අධි ඇසළ අව අටවක පෝ දා 2023-07-10
දරුවන් ගුණ නැණ දෙකෙන් ම පෝෂණය කරන්න
පුත්තා වත්ථු මනුස්සානං - මිනිසාගේ මහාර්ඝතම සම්පත දරුවන් බව බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළහ. ඒ අනුව ඒ සම්පත මව්පියන්ට පමණක් සීමා වූවක් නොවේ. ගමට, රටට පමණක්
නොව මුළු ලෝකයට ම දරුවන් සම්පතකි. ඒ වටිනාකම ආරක්ෂා කර ගැනීම ද සියලු දෙනාගේ ම
යුතුකමක්, වගකීමක් වන අතර යම් හෙයකින් රටක ළමා වියේ පසුවන දරු පරපුරට අනර්ථයක්,
අයහපතක් සිදු වෙනවා නම්, ඔවුන්ට නිසි ආදරයක්, රැකවරණයක්, අධ්‍යාපනයක්, නිසි මඟ
පෙන්වීමක් නොවන්නේ නම් ඒ නිසා උද්ගත වන සෑම අනර්ථයකට ම සියලු දෙනා පොදුවේ වගකිව
යුතු ය.
වර්ණ කඩදාසියෙන් හැඩ කළ සරුංගලය නුඹ ගැබ වර්ණවත් කරන්නේ ය. කාගෙත් මන බඳින්නේ ය. රූ
රටා මවමින් සරංගලය නිදහසේ පාව ගියත් ඒ, එය ගැටගසා ඇති නූලේ ප්‍රමාණයට ය. නූල ගිලිහී
ගිය සැණින් සරුංගලයට වටිනාකමක් ලැබෙන්නේ නැත. එය කොහේ හෝ තැනෙක, කටු අකුලක, විසල්
වෘක්ෂයක් මත හෝ මඬ ගොහොරුවකට කඩා වැටෙනු ඇත. එවිට එහි වටිනාකම දකින්නට හෝ
අලංකාරත්වය විඳින්නට කෙනෙක් නැත.
අපේ පුංචි දරුවන් ද එසේ ය. මවුපිය රැකවරණය අහිමි වූ කල ඔවුන් ද නූලෙන් ගිලිහුණු
සරංගලය සේ ඉබාගාතේ ගොස් කොහේ හෝ තැනෙක අතරමං විය හැකි ය. එවිට ඔවුන් නැවත ගොඩනැඟීම
අසීරු ය. එවැනි දරුවන් සමාජගත වන්නේ ජීවිතයේ තමන් විඳි අඩුපාඩු, සමාජයෙන් ලද
ගැරහුම්, අසාධාරණකම්, නොසලකා හැරීම් හමුවේ වන වෛරී සිතිවිල්ලකිනි. ඒ සිතිවිල්ල ම
දිනෙක ඒ දරුවා සොරෙක්, මංකොල්ලකරුවෙක්, වංචා කරුවෙක්, දූෂකයෙක් කරන්නට සමත් ය.
නැතහොත් සමාජය පිළිබඳ ද්වේෂ සහගතව ක්‍රියා කරමින්, සමාජයට ම පීඩාවක්, පිළිලයක් ලෙස
ජීවත්වීමට පුළුවන. එහි ආදීනව සමස්ත සමාජයට ම ය. අනෙක් පසින් ඒ දරුවාගේ මෙලොව ජීවිතය
අඳුරු වීම ය. මෙලොව අඳුරේ ගිලුණු කෙනකු පරලොව දී කෙසේ නම් ආලෝකයක් දකින්න ද?
අද බොහෝ මව්පියන් දරුවන් හදාවඩා ගන්නට අපමණ වෙහෙසෙති. මොන තරම් අපහසුතා තිබුණත්
හොඳම ආහාරයෙන් දරුවන් පෝෂණය කරන්නට සේ ම අනාගතයේ උසස් ජීවන තත්ත්වයක් ලබාදීමේ
රිසියෙන් හොඳම අධ්‍යාපනයක් ලබා දෙන්නට වෙහෙසෙති. තමන්ගේ සියලු අවශ්‍යතා කැප කරමින්
දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකරති. එවන් මව්පියවරු ලද දරුවන් සැබැවින් ම භාග්‍යවන්තයෝ ම
ය. දරුවන් ගැන මොනතරම් ලස්සන හීන දකිමින් ඔවුන් වෙනුවෙන් කැප වුණත් ඇස්පනාපිට ම ඒ
හීන බොඳවෙලා යනු දකින මව්පියන් ද මේ අතර නැතිවාම නොවේ. ඒ ගුණ අමතක කොට නැණ පමණක්
දීමට වෙර වීරිය ගැනීමේ ඇති විපාක ය.
එහෙයින් නැණ හා සමාගාමීව යහපත්කම් අයහපත්කම් ඉගැන්වීමට ද වෙහෙසිය යුතු ම ය. දුකේ
දී, අසරණකමක් දුටු තැන දී සංවේදී නොවන, තමන් ගැන පමණක් සිතන, අනුන් ගැන නොසිතන,
නෑදෑකම්, හිතවත්කම් නොහඳුනන දරුවන් මොන තරම් බුද්ධිමතුන් වුව ද ඔවුන්ගේ
ක්‍රියාකාරකම් සමාජයට අනර්ථකාරී විය හැකි ය. ඒ ගැන සිතන්නට මේ හොඳම කාලයයි. |