සැඳෑ සමයට අහිමි පිළිසරණ
කුඩා කාලයේ, තරුණ කාලයේ, මැදිවිය කාලයේ කෙසේ ගත කළත් අපි හැමෝම මුහුණ දෙන කාලයක්
තමයි ජීවිතයේ සැදෑ සමය. අපි මේ රූපය කෙසේ පවත්වාගෙන ගියත් ටික ටික වයසට යද්දී එය
දිරා යනවා.
මෙලෙස වයසට ගොස් ජීවිතයේ සැඳෑ සමයට එද්දී අපගේ ජීවිතයට රැකවරණයක් තිබුණේ නැති නම්
ජීවිතයට ඒක අනතුරක්. තමාගේ ශරීරයේ ශක්තියක් තිබෙන කාලයේ, වැඩපල කඩිසරව කරන්න
පුළුවන් කාලයේ මවුපියෝ දරුවන් මත්තේම කටයුතු කරනවා. යුතුකම් පමණක් ම කරනවා. බණක්
දහමක් අසන්නේවත්, පිනක් දහමක් කරන්නේවත් නැහැ. වැඩ වැඩ වැඩ කියමින් ඒ සියල්ල අතපසු
කරනවා. නමුත් තමන් වයසට ගියපසු ඔවුන්ට ඉතිරි වෙන්නේ, තමාට සිහි කරන්න තිබෙන්නේ
පසුතැවීමට යමක් පමණක් නම් ඒ ජීවිතවලට පිහිට පිළිසරණ කුමක් ද?
වයසට යද්දී බොහෝ මවුපියන් පසුතැවෙනවා. හරියට පසුතැවීම මේ වගේ දෙයක්. සවස් කාලයේ
නිවස පිළිකන්නේ පුටුවක කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. සෙවනැල්ලෙන් ඔහු වසාගෙන යනවා. ඒ
ලෙස තමයි ළමා කාලයේ, තරුණ කාලයේ, වැඩිහිටි කාලයේ තමන් කළ දේ, කී දේ, සිතූ දේ තමන්
තනිවූ අවස්ථාවේ දී සෙවණැල්ල විසින් වසා ගන්නවා වගේ තමන් වසා ගන්නවා. මවුපියෝ දරුවන්
හදා වඩා යුතුකම් ඉටුකරමින් බොහෝ කැපකිරීම් කරමින් කටයුතු කරනවා. ඔවුන්ගේ මුළු
ජීවිතය ම දුකක්. ඒ දුකේ කෙළවරක් නැහැ. තමන්ට ශක්තිය තිබෙන කාලයේ ඔවුන් සිතනවා දැන්
ම බණ අහන්න ඕන නැහැ. දරුවෝ ලොකුමහත් වුණාම ඒ දේ කර ගන්න පුළුවන් කියා. නමුත් හොඳට ම
වයසට ගිහින් තනිවූ විට අම්මාට, තාත්තාට සිහි කිරීමට දෙයක් නැහැ.
ඕනෑම නිවසක බොහේ දුකක් විඳින්නේ ඒ නිවසේ අම්මා යි. ඇය බොහෝ දුකක් වින්ඳත් ඒ සෑම
දුකක් ම ඇය දරුවන් වෙනුවෙන් අමතක කරනවා. හරි පුදුමයි ඇය ස්වාමියා, දරුවන් වෙනුවෙන්
විඳින දුක් කන්දරාව, ඒ අම්මා දස මාසයක් දරුවකු කුස හොවාගෙන අප්‍රමාණ දුකක් විඳිනවා.
ඒ දුකේ ස්වභාවය තවත් අම්මා කෙනෙක් පමණයි දන්නේ. දරුවා කුසේ සිටින අවස්ථාවේ දී අම්මා
කැමැති දෙයක් කන්නේ නැහැ. කැමැති දෙයක් බොන්නේ නැහැ. රස්නෙන්, සීතලෙන් ඇය පරිස්සම්
වෙනවා. මලක් ආරක්ෂා කරනවා වගේ තමන්ගේ කුසේ දරාගෙන ඉඳලා දරුවා බිහි කරන්නේ. ඒ දරු
සෙනෙහසට අම්මාගේ ඇඟේ තිබෙන රතු ලේ ඒ ක්ෂණයෙන් සුදු කිරි බවට පත්වෙනවා.
එදා සිට අම්මාට නින්දක් නැහැ. සුව සේ වාසය කිරීමක් නැහැ. දරුවා ටික ටික ලොකු මහත්
කර ගන්නවා. දරුවා කුඩා අවදියේ බත් කටක් කවා ගන්න අම්මා අප්‍රමාණ දුකක් පීඩාවක්
විඳිනවා. ඒක හරියට යුද්දයක් වගේ. එහෙම දුක සේ දරුවා උස්මහත් කර උගන්වා නිවැරැදි
මාර්ගය පෙන්වා දී යහමඟට ගන්න ලොකු දුකක් විඳිනවා. දරුවා උස්මහත් කර රැකියා පවා සොයා
දෙනවා.
ලොකු වෙනකොට ඒ කිසිවක් දරුවන්ට මතක නැහැ. සමාජයට යන බොහෝ දරුවෝ තමන්ගේ අම්මා,
තාත්තා, අමතක කර දමනවා. වැඩිහිටි නිවාසයකට ගියොත් මවුපියන්ගේ විලාපයක් අපට ඇසෙන්නේ.
අනේ මෙහෙම දරුවෝ අපට කරයි කියලා අපි හිතුවේ නැහැ. දරුවෝ ඇයි මේ විදිහට අපට සලකන්නේ
කියමින් දුක සේ තමයි ඔවුන්ගේ සැදෑ සමය ගෙවී යන්නේ.
ජීවිතයේ සැඳෑ සමය ගෙවන සමහර මවුපියන්ට යන්න එන්න තැනක් නැහැ. ඔවුන්ගේ දරුවන් අම්මාට
තාත්තාට වෙනස්කම් කරනවා. ඒ දරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ එකම දහම් පදයක්වත්
අසන්නට ලැබී නැතුව ඇති. ඒ දරුවන්ට මවුපිය ගුණ ඇසුණා නම් ඔවුන් වයෝවෘද්ධ මවුපියන්ට
දිවි දෙවැනි කොට සලකනවා.
දරුවන්ගේ අකාරුණික වදන් නිසා ඇතැම් මවුපියෝ ජීවිතේ සැදෑ සමයේ දී මානසිකව දුක්
විඳිනවා. දරුවන්ට භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ දරු සෙනෙහස කියන්නේ මස්, ලේ,
නහර,ඇට,ඇටමිදුළු තුළට කිඳා බැස්ස එකක් කියලා. එහෙම හදා වඩා ගන්නා දරුවාට තමන්ගේ
අම්මා, තාත්තා එපා වුණත් අපි පුංචි කාලයේ අම්මා අපිව තනි කළේ නැහැ. අපි කොහේ ගියත්
අපේ අත අම්මා අත හැරියේ නැහැ. ඇය නොකා නොබී කන්න බොන්න දුන්නේ, නින්ද දන් දුන්නේ,
දරුවන්ට යි. එසේ දුක සේ හදාවඩාගෙන උස් මහත් කළාට පස්සේ දරුවන්ට තමන්ගේ මවුපියන්
අවලස්සන යි. එනිසා අපි එසේ නොකොට මහා බ්‍රහ්ම ගුණ ඇති අම්මා තාත්තාට කුඩා කල සිට
ගරු කරමු. සලකමු. කෘතගුණ දක්වමු. කාරුණික වෙමු.
- නයනා නිල්මිණී |