ඇසළ අමාවක පෝ දා 2023-08-15
ප්‍රශ්නය තමන්ගේ වන තුරු ...
මීට දශක තුන හතරකට පෙර ගමත් නගරයත් අතර වෙනස අපි ඇසින් දුටුවෙමු. ගැමි දිවියේ
අව්‍යාජ බව, සුන්දරත්වය අත්වින්දෙමු. ආගම දහමට අනුව ජීවත් වූ ඔවුන්ගේ පැවතුම් සරල
වූ ආකාරය අපි ඇසින් දුටුවෙමු. ගැමියාගේ සුන්දරත්වය, අව්‍යාජබව අත්වින්ඳෙමු.
සැබැවින් ම ගමත් පන්සලත්, වැවත් - දාගැබත් යන උදාරතර සංකල්පය එවකට ද සුරැකුණි.
එකල ගැමියෝ ගම හැරදා නගරයට යන්නට වරක් නොව දෙතුන්වරක් ම පැකිළුණහ. ඒ, නගරයේ සංකර
බවට බියෙනි.
එකල පාසල් වියේ පසුවූ අපි පාසලට මෙන්ම දහම් පාසලට ද මුල් තැන දුන්නෙමු. සෙනසුරාදා
උදා වූ මොහොතේ සිට අපි ඉරිදා දහම් පාසලට යන්නට සූදානම් වුණෙමු. වැඩිහිටියකු සමඟ
වැවට බැස නෙළුම් මල් නෙළා ගතිමු. පසුදාට අපේ දහම් පාසලේ බුදු කුටිය, බෝධීන් වහන්සේ
අභියස සුගන්ධවත් වූයේ ඒ පුෂ්පයන්ගෙන් පමණක් නොවේ. දහම් පාසල් දරුවන්ගේ ගුණ සුවඳත්
මුසු වීමෙනි.
ඒ ගුණ සුවඳ ඇති කළෝ පන්සලේ වැඩ සිටි හාමුදුරුවන් වහන්සේ ය. නිතර, හොඳ නරක කියා දුන්
උන්වහන්සේ අපට යහපත් ජීවිතයකට නොවරදින මඟ පෙන්වූහ. ළමා විය තුළ, තුරුණුවියට පමණක්
නොව වැඩිහිටි වියට ද ශක්තිමත් පදනමක් නිර්මාණය කර දුන්හ. උන්වහන්සේ මුලින්ම
ඉගැන්වූයේ එකමුතුකමයි. වැඩිහිටියන්ට ගරු කරන හැටි, කීකරුව හැදෙන හැටි, අසරණයකුට
පිහිට වෙන සැටි උන්වහන්සේ අපට පියවරෙන් පියවර ඉගැන්වූයේ ජීවත්වන තුරු ඒ ගුණ නොමැකෙන
ලෙසට ය. එදා වැඩුණ ඒ පරම්පරාව තුළ අදට ද ඒ ගුණදම් ඉතිරිව තිබේ. එහෙත් වත්මන් ළමා
පරපුර තුළ, යෞවන හා තරුණ වයසේ පසුවන්නන් තුළ ඒ ගුණ ධර්ම ටිකෙන් ටික ගිලිහී යන අයුරු
ය සුලබව දකින්නට තිබෙන්නේ. අද ගම ද සංකර සිරිතෙන් විරිතෙන් ඔද්දල් වෙමින් තිබේ. කටේ
කිරි සුවඳ යන්නටත් පෙර අපේ ඇතැම් දරුවන් මත් ද්‍රව්‍යයන්ට ගොදුරුව විනාශ වෙමින්
සිටියි. ඒ තුළ වන අවිනීත පුරුදු වර්තමානයට පමණක් නොව අනාගතයට ද ඉතාමත් අනතුරුදායක
ය.
මීට දින කිහිපයකට පෙර එක් ගමක තරුණයෙක් මිය ගියේ ය. ඒ අධික වේගයෙන් යතුරු පැදිය
ධාවනය කිරීමෙන් වූ අනතුරක් නිසා ය. මළ ගෙදරට ආ ඔහුගේ මිතුරන් පිරිසක් අවසන් ගෞරව
දක්වන්නට සිතුවේ අමුතුම විදියකට ය. ඒ යතුරුපැදි පෙරහරකින් සංදර්ශන පාමිනි. මේ දැක,
සිත් වේදනා වූ වැඩිහිටියෙක් ඔවුන්ට අවවාද කළේ එවැනි අනතුරුදායක දේ නොකරන ලෙසට ය.
ආවේගශීලී වූ ඒ තරුණයන් පිළිතුරු දුන්නේ ඔහුට පහර දීමෙනි. වටේ පිටේ මිනිසුන් එක්ව
බේරා නොගන්නට ඒ වැඩිහිටියාට ද ජීවිතය අහිමි වන්නට පවා ඉඩ තිබුණි. මේ අපේ සමහර
තරුණයන්ට උදාවී ඇති කාලයේ අරුමයයි.
යහතින් ජීවත් වන්නට අපිට සමාජයක් ඉතිරි විය යුතු ය. අනුන්ගේ පරිහානිය, විපත, කරදරය
දැන් තමන්ගේ සේ සලකන්නට කාලය පැමිණ ඇතැයි සිතේ. තමන්ගේ දරුවෙක් විපතේ වැටෙනවා දැකිය
නොහැකි මව්පියන් කෙසේ හෝ ඔහු බේරා ගන්නට වෙර දරයි. දැන් සමස්ත සමාජය ම එක් වී මුළු
රටේම ළමයින්, තරුණ තරුණියන් රැක ගන්නට විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුව තිබේ.
ප්‍රශ්නය අනුන්ගේ යැයි සිතා නිහඬ වන තරමට එය තමන්ගේ වන කාලය ද ඉක්මනින් උදාවේ. සුළු
පිරිසකගේ වුව අයහපත් පල සියල්ලන්ට පොදුවේ භුක්ති විඳින්නට වන බැවිනි.
එහෙයින් මව්පිය ගුරුවරුන්, අපේ ගරුතර ස්වාමීන් වහන්සේ තව තවත් ඒ වෙනුවෙන් කැප වනවා
නම් අපට හෙට දවසේ සැනසීමෙන් ජීවත් වන්නට සමාජයක් ඉතිරි වනු ඇත. |