බිනර පුර පසළොස්වක පෝ දා 2023-09-29
තමන්ට පිහිට තමා ම ය
තමන්ගේ පිහිට තමන් ම ය. අන් කෙනෙක් පිහිට නොවන්නේ ය. මේ නිසා තමන් තමන්ට පිහිටක්
කොටගෙන, තමන් සරණ කොටගෙන, අප්‍රමාදීව ක්‍රියා කරන ලෙස දේශනා කොට වදාළ බුදු වදන අනුව
ම යමින් මේ ලද ජීවිතය අර්ථ සම්පන්න ව ගත කිරීම තම තම නැණ පමණින් දැන ගත යුත්තකි.
අපගේ ශාස්තෘන් වහන්සේගේ මහා ගුණ සමුදාය අසමසම ය. ලොව වෙනත් කිසිදු මනුෂ්‍යයකු තුළ
දැකිය නොහැකි ය. උතුම් සම්බුද්ධත්වය ලැබ පන්සාළිස් වසක් පුරා උන්වහන්සේ ශ්‍රී
සද්ධර්මය දේශනාකොට වදාළේ තමන් වහන්සේ දැන හඳුනා ගත් ලෝකයේ යථා ස්වභාවය, නිවීම
අන්‍යයන්ට ද වටහා දීමට ය.
උන්වහන්සේ යමක් ප්‍රකාශ කරන්නේ ද ප්‍රකාශ කරන දෙයම ක්‍රියාත්මක කරන යථාවාදී තථාකාරී
ගුණ සේ ම තමන් වහන්සේ කරන දෙයම කියන යථාකාරී තථාවාදී ගුණ යුතු ශාස්තෘන් වහන්සේ නමක්
වූහ. උන්වහන්සේ පෙන්වා වදාළ දහම් මඟ යන අප උත්සාහ කළ යුතු උතුම් සම්බුදු ගුණ යම්
තරමකට හෝ හැකි උපරිමයෙන් අපගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කිරීමය.
මේ ජීවිතයේ ලාභ, අලාභ ආදී වූ ලෝක ධර්මතා අටකට අපට මුහුණ දෙන්නට සිදුවේ. කිසිවකුට
ඉන් බේරී සිටිය නොහැකි ය. එහෙත් කම්පා නොවී ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන. ඒ
සඳහා සම්බුද්ධ චරිතය පුරාම ලැබෙන ආදර්ශ අප්‍රමාණ ය.
අද සමාජයේ බොහෝ පිරිස් අන්‍යයන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියේ කෝප වෙති. වෛරයේ ගිනි දැල්
අවුළවමින් පළිගැනීමේ චේතනාව ම වඩනවා මිස ඉවසීමට නොදනිති. එහෙත් බොදු මඟ යන්නකුට එය
කැප නැත. සැබෑ බෞද්ධයා සම්බුද්ධ සිරිත අනුව යමින් කෝපය බැහැරලන්නෙකි.
එක් අවස්ථාවක තමන් ශාක්‍යවංශයේ බවත්, බුදුරදුන්ගේ ඥාතිවරයෙක් බවත් සිතමින් උඩඟුව
සිටි ථුල්ලතිස්ස තෙරුන් අන්‍ය භික්ෂූන් වහන්සේට ගරුසරු නොමැතිව හැසිරෙනු දුටු
භික්ෂූන් වහන්සේ උන්වහන්සේට දොස් නැඟූහ. එයින් කෝප වූ ථුල්ලතිස්ස තෙරණුවෝ
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ හඬාවැටෙමින් අසවල්, අසවල් භික්ෂුව මට පරිභව කළේ යැයි
පැමිණිලි කළහ. ඊට හේතු විමසූ බුදුරජාණන් වහන්සේ උපසම්පදා වූ, වැඩිහිටි භික්ෂූන්
වහන්සේට ගරු කිරීම සම්බුදු සසුනේ වටිනා ප්‍රතිපත්තියක් බව පෙන්වා දෙමින් දේශනා කොට
වදාළේ අසවල් කෙනා මට බැන්නේ ය. ගැසුවේ ය. මා පරාජය කළේ ය. ආදී ලෙසින් සිතීමෙන් ම
යම් කෙනෙක් තුළ වෛරය හටගන්නා බව ය. එවැනි දේ නොසිතා ඉවසන පුද්ගලයා සංසිඳීම ලබන බව
ය.
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දැන දැනත් අද බොහෝ අය වෛරයට වෛරයෙන් පිළිතුරු දීමට යෑම
නිසා මොන තරම් නම් අභාග්‍ය සම්පන්න බවට පත්ව සිටිනවාද?
තමන්ගේ ම ජීවිතයේ මෙවැනි අවස්ථා සිහිපත් කළේ නම් වෛරයක්, කෝපයක් දැනෙන මොහොතක දැවී
හළුවී යන තරමට පීඩාකාරී වන සිත, කයට වඩා අපහසුවෙන් හෝ ඒ ගැන ඉවසීමෙන්, මෛත්‍රියෙන්
කටයුතු කිරීමෙන් ලැබෙන සුවදායක බව ගැන තමන් ම විමසා බැලිය හැකි ය. ඉවසීම අසීරු
තැනෙක සම්බුද්ධ චරිතය සිහියට නඟා ගන්නේ නම් ඒ අසීරු බව හිරු දුටු පිනි සේ පහව යනු
ඇත.
එක් අවස්ථාවක චිංචිමානවිකාව අප තථාගතයන් වහන්සේට අසත්‍ය චෝදනා කළා ය. තවත් වරෙක
සුන්දරී නම් පරිබ්‍රාජිකාවගේ මරණය පිළිබඳ අභූත චෝදනා එල්ලවිය. බුදුරජාණන් වහන්සේ ඒ
සියල්ල ඉදිරියේ කෝප නොවූහ. වෛරී නොවූහ. උන්වහන්සේ සත්‍ය ජය ගන්නා තුරු උපේක්ෂාවෙන්
බලා සිටියහ. තමන් වහන්සේට අපහාස කරන අයට මෙත් වැඩූහ. මේසා උතුම් ආදර්ශයක් තිබියදී
අප ලෝක ධර්මතා ඉදිරියේ කඩා වැටෙන්නේ කුමට ද?
සම්බුදු මඟ යමින් සම්බුද්ධ චරිතය ආදර්ශයට ගනිමින් ජීවිතය හැඩ ගස්වා ගැනීමට මේ උතුම්
බිනර පෝදා අදිටන් කර ගනිමු. |