අනුන්ගේ දියුණුව දැක කලබල වෙනවා ද?

අනුන්ගේ දියුණුව දැක කලබල වෙනවා ද?

තමන් සතු දේ ගැන සිතා සතුටට සෑහීමට පත් නොවෙන්නෝ බොහෝයි. කෙනෙක් නිතරම අනුන් සතු දේ ගැන හිතමින් ඊර්ෂ්‍යා කරයි. යම් පුද්ගලයකුගේ සිතේ තිබෙන ඊර්ෂ්‍යාව නිසා ඔහු සතු දේවත් හරියාකාරයෙන් භුක්ති විඳිය නොහැකි ය.

කොපමණ දියුණු වුණත් කොපමණ හොඳින් තමන්ගේ වැඩ කටයුතු කර ගත්තත් “වෙනත් අයෙක් තමන්ට වඩා දියුණුයි” යන චේතනාව නිසා සතුටක්, තෘප්තියක් නැතිව දුක් විඳිනවා.

අනුන් ගැන සිත සිතා ඒ අයට ඊර්ෂ්‍යා කරනවාට වඩා කළ යුත්තේ තමන් ගැන සිතා බලා තමන් සතු දේ ගැන සිතා බලා සතුටුවීමයි.

යම් පුද්ගලයකුගේ සිතෙහි පවතින හානිකර සිතිවිලි පිරික්සන විට මනාව පැහැදිලි වන කරුණක් නම් සිතේ සමතුලිතතාව හා ආධ්‍යාත්මික ශාන්තිය බිඳ දැමීමට තම තමාට හැර වෙනත් පිටස්තර කිසිවකුට හැකියාවක් හෝ ශක්තියක් නැති බවයි. සිතෙහි ගැටුම් හට ගන්නේ, තමන් තුළ ඇති සැනසීම බිඳී යන්නේ පුද්ගලයා තමන් තවත් පුද්ගලයකු සමඟ සසඳා ඇති කර ගන්නා සිතිවිලි හේතුකොට ගෙනයි. එනම් “ඔහු මට වඩා දියුණුයි. “මට නැති බොහෝ වත්කම් ඔහුට ඇත” යනාදි ඊර්ෂ්‍යා සහගත සිතිවිලි යි. ලෝකයේ පවතින බොහෝ භේදයන්ට මුල්වන ඊර්ෂ්‍යාව සිතෙහි තැන්පත් කර ගැනීමෙන් ලැබෙන වාසියක් නම් නැත.

ඊර්ෂ්‍යාව, කෝපය, ද්වේෂය යන හානිකර අකුසල සිතිවිලි සිතෙහි දියුණුවට බාධා පමුණුවන බව හොඳින් තේරුම් ගත යුතු ය. අප සිතන පතන කිසිවක් ඊර්ෂ්‍යාව තුළින් ළඟා කර ගත නොහැකි ය. ඊර්ෂ්‍යාවෙන් අපට හිමිවන්නේ අසහනය, පීඩාව, මානසික අසහනය ආදිය පමණි. යමෙක් ඊර්ෂ්‍යාවෙන් අන්ධ වූ මොහොතක, ද්වේෂය නමැති අඳුරු පටු මාවතක අතරමං විය හැකි ය. මෙන්න මේ නිසා උත්සාහවත් විය යුත්තේ කෙසේ හෝ මෙවන් හානිකර අකුසල සිතිවිලිවලින් ඈත්වීමටයි.

සිතක ඇතිවන අකුසල සිතිවිලි ගැන නිරතුරුවම අවධියෙන් සිටිය යුතුයි. එසේ සිට සිතෙහි අයහපත් සිතිවිලි හටගත් කල එම සිතිවිල්ල පහකර කුසල සිතිවිල්ලක් ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුයි.

සිතේ පවතින ඊර්ෂ්‍යා සිතිවිලිවල ආදීනව හඳුනාගෙන එම සිතිවිලි පලවා හැර කරුණා දයා ගුණ දියුණු කර ගත යුතුයි. යමෙක් දියුණුවට පත්වන විට අනෙකාට වන පාඩුව කුමක්ද? කිසිදු පාඩුවක් නැත. එසේ නම් කලබල විය යුත්තේ ඇයි? සිතක ඊර්ෂ්‍යාව උපදවා ගත යුත්තේ ඇයි? ආත්මාර්ථකාමී බව තුනී කොට, නිහතමානී බව ඇති කොටගෙන අන් අයගේ දියුණුව ගැන මුළු හදවතින්ම සතුටු විය හැකි වන ආකාරයෙන් මුදිතා ගුණය වැඩීම ය. ඒ වගේම දුකේ දී අනුකම්පාවත් අන් අයගේ සැපතෙහි දී මුදිතාවත් දැක්වීමට පුුරුදු පුහුණූ වීම ය. ප්‍රමෝදමත්, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ ආත්මාර්ථකාමී බව ජයගෙන, අන්‍යොන්‍ය සුහදතාව, සහයෝගය මෙන් ම දයාව වර්ධනය කර ගැනීමෙන් ය. මේ ආකාරයෙන් සිතිවිලි වැඩීම තමන්ගේ පමණක් නොව සමාජයේ සෙසු සියල්ලන්ගේ ම හිත සුව පිණිස පවතිනු ඇත.

යමෙකුගේ සතුට දැක තමන්ටත් සතුටට පත්වීමට හැකියාව ලබා දෙන මුදිතා ගුණය ප්‍රගුණ කළ යුතු යැයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඊර්ෂ්‍යාව සඳහා ඇති ප්‍රබල ප්‍රතිකර්මය නම් මුදිතාව වැඩීම ය.

හිතවත් අයකුගේ දියුණුව දැකීම අපහසු නැත. එහෙත්, අහිතවත් අයකුගේ දියුණුව දැකීම පහසු නැත. එවන් අවස්ථාවකදී අප අප ගැනම සිතා බැලිය යුතුය.

දියුණුවීමට ජීවිතය වඩාත් උසස් මට්ටමකට ගෙන යෑමට අප කැමති නැද්ද? අන්‍යයන් ද එසේම නොවේද? ඒ අයත් දියුණුූ වීමට, සතුටුවීමට කැමති වනවා නේද? එසේ නම් ඊර්ෂ්‍යා කළ යුත්තේ ඇයි? මේ ආකාරයෙන් සිතා බලන්න එසේ බලන විට අන් අය කෙරෙහි කරුණාබර ආකල්ප ඇති කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඒ වගේ ම සිත්හි ඇතිවන අසහනය, නොසතුට ක්‍රමයෙන් තුනී වී විනාශ මුඛයෙන් ඈත් වන්නේ ය.

ඒ වගේම හැකියාවන්, ධනය, බලය ආදී කිසිවක් ප්‍රදර්ශනය නොකරන්න. ඒ වගේම දියුණු වන විට, කරන කියන දේ සාර්ථක වන විට උඩඟු නොවිය යුතු ය. අතීතය, ඒ අතීතයේ ජීවත්වූ තත්ත්වය, වින්ද දුක්, ජීවිතයේ අසමත් වූ අවස්ථා, වැරදුණු තැන් ආදී ලෙසින් සිතා බැලිය යුතුයි.

මේ ආකාරයෙන් සිතනවිට අප තරම් දියුණු නොවූ, දියුණුවීමට වාසනාව නො ලැබූ අයගේ හැඟීම් අවබෝධ කර ගැනීම පහසු වෙනවා ඇති. ඒ වගේම ඒ අයගෙන් සිදුවිය හැකි අපහසුතා, කරදර ඉවසීමෙන් විඳ දරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලැබේවි.

යමෙක් ඊර්ෂ්‍යාව නිසා යම් යම් දේ සිදුකරන විට නුරුස්නා ගතියක් දක්වමින් එකට එක කරන්නට යෑමෙන් වැළකිය යුතුයි. එලෙසම අන් අය වාගේ ම අපත් අපේ කර්මයන්ගේ උරුමක්කාරයින් බව සිහියට ගත යුතුයි.

එවන් අවස්ථාවක් උදා වූ විට මෙසේ සිතිය හැකි ය.

යමෙක් සමඟ අමනාප වීමෙන් ඇති ඵලය මොකක්ද? කෝපය නිසා උපදින අකුසල කර්ම මඟින් දුක වැඩි වී පරිහානිය ඇතිවෙයි යනුවෙනි.

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]