පහන් සිතක කවි

ඇසළ පෝ දා

පායා සුපුන් සඳ පුන් පෝ ඇසළ දින
නිලඹර පුරා පුර සඳරැස් විහිදු වන
බෝසත් කුමරු මව්කුස පිළිසිඳුණ දින
තුන් ලෝකෙට ම සෙත ගෙන දුන් ඇසළ පෝ දින

සතර පෙර නිමිති දැක කල කිරුණු සිත
ලැබුණා දැන ගන්න පුතු රාහුල උපත
නලඟන රැඟුම් දැක ගිහි ගෙයි ඇති සැපත
අතහැර මහබිනික්මන් කළෙ පෝ දින ඇසළ

බෝසත් කුමරු සම්බුදු බව ලබා ගෙන
පළමු දහම් දෙසුමට සිතුසේක මෙදින
පස්වග තවුස් සිටි බරණැස ඉසිපතන
දම්සක් දෙසුම් කළේ පුන් පෝ ඇසළ දින

****

යහ ගුණ වඩමු

අටවිසි බුදුගුණය නිතරම පවසන්න
ගෞතම බුදු ගුණය මතකයෙ රඳවන්න
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගුණ සමරන්න
නව අරහාදි ගුණ සිහිපත් කර ගන්න

අම්මගෙ තාත්තගෙ දුක සැප විමසන්න
වැඩිහිටි අයට ගරු බුහුමන් දක්වන්න
නැති බැරි අයට මිල මුදලින් සලකන්න
පවුලේ අය සමඟ සැනසීමෙන් ඉන්න

මව්පිය ගුරුවරුන්ගේ නම රැක ගන්න
හොඳ ගතිගුණවලින් හිත් පුරවා ගන්න
දෑ හැඟුමින් රට ජාතිය බබළන්න
අධිටන විය යුතුයි හොඳ දරුවන් වෙන්න

සිව් බඹ විහරණය නිති හුරු කරවන්න
ඉසි කෝ මාන සිතිවිලි දුරු කර ගන්න
මිය ගිය හිතවතුන් අමතක නොකරන්න
පිළිවෙත් පුරා දෙවියන්ටත් පින් දෙන්න

****

නිවන් දොර

නවසිය හැට අටේ සිට මේ දක්වා ම
රටට ම බුදු සරණ පත්තර බෙදුවා ම
අත්වන පින මෙතැකැයි මට බැහැ නොකියාම
ඔබ හට නිවන් දොර ඇරෙනව නොදැනීම

පුර පුන් පොහෝ දින අපි පන්සල් යනවා
සමිඳුන් වැඩමවා ගෙන බණ මඩුවට එනවා
අටසිල් සමාදන් වී මල් පුද දෙනවා
කවුරුත් භාවනාවට නිති සැරසෙනවා

පන්සල කුඩා වුව එහි වැඩ සිටිනා
ගරුතර සමිඳු අපහට ඔවදන් දෙනවා
දන්පැන් පුදන්නට ගම්මුන් පැමිණෙනවා
බුදු සරණයි කියා පත්තර පුද දෙනවා

****

අනුබුදු මිහිඳු හිමියනි

අනුබුදු පියා සහ පිරිවර මෙහි එව්ව
මොහඳුර නසා කෙලෙසුන් බව ගිනි නිව්ව
ලොව්තුරු දහම් බිඳුවෙන් සිසිලස පෙව්ව
බොදුවෙනි අදත් නමදිමු මිස්සක පව්ව

මුළු ලක් තලය කරමින් එක ආලෝක
පවසා දෙමින් තිර නොම බව හැම දේක
නැඟ එන පුන්සඳින් පොසොන් පෝ දාක
අනුබුදු මිහිඳු හිමි සිහි කරවන සේක

මිස්සක පව්ව වෙත සපැමිණි පිරිස එදා
සම්බුදු සසුන බැතියෙන් ලක්බිමට පුදා
යහපත් සමාජයකට මුල් කුලුන යොදා
සුදනන් කළහ අප දඩයම් යුගෙන් මුදා

****

මා දුටු ඇසළ සඳ

නිලඹර පුරා රැස් විහිදයි ඇසළ සඳ
සැම පන්සලකින් ම විහිදෙයි සිල් සුවඳ
දෙනු ඇත දෝංකාරය ඝන්ඨාර නද
බුදුගුණ ඇසේ මෙදියත පරිසරය මැද

අරලිය සමන් රෑ රැජිනිය වතු සුද්ද
සේපාලිකා කිනිහිරියා මල් ඉද්ද
මේවායින් පිරුණු ගස් කොපමණ ඇද්ද
දෙසවන වැකෙනවා සදහම් ගුණ සිසිල

****

සිරිපා නමදිමු

බුදුන් තුන් වරක් වැඩි මේ ලක්දිවට
සමන් දෙවිඳුගේ තෙද බල මහිමයට
පිනෙන් පිරුණු හැම දනගේ බැති පෙමට
නිවන් තුරා යමු සිරිපා නැමදුමට

****

එදා මිගදාය

මුදු මදනල හමා බරණැස් පුරවරට
සුදු බුදු රැස් විදා මිගදායට සොඳට
බුදු කරුණාව මෙත් ගුණ පතුරා සැමට
බුදු හිමි දම් දෙසයි පස්වග මහණුන්ට

ලෝ සත වෙතට සදහම් මල් වැසි වැටුණා
සුර බඹ නරන් හැම ඒ වැස්සට තෙමුණා
මෙත් මල් කළඹකට තෙරුවන් ගුණ අමුණා
බුදු බණ පදයකට නතුවී හිත දැමුණා

****

සමනල අසිරි

සමනල රෑන සමනල මුදුනට යද්දී
සමනල රොදින් හැම දස අත සිප ගද්දී
සමනල ගිර මතින් බුදු රැස් විහිදෙද්දී
සමනල අසිරි බලනෙමු හිරු නැඟ එද්දී

****

අම්මා

සිත් සනසන මුදු වදනකි අම්මා
නෙත් සනසන පින්බර දසුනකි අම්මා
විල් තෙරේ හිනැහෙන රත් පියුමයි අම්මා
දෙසවන පිනන බොදු ගීයයි අම්මා

ගිලන් වූ විටදි දිව රෑ වෙහෙසෙන අම්මා
තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය පතනා අම්මා
තනිවුන විටදි අප තනි නොකරන අම්මා
කිසි විට හැර නොයයි දරුවන් අපෙ අම්මා

****

දුක

මිනිසත් බවේ වුව ඉපදුම ජාති දුක
සවිමත් ලෙසේ නැත වයසට ජරා දුක
ලැබ ගත් සුවේ බොඳ වෙනවා ව්‍යාධි දුක
හැරයත් ගතේ වග අවසන මරණ දුක

අකැමැති ඇසුර අප්පිය සම්පයොග දුක
රිසි අය ඉවත විට පිය විප්පයොග දුක
කැමැතිව දෙයක එය නොලැබෙන විටද දුක
පංචුම උපාදානක්ඛන්ධය ම දුක

****

සිත පිනට

බුදුන් දම් සඟුන් සරණයි හැම සතට
සමන් දෙවිඳු හැම දෙවි පිහිටයි අපට
නිතින තුති පුදා අප ලද හැම දෙයට
නුවන් හැර යොමමු සිත හැම විට පිනට

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]