[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 06 කොටස: සැනසීම ලැබෙන පහසු ම මඟ සොයා ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 06 කොටස:

සැනසීම ලැබෙන පහසු ම මඟ සොයා ගන්න

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබාදෙයි. එහෙත් කාර්ය බහුල බව නිසාම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිලිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝ දාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ සයවැන්නයි.

විවිධ කථිකයෝ වචන විවිධ ආකාරයට භාවිත කරති. ‘භාවනාව‘ යන වදන ද එසේ ය. එය අවිශේෂ කාරණාවක් ලෙස පෙනුණ ද එසේ නොවෙයි. යම්කිසි කථිකයෙක් භාවිත කරන වචනවලින් ඔහු හෝ ඇය අදහස් කරනුයේ කුමක්ද යන්න නිවැරැදිව ම සන්නිවේදනය වීම බෙහෙවින් වැදගත් ය.

උදාහරණයක් ලෙස ගත්කල, මිහිපිට පවතින සෑම සංස්කෘතියක් ම පාහේ භාවනාව වශයෙන් හැඳීන්විය හැකි කිසියම් මානසික අභ්‍යාසයක් ඉදිරිපත් කර ඇත. එම වචනයට ඔබ කෙතරම් ලිහිල් අර්ථයක් දෙන්නේ ද යන්න වැදගත් ය. (අප්‍රිකානු ජාතිකයින්ගේ සිට එස්කිමෝවරු දක්වා භාවනාවෙහි යෙදෙති.) බොහෝ සෙයින් එකිනෙකට වෙනස් මෙම ක්‍රමශිල්ප පිළිබඳ සමීක්ෂණයක් කිරීම මෙම ලිපියේ බලාපොරොත්තුව නොවේ.

ඒ සඳහා වෙනත් පොත පත ඇත. බටහිර පාඨකයින්ට හුරුපුරුදු, ඔවුන් භාවනාව යන නමින් අදහස් කරන අභ්‍යාසයන් සාකච්ඡාවට පමණක් මෙය සීමා කෙරේ.

යාඥාව සහ මෙනෙහි කිරීම යනුවෙන් හැඳීන්වෙන තරමක් දුරට සමාන කමකින් යුත් ක්‍රියාකාරකම් දෙකක් යුදෙව් ක්‍රිස්තියානු සම්ප්‍රදායන් තුළින් හමුවෙයි.

යාඥාව, ආධ්‍යාත්මික ඒකකයක් වෙත එක එල්ලේ ම ඍජු ආමන්ත්‍රණය කිරීමකි. නියමිත කාල පරිච්ඡේදයක් තුළ දී ආගමික අරමුණක් පිළිබඳ හෝ බයිබල් පාඨකයන් පිළිබඳ හෝ හොඳීන් විමසා බැලීම මෙනෙහි කිරීමයි. සිත දියුණු කිරීම පැත්තෙන් ගත් කල මෙම ක්‍රියාවන් යුගලය සිත එකඟ කිරීමේ අභ්‍යාසයන් බව පැහැදිලි වෙයි. එය සාමාන්‍ය සිතිවිලි දහරාව සීමාකර, සිත එක ක්‍රියාකාරී ප්‍රදේශයකට ගෙන ඒමයි.

මෙහි ප්‍රතිඵලය අනෙකුත් කායික ක්‍රියාවලියේ නිරායාස තැන්පත් බව හා සාමකාමී සුවදායක හැඟීමක් ඇති වීමයි.

මුළුමනින් ම සිත එකඟ කිරීමේ අභ්‍යාසයක් වන යෝගි භාවනාව හින්දු සම්ප්‍රදායෙහි පවතියි. මෙම අභ්‍යාසයන් මගින් සිදුකරන්නේ, සිත විසිරී යෑමට නොදී එක අරමුණක් වෙත යොමු කිරීමයි. ගල්කැටයක්, පහන් දැල්ලක්, ශබ්ද මාත්‍රයක් වැනි කුමක් හෝ අරමුණු කර ගත් යෝගියා සිත විසිරීයාම වළක්වා ගනියි. ඔහු ඊළඟට උත්සාහ කරන්නේ භාවනාත්මක මන්තරයක්, වර්ණවත් ආගමික රූපයක් හෝ ශරීරයේ ශක්ති නාලිකාවක් වැනි වඩාත් සංකීර්ණ වස්තුවක් හෝ අරමුණු කරගෙන තමාගේ පුහුණුව පුළුල් කර ගැනීමටයි.

භාවනා අරමුණෙහි සංකීර්ණ බව කෙතරම් විශාල වුව ද තවමත් එය සිත එකඟ කර ගැනීමේ අභ්‍යාසයක් පමණක් ම ය.

බෞද්ධ සම්ප්‍රදායට අනුව ද, සිත එක අරමුණක පිහිටුවීමට ඉහළ වැදගත්කමක් ලබා දෙයි. ඒ අතරම එළැඹි සිහිය යන අංගය එකතු වෙයි, එය වඩාත් අවධාරණයට ලක්වෙන අංගයයි. සෑම බෞද්ධ භාවනා ක්‍රමයක ම පරමාර්ථය සිත එකඟ කිරීමේ උපකාරයෙන් එළැඹි සිහිය වර්ධනය කිරීමයි. ඉතා පුළුල් වූ බොදු සම්ප්‍රදාය තුළ, මෙම පරමාර්ථය කරා ළඟාවිය හැකි විවිධ මාර්ග පවතියි.

සෙන් බුදුදහම වෙනස් වූ මාවත් දෙකක් භාවිත කරයි. තමාගේ අධිෂ්ඨාන බලයෙන්, ඍජුවම, එළැඹි සිහිය තුළට අවතීර්ණ වීම පළමු ක්‍රමයයි. ඒ බිම වාඩි වී, වාඩිවී සිටින බව දැනීම හැර අනෙක් සියලු ම දේ මනසින් එළියට විසිකිරීමයි.

ඉතා සරල ලෙස පෙනෙන නමුත් එය ලෙහෙසි කටයුත්තක් නොවෙයි. පුංචි උත්සාහයක් දැරීමෙන් එහි අසීරු බව තේරුම් ගැනීමට ඔබට පිළිවන.

උපායශීලීව, උඩුසිතේ සිතිවිලිවලින් මුදාගෙන සිත නිර්මල එළැඹි සිහියට ගෙන ඒම, රින්සායි ගුරුකුලයට අනුව භාවිත වන දෙවන සෙන් ක්‍රමයයි. විසඳීය නොහැකි ප්‍රහේලිකාවක් සෙන් සිසුවාට ලබාදී, ඔහුගෙන් විසඳුමක් බලාපොරොත්තු වීමෙන්, සිසුවාට තැති ගැන්වෙන සුළු පුහුණුවීම් අවස්ථාවක් සලසා දෙයි. මෙහිදී, එම අසීරු අවස්ථාවේ වේදනාවෙන් පලා යා නොහැකි බැවින්, ඔහුට හෝ ඇයට නිතැතින් ම එම මොහොත මුළුමනින් ම අත්දකින්නට සිද්ධ වෙනු ඇත. එයින් ගැලවී යා හැකි අන් ස්ථානයක් නැත.

සෙන් සැබැවින් ම අසීරු පුහුණුවකි. එය බොහෝ දෙනාට ප්‍රතිඵලදායි වන නමුත් ඇත්තෙන් ම මහත් අසීරු කාර්යයකි.

තවත් උපක්‍රමයක් වන තාන්ත්‍රික බුදු දහම මෙයට හාත්පසින් ම වෙනස් ප්‍රවේශයකි. “ඔබ” යැයි සිතා සිටින “ඔබ” යනු උඩුසිතෙහි කල්පනාවන් තුළින් මමත්වය විවිධ ආකාරයෙන් ප්‍රකාශ වීමක් ලෙස සලකනු ලබයි. මෙම විඥානික සිතිවිලි “තමා” යන සංකල්පය සමඟ තදින් බැඳී පවතියි. මමත්වය නොහොත් ස්ව-සංකල්පය යනු ගලා යන පිරිසුදු එළැඹි සිහියට කෘත්‍රිම ලෙස ඇලවුනු ප්‍රතික්‍රියා හා ප්‍රතිරූප විනාශ කර, නිර්මල එළැඹි සිහිය අත්පත් කර ගැනීමේ තාන්ත්‍රික බුදුදහමේ පරමාර්ථයයි. සිතින් රූප මවා ගැනීමේ ක්‍රියාවලියක් ආශ්‍රයෙන් මෙය මුදුන්පත් කර ගනියි.

උදාහරණයක් ලෙස ගත් කල, සිසුන්හට භාවනා අරමුණක් ලෙස තාන්ත්‍රික දේව මණ්ඩලයට අයත් දේව රූපයක් දෙනු ලබයි. මෙම අරමුණ සිතින් මවා ගැනීම, කෙතරම් මැනවින් ඉටුකරනවා ද කියතොත් සිසුවා මඳ වේලාවකින් දේව රූපය බවට පත්වෙයි. මෙහිදී තමා වෙනුවට එම දෙවියාගේ අනන්‍යතාව තමා වෙත ආරෝපණය කර ගනියි. තරමක කාලයක් ගත විය හැකි වුව ද, එය සැබැවින් ම ප්‍රතිඵලදායකයි.

මෙම ක්‍රියාවලියේ දී මමත්වය හෝ තමා යන සංකල්පය සෑදී ඇති ආකාරය දැක ගැනීමට සිසුවාට හැකියාව ලැබේ. තමාගේ සහ සමස්ත මමත්වයන්ගේ පදනම් විරහිත ස්වභාවය හඳුනාගැනීම තුළින්, ඔහු, තමා යන සංකල්පය කෙරෙහි ඇති බන්ධනවලින් නිදහස ලබයි. අවසාන ප්‍රතිඵලය වන්නේ, තමාගේ කැමැත්ත පරිදි, අවශ්‍ය විටෙක තමාගේ හෝ අන් අයකුගේ හෝ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම හෝ කිසිම අනන්‍යතාවයකින් තොරව සිටීමට වුව ද හැකියාව සිසුවා ලබා ගැනීමයි.

නමුත් තාන්ත්‍රික බුදු දහම ද ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.

විපස්සනාව ඉතා පැරැණිම බෞද්ධ භාවනා ක්‍රමයයි. එය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සතිපට්ඨාන සූත්‍රයට ඍජුව ම සම්බන්ධකම් ඇත. විපස්සනාව ඍජුවමත්, ක්‍රමානුකූලවත් එළැඹි සිහිය වැඩීමේ ක්‍රමයයි. එය කොටසින් කොටස වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන ක්‍රියාවලියකි.

විපස්සනා සිසුවා අවධානය යොමු කරනුයේ තම පැවැත්මෙහි විවිධ පැති දැඩි ලෙස පරික්ෂා කිරීම පිණිසයි. තමාගේ ගලා යන ජීවිත අත්දැකීම් වැඩියෙන් දැක ගැනීමට ඔහුව පුහුණු කරයි.

විපස්සනාව සන්සුන් ක්‍රමවේදයකි. එසේම ඉතා අංග සම්පූර්ණ ක්‍රියාදාමයකි. ඔබගේ සිත පුහුණු කළ හැකි පැරණිවූත්, ක්‍රමානුකූලවූත් උපදෙස් සංග්‍රහයකින් යුක්ත අභ්‍යාස ක්‍රමයකි. ඔබගේ ජීවන අත්දැකීම් ගැන වඩාත් සිහි කල්පනාවකින් සිටීම සඳහා ම වූ අභ්‍යාස මාලාවකින් යුක්ත ක්‍රියා පිළිවෙතකි. එය ක්‍රියාකාරී ඇහුම්කන් දීමක්, සිහියෙන් යුතුව දැකීමක් මෙන් ම සුපරික්ෂාකාරී අත්හදා බැලීමක් ද වෙයි. තීව්‍ර ලෙස ගඳ සුවඳ බැලීමටත්, පූර්ණ ස්පර්ශය හා සිදුවන සෑම සිදුවීමක් කෙරෙහි ම පූර්ණ අවධානයෙන් යුතුව සිටීමටත් අපි එයින් ඉගෙන ගනිමු. අපගේ සිතිවිලිවල පැටලී නොගෙන, ඒවාට ඇහුම්කන් දීමට අපට එයින් ඉගෙන ගත හැකි ය.

විපස්සනා භාවනා පුහුණුවේ පරමාර්ථය වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මතාවන්හි සත්‍යතාව දැක ගැනීමට ඉගෙන ගැනීමයි. දැනටමත් එය දන්නා බව අප සිතා සිටීම මායාවකි. අපගේ ජීවිත අත්දැකීම් කෙරෙහි අප අවධානය යොමුකරන්නේ ඉතා අල්ප වශයෙන් බැවින් එය හරියට ම අප ගැඹුරු නින්දක පසුවනවා වැනි ය. සරලව ගත් කල අපගේ අනවධානය දැක ගැනීමට ප්‍රමාණවත් අවධානයක් අපට නොතිබීමයි. එය තවත් උගුලකි.

තමා යන සංකල්පයට යටින් පවතින්නේ මොනවා දැයි දැන ගැනීම සිදුවන්නේ එළැඹි සිහියෙන් සිටීමේ ක්‍රියාවලිය තුළිනි. එවිට සැබෑ ජීවිතය යනු කුමක්ද කියා අපි අවබෝධ කර ගනිමු. එය දුක සැප හෝ ජය පරාජය අතර ගෙවීයන්නක් ම නොවේ. අප දැකීමට වෙහෙස ගන්නවා නම් හා හරියාකාරව බලනවා නම් ජීවිතයට, වඩාත් ගැඹුරු රටාවක් ඇත.

විපස්සනාව යනු මුළුමනින් ම අලුත් දැක්මකින් ජීවිතය අත්දැකීමට ඔබට කියාදෙන මානසික පුහුණුවකි. ප්‍රථම වරට ඔබ, ඔබ අවට හා ඔබ තුළ සැබැවින් ම කුමක් සිදුවන්නේ ද යන්න ඉගෙන ගන්නවා ඇත. එය ස්වයං ගවේෂණයකි. සිදුවන මොහොතේ ම එයට සහභාගී වෙමින් ඔබගේ අත්දැකීම් නිරීක්ෂණය කරන, සහභාගිත්ව නිරීක්ෂණයකි. මෙවැනි පුහුණුවකට අවතීර්ණ විය යුත්තේ මෙබඳු ආකල්පයකින් යුතුවයි.

“මට කලින් උගන්වා ඇති දේ කුමක් වුවත් කම් නැත. පූර්ව නිගමන, න්‍යායන් හා කලින් ඇති අදහස් අමතක කරමි. ජීවිතයේ සැබෑ ස්වභාවය දැක ගැනීමට මට වුවමනා ය. සැබැවින් ම ජීවත් වනවා යැයි කියන අත්දැකීම විඳීමට මට අවශ්‍යයි. වෙනත් කෙනකු විසින් කරන විස්තරයක් භාර නොගෙන, ජීවිතයේ ගැඹුරු ගුණාංග තේරුම් ගැනීමට මට වුවමනා ය. මා විසින් ම එය දැකිය යුතුයි.”

මෙවැනි ආකල්පයකින් යුතුව භාවනාවේ නිරත වන ඔබ සාර්ථක වනු ඇත. ඔබ පවතින දේ ඒ ආකාරයෙන් ම දැක ගන්නා බව දැන ගන්නවා ඇත. මොහොතින් මොහොත, වෙනස් වෙමින් ගලා යන සැටි දැක ගනී. එවිට ජීවිතය විස්තර කළ නොහැකි, විශ්වාස කළ නොහැකි තරම් සාරවත් බවක් අත්කර ගන්නවා ඇත. එය අත්දැකිය යුත්තක් ම ය.

භාවනාව යන පාලි වචනයෙහි මූලය වන්නේ “භූ” නොහොත් “වැඩීම” හෝ “පත්වීම” යි. එමනිසා භාවනාව යනුවෙන් වැඩීම නොහොත් දියුණුව යන්න හැමවිට ම භාවිත කෙරෙන්නේ මනසට අදාළවයි. භාවනා යනු මනස වැඩීමයි. විපස්සනා යන්න මූලයන් දෙකකින් සැදී ඇත. ‘පස්සනා‘ යනුවෙන් අදහස් වන්නේ දැකීමයි. “වි” යන උපසර්ගයට බොහෝ තේරුම් ඇත. මූලික අරුත “විශේෂ ආකාරයෙන්” යන්නයි. “ඇතුළතට” හා “මගින්” යන දෙවැදෑරුම් අර්ථයක් ද එයට ඇත. පැහැදිලිව හා නිවැරැදිව යමක් ඇතුළත බැලීම, සෑම සංඝටකයක් ම වෙන්කොට දැකීම හා එහි ඉතාමත් මූලික යථාර්ථය විනිවිද දැකීම එහි සමස්ත අරුත වේ.

විමර්ශනයට ලක්වන වස්තුවෙහි යථාර්ථය විනිවිද දැකීමට මෙම ක්‍රියාවලිය මඟ සලසා දෙයි. සියල්ල එකතු කළ විට විපස්සනා භාවනාව යනු විනිවිද දැකීම හා පූර්ණ තේරුම් ගැනීම ඉලක්ක කොට විශේෂ ආකාරයෙන් සිත දියුණු කර ගැනීමයි.

ජීවිතය දකින විශේෂ කෝණයක් අපි විපස්සනා භාවනාවේ දී වඩා ගනිමු. යථාර්ථය පවතින ආකාරයෙන් ම දැක ගැනීමට අපි අපව පුහුණු කරමු. එම විශේෂ තේරුම් ගැනීම, එළැඹි සිහිය නොහොත් සිහියෙන් සිටීම යනුවෙන් හඳුන්වනු ලබයි. අප සාමාන්‍යයෙන් කරන දෙයට වඩා එළැඹි සිහියෙන් සිටීම බෙහෙවින් වෙනස් ය. අප ඉදිරියෙන් සැබැවින් ම ඇත්තේ කුමක් ද කියා අපි කිසිවිටෙකත් සොයා නොබලමු. සිතිවිලි හා සංකල්ප තිරයක් තුළින් අප දකින ජීවිතය යථාර්ථය ලෙස අපි වැරැදි වැටහීමක් ඇතිකර ගෙන සිටිමු.

අප කෙතරම් දුරට නිමක් නැති සිතිවිලි ගංගාවට හසුවී ඇතිදැයි කිවහොත් ගලා යන ජීවිතය අපි නොදකිමු. නිරතුරුව අපගේ ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ හා වේදනාවන්ගෙන් පලා යෑමේ කාර්යය වෙනුවෙන් අපගේ මුළු ජීවිත කාලය ම ගතවෙයි. අප මුළු ශක්තිය ම වැය කරනුයේ අප තුළ වඩා යහපත් හැඟීමක් ඇතිකර ගැනීමට හා අපගේ බිය වළලා දැමීම සඳහා යි. අපි නිමක් නැතිව සුරක්ෂිත බව සොයමු. මේ අතරතුරේ දී ජීවිතය සැබෑ අත්දැකීම්හි රස නොබලා ම, අපට නොදැනී ම ගලා බසියි. විපස්සනාවේ දී අපි වැඩි සුව පහසුව සෙවීමට ඇති ආශාව යටපත් කර යථාර්ථය තුළට කිඳා බැසීමට පුහුණු වෙමු. පුදුමයට කාරණය නම්, සැබෑ සැනසීම ලබා ගත හැක්කේ, ඒ සැනසීම පසුපස හඹා යෑම නතර කළ විට ය. එය තවත් උගුලකි.

සැබෑ පරිපූර්ණත්වය මතු වන්නේ සුවපහසුව පිළිබඳ ඇති ඔබගේ අසීමිත ආශාව ලිහිල් කළ විටය. ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා ඔබ දුවන කලබලකාරී තරග දිවිල්ල නතර කළ වහාම ජීවිතයේ නියම සුන්දරත්වය මතුවී එනු ඇත. ඔබට සැබෑ නිදහස හා සුරක්ෂිත බව ලැබෙන්නේ වේදනාව හා අනතුරු සහිතව ද මුලාවෙන් තොර යථාර්ථය සොයා යන විටයි. මෙය, අප විසින් ඔබට ඒත්තු ගන්වන්නට යන තවත් ධර්මයක් (ආගමක්) නොවෙයි, නිරීක්ෂණය කළ හැකි යථාර්ථයකි. ඔබට දැක ගත හැකි මෙන් ම ඔබ දැක ගත යුතු සත්‍යයකි.

මීළඟ කොටස වප් පුර පසළොස්වක පෝදා කලාපයේ

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]