[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නින්දා අපහාස ඉදිරියේ පවා සත්පුරුෂකම අත්නොහරින්න

නින්දා අපහාස ඉදිරියේ පවා සත්පුරුෂකම අත්නොහරින්න

තුන්ලොවක් සැනසූ, තමාට විරුද්ධකම් කළ දෙව්දත් තෙරුන්ට ද මෛත්‍රිය පැතිරූ බුදු උතුමන්ටත් “මුඩු මහණ”, යැයි බැණ වැදුණු, නින්දා අපහාස කළ මෙවැනි ලොවක් තුළ ඔබටත්, මටත් නින්දා අපහාසයන්ගෙන් මුළුමනින් වැළකී සිටිය හැකි ද?

ලෝකයෙන් පලාගොස් කැලෑවක හුදකලාවී සිටිය ද යම් අයෙක් දොස් කියනු ඇත. එය මේ ලෝකයේ ස්වභාවයයි

සැබෑම සත්පුරුෂයා නම් කවරෙක්ද? මෙහි සත්පුරුෂයා යැයි නම් කළත්, ස්ත්‍රී පුරුෂ නම් වූ දෙපාර්ශ්වය ම “සත්පුරුෂ” නම් වූ වචනයෙන් අදහස් කෙරේ. වර්තමානයේ සත්පුරුෂයන් ලෙස සත්පුරුෂ නොවූ ප්‍රතිරූපකයෝ පෙනී සිටිති.

මේ නිසා බෞද්ධ දර්ශනය අනුව සත්පුරුෂයා නම් කවරෙක් දැයි නිවැරැදිව හඳුනා ගැනීම අවශ්‍යය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී තිබේ.

යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළකේ ද, සොරකමින් වැළකේ ද, කාම මිථ්‍යාචාරයෙන් වැළකේ ද, බොරුකීමෙන් වැළකේ ද රහමෙර පානයෙන් වැළකේ ද, ඒ සත්පුරුෂයාගේ චරිත ස්වභාවයයි. ඒ පමණක් නොව, සත්පුරුෂයා විසින් තමා එම දුෂ්චරිතයන්ගෙන් වැළකී අන් අය ද එම දුෂ්චරිතයන්ගෙන් වළක්වා සුචරිතයට යොමු කරයි.

තවදුරටත්, භාග්‍යවතුන් වහන්සේ විසින් සත්පුරුෂයාගේ ලක්ෂණ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. සත්පුරුෂයා බොහෝ දෙනාට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. මාපියන්ට හිත සුව පිණිස වෙයි. අඹුදරුවන්ට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. තමා සමඟ සේවය කරන අයට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. යහළුවන්ට වැඩ පිණිස, හිත සුව පිණිස වෙයි. පැවිදි උතුමන්ට ද වැඩ පිණිස හිත සුව පිණිස වෙයි. එමෙන්ම සත්පුරුෂයා සැදැහැවත් අයෙක් වෙයි. පවට අවබෝධයෙන් යුතුව ලජ්ජාවක් බියක් ඇතිකර ගනියි. බහුශ්‍රැත වූයේ දැනුමෙන් සහ අවබෝධයෙන් යුතු වූයේ වෙයි. නොපසුබට වීර්යයෙන් යුතු වූයේ වෙයි. මනාවූ සිහියෙන් යුතු වූයේ වෙයි. ඤාණවන්ත වෙයි.

මෙම විස්තරය උපුටා ගනු ලැබුවේ අංගුත්තර නිකායේ චතුක්ක සහ පඤ්ච නිපාතයන්ගෙනි.

සත්පුරුෂයාගේ ගති ලක්ෂණ තේරුම් ගන්නා විට අසත්පුරුෂයා නම් කවුරුන් දැයි ඉතාමත් හොඳින් පැහැදිලි වෙයි. ප්‍රාණගාත කරන හෝ අන් අයට කරදරකාරීව ජීවත්වෙන, සොර මැරකම් කරන, කාම මිථ්‍යාචාරයෙහි, හැසිරෙන බොරු කියන, කේළාම් කියන, පරුෂ වචන කියන, හිස් වචනයෙන් යුතු මත් වතුරට ඇබ්බැහි වූ, පාපයට බරවූ, දරදඬු චරිතයක් ඇති පුද්ගලයා අසත්පුරුෂයෙක් බව පැහැදිලි ය. සැබවින්ම, සමාජයේ වඩාත්ම නින්දාවට මෙන්ම දෝස දර්ශනයට ලක් වන්නේ මෙම අසත්පුරුෂයෝ ය.

එනමුත් පව්කාරයන්ට, අසත්පුරුෂයන්ට, අකෘතඥ පුද්ගලයන්ට අමනුෂ්‍ය ගති ප්‍රකට කරන්නන්ට නින්දා අපහාස අවමාන උරුම දෙයක් ලෙස සලකා සමාජය ඒ ගැන විශේෂ සැලකිල්ලක් නොදක්වයි. එමෙන්ම එවැනි අසත්පුරුෂ පුද්ගලයෝ ද මතුපිටින් නොපෙන්නුව ද වචනයෙන් සහ ඉරියව්වලින් නොපෙන්නුවද තමන්ගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන්ට ලැබෙන ප්‍රතිචාර එයම බව දනිති.

මේ නිසා එවැනි පුද්ගලයෝ සිතින් සිතන්නේ “මට කොහොමත් එකයි” යන අදහසයි.

මේ වැඩියෙන් ම බැණුම්, නින්දා අපහාස ලැබෙන්නේ අසත්පුරුෂයන්ට ය. සිංහල සංස්කෘතික බස් වහරෙහි ප්‍රකට ආකාරයෙන් “කම්මලේ සුනඛයා” මෙන් එවැනි පුද්ගලයන්ට එවැනි නින්දා අපහාස සාමාන්‍ය දෙයකි. යම් තැනෙක අසත්පුරුෂ පුද්ගලයෝ, අසත්පුරුෂකම් කරමින් ඒවා වසාගෙන සත්පුරුෂයන් ලෙස අන් අයට පෙන්වාගෙන ජීවත් වෙති. එවැනි අසත්පුරුෂයන්ව ධර්මයෙහි හඳුන්වන්නේ “ලපනා කුහනා” (කුහේති, ලපති) නම්වලිනි. එනම් නැති ගුණ පෙන්වන චාටු බස් කියන කපටි කෛරාටික පුද්ගලයන් හැටියට ය. එවැනි පුද්ගලයන්ට ද නින්දා අපහාස ලැබුණ ද එය කපටි කමෙන් සහ චාටු බස් කියමින් “හොඳ මූණක්” පෙන්වාගෙන සිටිති. මෙවැනි පුද්ගලයෝ තවත් ආකාරයකින් සමාජයෙන් ගරු බුහුමන් ලබති. ප්‍රශංසා ලබති. සම්මානයට ද පාත්‍ර වෙති. කපටිකමින්, හැබෑ සත්පුරුෂයන්ට හිමිවිය යුතු ගෞරවය සහ සම්මානය ද ඔවුහු ලබා ගනිති.

මෙහිදී ප්‍රශ්නය මතු වන්නේ හැබෑ සත්පුරුෂයන්ට නින්දා අපහාස ලැබෙන්නේ කවර හේතු නිසා ද? යන්න ය. සත්පුරුෂයන්ට නින්දා නොකළ යුතු ය, නම් වූ අදහසෙහි අපි සියලු දෙනාම සිටිමු. මේ නිසා සත්පුරුෂයකුට ස්වල්ප වූ නින්දාවක් පැමිණෙන්නේ නම් එය සිත්වලට තදින් දැනේ. සත්පුරුෂයන්ට යම් වූ ද නින්දා අපහාස ලැබෙන්නේ නම්, ඒ සත්පුරුෂ ගති ලක්ෂණ, පැවතුම් නිසා ය. නිදසුන් ලෙස සිතා බලන්න. අන් අයට ගරු කරන, වචනයෙන් හෝ වරදක් නොකරන, කෙටියෙන් සඳහන් කරන්නේ නම්, පස් පව්වලින් සහ දස අකුසලයන්ගෙන් වැළකුන අයට පස්පව් සහ දස අකුසල් කරන සහ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් ගැටලු මතුවිය හැකි ය. සත්පුරුෂයා විසින් දහමෙහි පෙන්වා දෙන වැරැදි සිදු නොකරනවා පමණක් නොව සමාජ සම්මතයෙන් පවත්නා නීති රීතිවලට ද ගරු කරන පුද්ගලයෙකි. එබැවින් ඔහු හෝ ඇය විසින් අන් අය ද යහපත් වූ දෙයට යොමු කරයි. පොළඹවයි.

අසත්පුරුෂයා විසින් අසත්පුරුෂ කර්මවලට මිනිසුන්ව පොළඹවද්දී සත්පුරුෂයා විසින් මිනිසුන්ව සත්පුරුෂකම්වලට පොළඹවයි. මෙහිදී අසත්පුරුෂයා විසින් සත්පුරුෂයාට නින්දා අපහාස, මෙන්ම තාඩන පීඩන ද කළ හැකි ය.

පසුගිය දිනෙක මතට එරෙහිව ක්‍රියා කළ මහත්මයකුට පීඩා කළ පුද්ගලයන් පිළිබඳ අසන්නට ලැබුණි. සමාජයේ පිරිහීමට කටයුතු කරන පුද්ගලයන්ට අවවාද දෙන පැවිදි උතුමන්ට ද, සත්පුරුෂ ගුරු දෙමාපියන්ට ද පරුෂ වචනයෙන් පවා බැණ වදින පුද්ගලයෝ බොහෝ සේ සිටිති.

එසේම සන්සුන්ව කිසිවකුටත් නොදැනෙන ලෙස නිශ්ශබ්දව සත්පුරුෂව, කල්‍යාණවන්තව ජීවත්වන අය ද සිටිති. එවැනි අයට ද යම්විටෙක බැණුම් අසන්නට සිදුවෙයි. නපුරු පුද්ගලයන්ට තමාට අවශ්‍ය පරිදි කටයුතු කර ගන්නට නොහැකි වන විට හොඳ නරක නොපෙනේ. මත්වතුරට ඇබ්බැහි වූ පුද්ගලයකුට බෝධි සත්ව උතුමකුට වුව ද නින්දා කළ හැකි ය.

එමෙන්ම සමාජය අපේක්ෂා කරන්නේ යහපත් වූ ඇවතුම් පැවතුම් ඇති මනුෂ්‍යයන්ගෙන් ස්වල්ප වූ ද වැරැද්දක් සිදු නොවිය යුතු ය යනුවෙනි. එවැනි අයකුගෙන් සිදුවන අත්වැරැද්දක් හෝ ස්වල්ප වූ වචනයක් නිසා හෝ මහත් වැරැද්දක් ලෙස සලකා නින්දා අපහාස කරති. එම සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගති නොදකමින් සිටි පුද්ගලයෝ ස්වල්ප වූ අඩුපාඩුව ඉස්මතු කරමින් පෙන්වා දෙති. මෙය වඩාත් ම සිදුකරන්නේ එම සත්පුරුෂයන්ගේ උදව් උපකාර ලැබූ පුද්ගලයෝ ම විය හැකි ය.

සත්පුරුෂයන් සහ කල්‍යාණවන්තයන් ද ගුණ ගරුක මනුෂ්‍යයන් ද නපුරු මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ කම්පා නොවිය යුතු ය. මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් පිරිපුන්, සියලු සත්වයන් කෙරෙහි අසිරිමත් ලෙස පිහිට වූ සම්මා සම්බුදු රාජයාණන් වහන්සේට ද බැණ වැදුණු, නින්දා අපහාස කළ, අභූත චෝදනා කළ, ලෝකයක් තුළ සාමාන්‍ය මනුෂ්‍යයන්ට නින්දා අපහාස ලැබීම පුදුමයට කරුණක් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලොව බැණුම් නොඇසූ පුද්ගලයෙක් නොමැති බව ය. එයිනුත් රටට, ලොවට, ගමට, පළාතට, මනුස්සකමට ගරු කරන, වැඩ කරන, සෙත සලසන පුද්ගලයන්ට ද නින්දා අපහාස ලැබේ.

තුන්ලොවක් සැනසූ, තමාට විරුද්ධකම් කළ දෙව්දත් තෙරුන්ට ද මෛත්‍රිය පැතිරූ බුදු උතුමන්ටත් “මුඩු මහණ”, යැයි බැණ වැදුණු, නින්දා අපහාස කළ මෙවැනි ලොවක් තුළ ඔබටත්, මටත් නින්දා අපහාසයන්ගෙන් මුළුමනින් වැළකී සිටිය හැකි ද?

ලෝකයෙන් පලාගොස් කැලෑවක හුදකලාවී සිටියද යම් අයෙක් දොස් කියනු ඇත. එය මේ ලෝකයේ ස්වභාවයයි.

සත්පුරුෂ කර්ම අත් නොහරින්න. ඇනුම් බැනුම් ඉදිරියේ කම්පා නොවන්න. ඔබ ද මම ද අවංකව ම සත්පුරුෂයෙක් නම් අන් අයගේ නින්දා අපහාස අපගේ සිත් පීඩාවට පත් නොකරනු ඇත. ඒවා අපට සසර ගත අපේම කර්ම දෝෂ පමණෙකි. අවසන් වශයෙන් බුදුරදුන්ගේ උතුම් වූ ඉගැන්වීමක් ඔබට සිහි ගන්වමි.

“ලෝකයේ බොහෝ දෙනා දුස්සීල ය. එනම් නරක ය. ඒ නිසා යුද බිමෙහි දී දුන්නෙන් පැමිණි ඊ පහර වැදී ඉවසන ඇතකු මෙන් මම ද නොයෙක් දෙනාගේ පරුෂ වචන සහ ඇනුම් බැනුම් ද ඉවසමි.

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]