[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පහන් සිතක කවි

පින්බර ඇසළ මාසය

මහාමායා මව්කුස
බෝසතුන් පිළිසිඳගත්
ඒ පින්බර මාසය
ඇසළ නම් විය........

අනිත්‍ය වූ ඒ සියල්ල
හැර දමා බෝසතුන්
නික්මුණු ඒ මාසය
ඇසළ නම් විය......

ලොවක් නිවුණු
ඒ මංගල දම් දෙසුම
පින්බර ඇසළ මාසයේ
දෙසීය.....

කන්ද උඩරට
මහත් හරසර
පෙරහර මංගල්‍යය
පින්බර ඇසළ මස
වීදි පුරා ගමන් කරයි.....


උපමා නොමැත

මුළු ලොව සතුන් වෙත මෙත් සිත පෑ සේක
ඒ සැම වෙතට ධර්මය දන් දුන් සේක
දිළිඳුන් ධනවතුන් මැන නොබැලුව සේක
කුඹුරක බීජ ලෙස දම් වැපිරුව සේක

ගණනය කළ නොහැක සතහට පිහිට වුණා
නව ලොවුතුරා ශ්‍රී සදහම් රසය වුණා
උපමා නොමැත උත්තම ගුණ ගැන වැණුනා
නොමැකෙන ලෙසින් බුදු මහිමය ඇත දිලෙනා


නපුරු සිතිවිලි නැඟෙන විට දී

හිතකර නොවන සිතිවිලි උපදින කලට
මතු කර ගනිමු කුසලය ප්‍රබලව හිතට
යටකර නපුර යහදෙය මතුකර උඩට
සරිකර රැඳෙමු ලද උස් මනසේ වගට

මතුවෙන සිතිවිල්ලෙ ආදීනව දකිමු
සතුවෙන විපාකයෙ තරම ද ගෙන බලමු
විඳවන කලට දුක දැඩිවෙන හැටි හිතමු
එමගින් නරක දෑ දුරැලීමට යෙදෙමු

සිදුවුන නරක දෙය නිතරම නොවෙමු කතා
එමඟින් අකුසලය පෝෂණ වෙතිය ඉතා
“මතුදින එවැනි දෙය නොකරමි” දැඩිව සිතා
පහදින තීරණය ගමු දිවි සුවය පතා

එනවිට නරක සිතිවිල්ලක් හිත තුළට
“ඇයි මට මෙහෙම වනුයේ” යැයි ගමු මනට
මතුකොට ප්‍රඥාව පෙරදැරි කර හොඳට
ඉවතට ඇදෙමු ඉන් ජය ගත හැක ඔබට


පින් පිරුණූ පෝ දාක

ඇසළ පෝයදාවක මහමායා බිසවුන්
සැතපෙන කල දුටු සිහිනය මෙලෙසින්
සුදු නෙළුමක් ගෙන සිය සොඬින්
කුසට ඇතුළු වූවා දකුණු ඇලයෙන්

සරණපාවා ගෙන කුමරිය යශෝධරා
විඳිනා කල රජ සැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිති ද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා

සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සය වසරක් එක්ව සිටි මිතුරන් සිහිවී
ඉසිපතනේ දී පස්වග තවුසන් හමුවී
ඇසළ පෝය දා දෙසුවා දම්සක් මුල්වී

දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන්
කොණ්ඩඤ්ඤය පළමුව වූවා සෝවාන්
ගෞතම මුනිඳුගෙ මංගල දම් දෙසුමෙන්
ඇසළ පෝය දා සැනසුවේ ලෝ සතුන්

සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහ සඟ රුවන සමාදන් වන්නේ
ඇසළ පෝය දා පළමුව වෙන්නේ


රූපය වෙනස්

කැඩපත නැහැ වෙනස් වුණේ
රූපය දකිමි කැඩපත දෙස හිඳිමි බලා
“මම” යැයි සිතමි එය ඉන්නේ ම දෙස බලා
දුටුවත් එය එසේ සැමදා දිවිය පුරා

බැහැ එය දකින්නට නැවතත් සසර පුරා
ළමයකු ලෙස දුටුව රූපය මනසෙ ඇඳේ
තරුණකු ලෙසින් දුටු රූපය සිතේ බැඳේ
වියපත් වී පෙනෙන රූපය නිතර පෙනේ
රූපය වෙනස් කැඩපත නැහැ වෙනස් වුණේ


අපේ නා සමිඳු

මෙත් සිතිවිලිවලින් ගුණ දම් පුරා ගෙන
සැම සතහටම කරුණාබර දයා වෙන
ධර්මය නිතර හදවත තුළ රුවා ගෙන
සසුනේ පැවිදි උතුමෙක් රටට ම වටින

බණ භාවනාවල යෙදෙමින් නිතර
වත් පිළිවෙත් කළේ දහමට ළැදිව නිතර
ධර්මය පිණිස රට රටවල වඩිනා අතර
පිනදම් කළේ යන්නට සසරින් එතර

නැති බැරි අය සොයා පිළිසරණක් වෙමිනේ
නිවසක් නැති අයට නිවහන සාදා දෙමිනේ
අහරක් නැති කුසට අහරක් ලැබ දෙමිනේ
කුසගිනි නිව්වේ වෙසතුරු නිරිඳුන් ලෙසිනේ

සැමට සිරිසෙත ලබා දීමෙන් සසුන එකලු කළේ සමිඳු
ලොවට වැඩ ඇති උතුම් බෝසත් ගුණැති පින්බර වූ සමිඳු
පැතුම් බලයෙන් සසර දිනුමට පින් ලබන උතුමෙක් සමිදු
නිවන ලැබුමට පැතුම වේවා කහට රුප්පේ වජිර සමිඳු


හිත නිවන අසිරිය

නීල වර්ණ කඳු අතරින් නෙතට සුවය ගෙනෙන්නේ
නුවර වැවේ සිසිල් පවන ගතේ විඩා නිවන්නේ
සිරි දළදා සමිඳු පුදන තේවා හඬ ඇසෙන්නේ
සෙංකඩගල පුරවරයේ අසිරිය හිත නිවන්නේ


පාඩම්

ගස් දෙබලෙ සිරව ඇති
දිරාගිය උරග සැව පැරැණි
ජීවිතේ පිළිබඳ අගනා පාඩම්
නොපැකිලව ලොවට කියනා සෙයකි

ඇසළ අමාවක

අගෝස්තු 15 අඟහරුවාදා අ.භා. 12.45 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.10 න් ගෙවේ. 15 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]