සිංහයකුව ඉපිද කළ පිනක අරුමය

සිංහයකුව ඉපිද කළ පිනක අරුමය

අපගේ බුදුරජාණන් වහන්සේට බොහෝ කලකට පෙර වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා වනාන්තරයක වැඩ සිටියා.

ඒ වනයේ ම විශාල සිංහ රාජයෙක් ජීවත් වුණා. ඒ සිංහයා වනයේ සැරිසරමින් සිටින දවසක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භාවනා කරමින් වැඩ සිටිනවා දුටුවා.

සිංහයා දුටුවා බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ස්වභාවය. මේ තිරිසන් සතාට සිතුණා මේ නම් සාමාන්‍ය කෙනෙක් නොවේ. වෙන මිනිසුන් මා දුටු ගමන් බයේ දුවනවා. නමුත් මේ තැනැත්තා කිසිදු බයක් චකිතයක් නැතිව ම ශාන්තව වැඩ සිටිනවා. මේ නම් උතුම් පුද්ගලයෙක් විය යුතුයැයි සිංහයාගේ හිතේ පැහැදීමක් ඇති වුණා. ඔහු සිංහ ලීලාවෙන් වට පිට බැලුවා. එවිට දුටුවා අසල තිබෙන පොකුණක්. පොකුණ පුරා සුන්දරව පියුම් පිපී තිබුණා. සිංහයා පොකුණට බැහැලා හොඳින් පිපුණ ලොකු පියුමක් කටින් කඩා ගත්තා.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ පියුම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ තැන්පත් කළා. මේ සිංහයාගේ සිත සතුටින් පිරිලා ගියා. බොහෝ සතුටක් ඇතිවුණා. ඒ වෙලාවේ දී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සිංහයාගේ සිත දෙස බැලුවා. උන්වහන්සේ දුටුවා බුදු අසිරියට සිංහයාගේ සිත සතුටින් තිබෙන්නේ කියලා. සිංහයාට සිතේ සතුට කියා ගන්න බැරි නිසා මහා හඬින් සිංහ නාදයක් කළා.

ඒ අවස්ථාවේ දී අපගේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ සිංහයා තමන් වහන්සේට මලක් පූජා කර ගත් නිසා ලැබූ පින කුමක් ද? එහි අනුසස් කුමක් ද කියා බැලුවා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ සිංහයා කර ගත්තේ මහත්ඵල මානිශංස මහා පිනක් බව. මහත්ඵල ලැබෙනවා කියන්නේ නිවන් දකින තුරු ඒ පින අවසන් නොවන බවයි. කවදා හරි මේ දුක් සසරින් එතෙර වී නිවන අවබෝධ කරනදාටයි ඒ පින අවසන් වන්නේ. ඒ වෙලාවේ ඒ මහා වනයට අරක්ගත් දෙවිවරු එතැනට රැස් වුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ දෙවියන්ට සිංහයා කළ පිනේ අනුසස් මෙසේ වදාළා.

“පින්වත් දෙවිවරුනි, තථාගතයන් වහන්සේට පියුමක් පූජා කළ මේ පින නිසා මේ සිංහයා දිව්‍ය ලෝක මිනිස් ලෝකවල සැප විඳිමින් සංසාරේ ගමන් කොට කල්ප ලක්ෂයකට පසුව ගෞතම නමින් ලොව පහළ වන බුදුරජාණන් වහන්සේගේ කාලයේ නැවත මිනිස් ලොව ඉපදෙනවා. ඒ ගෞතම බුදු සසුනේ ධර්මය අහලා පැහැදී “පිණ්ඩෝලභාරද්වාජ” නමින් පැවිදිව රහත්ඵලයට පත්වෙනවා. උන්වහන්සේ සසර ගමන මේ පින නිසා අවසන් කර ගන්නවා කියා වදාළා.

ඔබ දන්නවා අපේ මේ ගෞතම බුදු සසුනේ වැඩසිටි ඒ පිණ්ඩෝලභාරද්වාජ මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ මහා තේජස්. මහා යසස්, උන්වහන්සේ අග තනතුරු ලැබුවේත් සිංහනාද කරන භික්ෂූන් වහන්සේ අතර අග්‍රවෙමින්. භික්ෂූන් වහන්සේ නමක් සිංහනාද කරනවා කියන්නේ අභීත ප්‍රකාශ කරනවා කියන එකයි.

අපගේ ඒ උතුම් මහ රහතන් වහන්සේ දිනක් සමාධියට සම වැදී පෙර ජීවිත දකින නුවණින් තමන් වහන්සේ නිවන් අවබෝධයට කරගත් පින කුමක්ද කියා විමසා බැලුවා. එවිට දුටුවා මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ කළ ඒ උතුම් පින්කම. මේ කතාව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ග්‍රන්ථයේ අපදාන පාලි කියන කොටසේයි.

එනිසා අපි කල්පනා කරන්න ඕනෑ පින කියන දේ සැපයට කෙතරම් හේතු වෙනවා ද කියලා. පින තිබුණොත් තමයි සංසාරේ සැප ලැබෙන්නෙත්. සසරින් එතෙර වීමට පුලුවන්කම ලැබෙන්නෙත්. හැබැයි පින් කරන්නටත් පිනක් තිබෙන්න ඕනෑ. පින විසින් අපට විවිධ විවිධ සැප සම්පත් ලබා දෙනවා. ඒ සිංහරාජයා සතෙක් වුණත් කළ පින නිසා මේ දුක් සහිත සසරින් එතෙර වීමට වාසනාව ලැබුණා. එනිසා අපිත් ලැබූ මේ මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන ලැබෙන සෑම මොහොතකම සිත, කය, වචනය රැක ගෙන සුන්දර පින්කම් කරමින් මේ සංසාරයෙන් එතෙර වෙමු.

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]