මෙත් සිත සදන විශ්මිත සුවය
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා යනුවෙන් සියලු දෙනා
කෙරෙහි දැඩි හිතවත්කමක් ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවයි. උතුම් පැතුම් ඇති මෛත්‍රී
භාවනාව බෞද්ධයන්ට අලුත් දෙයක් නොවේ. ගුණ නුවණ වැඩිදියුණු කර ගැනීමටත්, ජීවිත ගැටලු
විසඳා ගැනීමටත් හේතු වන මෛත්‍රී භාවනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්
ය.
බුදුරජාණන් වහන්සේ මෙත් වැඩිය යුතු ආකාරය මෙසේ දක්වා ඇත.
“මාතා යථා නියං පුත්තං -
ආයුසා ඒකපුත්තමනුරක්ඛෙ
ඒවම්පි සබ්බ භූතෙසු -
මානසං භාවයෙ අපරිමාණං”
මව තම එකම පුතු තම ජීවිතයට ද වඩා ඉහළින් රැක ගැනීමට තරම් වූ සෙනෙහසක් දක්වන්නාක්
මෙන් සියල්ලන්ට මෛත්‍රී කිරීමට උන්වහන්සේ අනුදැන වදාළහ.
මෛත්‍රිය යනු මිතුරු බවයි. අවංක මිත්‍රයා තම මිතුරාට දුකක්, කරදරයක් වනවාට කැමැති
නැත. ඔහු නිරතුරුව ම මිතුරාගේ සැප හා සතුට ප්‍රාර්ථනා කරයි. තම මිතුරා කෙරෙහි දක්වන
සුහද හැඟීම් හා ආකල්ප තමාට සතුරුකම් කරන අය කෙරෙහි පවා දැක්වීමට උත්සාහ කිරීම මෙත්
වැඩීමකි.
මෛත්‍රී භාවනාවේ දී කෙරෙනුයේ එවැනි උසස් මානසික තත්ත්වයකට සිත දියුණු කිරීම ය.
භාවනා කරන්නා භාවනානුයෝගියා ය. ඔහු හෝ ඇය මුලින්ම භාවනා කිරීමට සැරසෙන විට ඒ සඳහා
නියමිත වේලාවක් වෙන් කර ගත යුතු ය. භාවනාව ඇරඹීමට පෙර සැදැහැ සිතින් නමස්කාර පාඨය
කියා තමා රකිනා සීලය සමාදන්වන්න. ත්‍රිවිධ රත්නයේ ගුණ කියා ශ්‍රද්ධාව උපදවා ගෙන
ප්‍රසන්න සිතින් භාවනාව අරඹන්න.
සාමූහික භාවනාවක දී සියලු දෙනාම එක්ව පන්සිල්, අටසිල් ආදී සීලයක් සමාදන් වී තෙරුවන්
වැඳ සිත පිරිසුදු කොට ගෙන භාවනා ඇරඹිය හැකියි. මෙසේ කලක් භාවනාව පුරුදු කළ පසු ඉඩ
ලද හැම විටම මෙත් වැඩීමට පුරුදු වන්න. විවේකීව සිටින ඕනෑම අවස්ථාවක මෛත්‍රී භාවනාව
ප්‍රගුණ කළ හැක්කේ එවිට ය.
මෛත්‍රී භාවනාව වැඩීමට වෙන් වූ ඉරියව්වක් නැත. හිඳීම, සිටීම, සක්මන් කිරීම හා සයනයේ
දිගා වීම යන සිව් ඉරියව්වෙන් ම මෙම භාවනාව කළ හැකි ය. නමුත් ආරම්භක අවස්ථාවේ දී
භාවනාවට වඩාත් සුදුසු වන්නේ කඳ කෙළින් තබා ගෙන ආශ්වාස ප්‍රශ්වාසය පහසු වන පරිදි හිඳ
ගැනීමයි. පුරුෂ පක්ෂය බද්ධ පර්යංකයෙන් ද, ස්ත්‍රී පක්ෂය අර්ධ පර්යංකයෙන් ද හිඳීම
සාමාන්‍ය සිරිතයි. මෙහිදී තමාට පහසු ඉරියව්වක් තෝරා ගැනීම කළ හැකි ය. දෙඇස් ඇරගෙන
භාවනාව කළ හැකි වුව ද බාහිර අරමුණු සිතට නොඑන ලෙසට දෑස් පියාගැනීම භාවනා කිරීමට
පහසුවකි. හිඳගෙන භාවනා කරන විට වම් අත්ල මත දකුණු අතේ පිටි අත්ල තබා ගැනීම වඩා
සුදුසු ය.
හිටගෙන භාවනා කරන්නේ නම් ශරීරය සෘජුව සිටින සේ සිටගත යුතු ය. යම් ආධාරකයකට හේත්තු
වී සිට ගැනීම පහසු නම් එසේ කිරීමෙහි වරදක් නැත.
සක්මන් භාවනාවේ දී සුදුසු විවේක ස්ථානයක එහා මෙහා ඇවිදිමින් මෙත් වැඩිය හැකි ය.
දෑස් පියාගත් විට ඇවිදීමට අපහසු ය. දෑස් ඇරගෙන තම දෙපාවලට මඳක් ඉදිරියෙන් ඇති
ස්ථානයක් වෙත දෑස් යොමු කිරීම ඉතා සුදුසු වේ.
සයනයේ දිගා වී භාවනාවේ යෙදීමට වඩාත් සුදුසු ස්ථානය නිවෙසයි. එවිට උඩු අතට හෝ පැත්තට
හෝ හැරී සිරුර සෘජුව තබා ගත යුතු වේ. අත් පා වකුටු කොට වැතිරීම හෝ මුනින් දිගාවීම
සුදුසු නැත.
මෙත් වැඩීම පියවරෙන් පියවර කළ යුතු ය. මෛත්‍රී භාවනාවේ පළමු පියවර තමා ගැන සිතා
මෙත් වැඩීමයි. ඉන්පසු සිව් දිශාවට ම, ඉන්පසු සදිශාවට ම ඉන්පසු දස දිශාවට ම මෙත්
වැඩීම පුරුදු කළ හැකි ය. පළමුව විනාඩි හතරකට භාවනාව පුහුණු කරන්න. පිළිවෙළින්
හිතවත් අයට, මැදහත් අයට හා අහිතවත් අයට මෙත් වඩන්න. මෙහි හිතවත් අය යනු මවුපියන්,
ගුරුවරුන්, සොයුරු සොයුරියන් හා මිතුරන් ය. මැදහත් අය යනු තමා සමඟ මිතුරු නොවන
සතුරුත් නොවන බාහිර පිරිසයි. තමාට අහිතවත් පිරිස නොමිතුරන් ය.
මෛත්‍රී සහගත සිතිවිලි සිත තුළට කිඳා බැස ගත් විට සියල්ලන්ට ම එකවර මෙත් වැඩීම කළ
හැකි ය. භාවනාව සඳහා නිහඬ නිසංසල බාහිර කරදර නැති විවේකී පරිසරයක් ඉතා හොඳ ය. රුක්
මුල්, වන සෙනසුන්, ගංගා අසබඩ විවේකී ස්ථාන ද සුදුසු ය. මෛත්‍රී භාවනාවට ඕනෑම
ස්ථානයක් සුදුසු ය. බස්රියේ, දුම්රියේ දී ද මෙත් සිත වැඩිය හැකි ය. රැකියා ස්ථානයේ
දී ද එය පහසු ය. ගුවන් යානයක දී හෝ නිදිමත එනතෙක් ඇඳේ වැතිර සිටින විටදී ද මෙත්
සිත වැඩිය හැකි ය.
අවංක සිතින් මෙත් වැඩීම අපගේ කායික හා මානසික සුවයට හේතුවකි. මෛත්‍රීය වැඩීමෙන්
ද්වේශය නැති වීමට පටන් ගනී. මිනිසා සසරට බැඳ තබා ගන්නා ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල්
තුනෙන් එකකි ද්වේශය.
එය සත්වයා අමානුෂික දරුණු ක්‍රියාවලට පොළඹවයි. තරහව, වෛරය, ක්‍රෝධය යනු ද මේ අකුසල
මූලය ම ය. මෙත් වැඩීමෙන් මෙබඳු දරුණු සිතිවිලි මර්දනය වේ. එයින් සමාජ සංවර්ධනයක් ද
ඇති වේ.
බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සිත දියුණු කරන්නාට ලැබෙන ආනිසංස එකොළහක් පෙන්වා දී ඇත.
සුව සේ නින්ද යාම, සුව සේ අවදි වීම, නරක සිහින නොපෙනීම, මිනිසුන්ට පි‍්‍රය වීම,
අමනුෂ්‍ය ගැහැටවලින් මිදීම, දේව ආරක්ෂාව ලැබීම, වස - විෂ- ගිනි - ආයුධවලින් විපත්
නොවීම, ඉක්මනින් සිත එකඟවීම, මුහුණ ප්‍රසන්න වීම, හොඳ සිහියෙන් මරණයට පත්වීම,
මරණින් පසු බඹලොව ඉපදීම.
මෛත්‍රී භාවනාව, ජාතියකට, ආගමකට, ගෝත්‍රයකට අයත් වූවක් නොවේ. ලොව තුළ වසන සෑම ජන
වර්ගයකට ම, සෑම ආගමිකයකුට ම කළ හැකි භාවනාවකි. මෙලොව දී මෙන්ම පරලොව දී ආනිසංස
ලැබිය හැකි උතුම් භාවනාවකි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. |