[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

රට දැය සමය පුබුදුවන බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයෙහි අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිව යන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙබඳු උත්සවයක් පැවති බවට බොහෝ සාධක දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ අප රටට ද බලපාන ලද ආකාරය ප්‍රකට කරුණකි. අනුරාධපුර යුගයේ දී සාමාන්‍ය සැණකෙලියක ස්වරූපයෙන් ඇසළ සමය පැවති බවට තොරතුරු අසන්නට ලැබේ. පසු කාලීනව බුදු දහමෙහි බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගෙන ඇති අයුරු ප්‍රකට ය. ඒ අනුව ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවයක් ලෙස සම්පුර්ණ ආගමික ස්වරූපයකින් ම මෙය සිදුකොට ඇත. කාලයාගේ ඇවෑමෙන් තත්කාලීන රජවරුන්ගේ මැදිහත්වීම නිසා දෙවියන් උදෙසා කෙරෙන උපහාර පුජාවක් වශයෙන් දේවාල පෙරහර මෙයට සම්බන්ධ වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ නමුත් පැවති හිංසා සහගත ස්වරූපය හා විනෝදාත්මක ස්වරූපය මුළුමනින් ම ඉවත්ව බුදු දහමෙහි බලපෑම මත ඇසළ උත්සවය, ඇසළ පෙරහර බවට පත්වන්නට ඇතැයි සිතිය හැකි ය. ශී‍්‍ර ලාංකික ජනතාව මෙයින් අවිහිංසක වින්දනයක් හා ආගමික රසාස්වාදයක් ලබා ගන්නා ලද්දේ මතු නොව වසර පුරා විවිධ කටයුතුවලින් ඔද්දල් වුණු සිත්සතන් පී‍්‍රනණය තුළින් ඇසළ උත්සවය බෞද්ධ ජන ජීවිතයට මහත් අස්වැසිල්ලක් වූ බව පෙනේ. දුරාතීතයේ සිට ශී‍්‍ර ලංකාවේ පවත්වා ගෙන එනු ලබන ඇසළ උත්සව, ඇසළ පෙරහර රාශියක් පිළිබඳ ප්‍රකට ය. මහනුවර, දෙවිනුවර, කතරගම හා රත්නපුර යනාදී ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කොටගෙන ඇසළ උත්සව පැවැත්වෙන අතර බෙල්ලන්විල ද එහි ප්‍රධාන ස්ථානක් නියෝජනය කරයි. එමෙන්ම වෙනත් විවිධ පූජනීය ස්ථානවල ද විවිධ තරාතිරම්වලින් යුතුව ආරම්භ කොට පවත්වා ගෙන යනු ලබන ඇසළ පෙරහර රාශියක් ඇති බව ද සඳහන් කළ යුතු ය. බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය ඇරඹී මේ වන විට සති දෙකක් ඉක්මගොස් ඇත.එහි ආරම්භය වූ ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාවෙන් පසු පසුගිය අගෝස්තු 6 වැනි දින සිට අගෝස්තු 12 වැනි දින දක්වා සති පිරිත් දේශනය පවත්වන ලදී. අගෝස්තු 13 මල් පෙරහර පවත්වන ලද අතර පාවාඩ පෙරහර අගෝස්තු 17 දින පැවැත්වෙන අතර 18 වැනි දින පැවැත්වෙනුයේ රන් සිවි පෙරහරයි. 19 වැනි දින පවත්වනු ලබන්නේ අවසන් රන්දෝළි මහා පෙරහරයි. 20 වැනි දින දහවල් පෙරහරින් පසු දිය කැපීමේ චාරිත්‍රය ද, එදිනම පස්වරුවෙහි පැවැත්වෙන ගරා යක් නැටුමෙන් හා දේවදානයෙන් පසු මෙවර ද බෙල්ලන්විල ඇසළ මහා පෙරහර රටට හා දැයට ආශිර්වාද කරමින් නිමාවට පත් කෙරෙනු ඇත.


ඇසළ අමාවක

අගෝස්තු 15 අඟහරුවාදා අ.භා. 12.45 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.10 න් ගෙවේ. 15 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]