවරයක් වශයෙන් පිදූ බව අප ඓතිහාසික කථා පුවත් හි දක්නට ලැබිණි.

මේ පමණක් නොව අපගේ අටුවා කථාවන්හි සතා සිව්පාවා පවා නිසි අවබෝධයෙන් තොරව කඨින පූජාවක යෙදී තම තිරිසන් ආත්ම භවයෙන් මිදී ඇත.

පානම්පත්තුවේ කපුටු ජෝඩුවක් විසී ය. මේ දෙදෙනා අතර රණ්ඩුවක් වී කපුටිය තරහා ගෙන තම උපන් ගම වූ රුහුණට පැමිණියා ය. ටික දිනක් ගිය කල කපුටාට තම පෙම්බරිය නැතිව සිටින්නට නොහැකි විය. කපුටා කපුටිය සොයා ගෙන රුහුණට පැමිණෙ යි. රුහුණට පැමිණ පෙම්බරිය සොයා ගන්නා තෙක් ඔහු රැඳෙන්නේ රුහුණේ පන්සලක ය. එතැන දී එහි විසූ භික්ෂූන් මේ කපුටාට ආහාරපාන දෙයි. කපුටු භාෂාව දත් භික්ෂූහු වෙසෙති. ඔවුන් හා සංවාදයෙන් ආ කාරණය ද කියයි. භික්ෂූන්ගේ උදව්වෙන් කපුටා තම කපුටිය සොයා ගනියි.

පන්සලේ විසූ කාලය තුළ කපුටා මෙම භික්ෂූන්ට ප්‍රත්‍යපහසුකම් ලැබෙන්නේ බොහෝ දුෂ්කරව බව දැන ගනියි. රුහුණට වඩා පානම්පත්තුවට ගිය විට ප්‍රත්‍ය පහසුකම් ලැබෙන බව කී කපුටා වස් වසන්නට එහි වඩින මෙන් දැන්වී ය. භික්ෂූන් කපුටාගේ ආරාධනයෙන් එහි වස් විසූහ. කපුටු ජෝඩුව සෑම දිනක ම පියඹා ගොස් පිණ්ඩපාතය ඇති තැන් භික්ෂූන්ට පෙන්වී ය. මාස තුනම මෙසේ සිව්පසය ලබා වස්කාලය නිමා වූ කල යළි රුහුණට වඩින්නට සුදානම් වන විට කපුටු ජෝඩුව රෙදි මහන ස්ති‍්‍රයකට උන්වහන්සේ පෙන්වා සිවුරු පිරිකර ද පූජා කළහ. මේ පිනින් ඉතා කෙටි කලකින් කපුටු ආත්මයෙන් මිදී දිව්‍ය ආත්ම භවයක් ලැබිණි. නො වැටහෙන තිරිසනුන් පවා එවන් ආත්ම භවයක් ලැබුවේ නම් අවබෝධයෙන් මෙම පින්කමට සම්බන්ධ වුවොත් අප වෙත කෙ තරම් ආනිශංස ලද හැකි ද?

මෙය පින්කමකි.මේ පින්කමට සම්බන්ධ වීමෙන් ඔබට ඔබ ප්‍රාර්ථනීය සැප ලැබිය හැක. දෙව්ලොව යා හැකි ය. මීට ගැරහීමෙන්, අවමන් කිරීමෙන් අපායගාමි විය හැක. තීන්දුව ඔබ සතුවෙයි. සිත පිරිසුදු කොට මිනිස් ලොව මනු සැපය, දෙව්ලොව දෙවි සැපය විඳ නිවනින් සැනසෙමු ද? සිත දූෂ්‍ය කොට ගෙන අපාගාමි වෙමු ද? තීරකයා ඔබයි.

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]