නරක ඇබ්බැහිකම් ජීවිතය විනාශයට ගෙන යන හැටි

නරක ඇබ්බැහිකම් ජීවිතය විනාශයට ගෙන යන හැටි

බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ දුතිය අනාථ පිණ්ඩික සූත්‍රයේ දී සුරාසොඬෙකු නොවී ජීවත්වීම නිසා සිදුවන යහපත මැනවින් විග්‍රහ කර දී තිබෙනවා.

සුරාමේරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතස්ස එතං භයං වූපසන්තං හොති. දිට්ඨධම්මකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති. චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවේදියති.

පමාවට හේතුවන රහමෙර පානය කිරීමෙන් වැළකුණු අයකුට භය නැතිවෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. රහමෙර බිව් පුද්ගලයකුට මෙලොව භය, වෛරය ඇති වෙනවා. ඉන් වැළකුණු විට එවැනි ස්වභාවයකට මුහුණදීමට සිදුවන්නේ නැහැ.

මත්වතුර බිව් අයකුට පරලොව භය, වෛරය ඇති වෙනවා. ඉන් වැළකුණු විට එවැනි බයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම මත් පැනින් වැළකුණු අයට දුක්දොම්නස් ඇති වන්නේ නැහැ. මානසික තෘප්තිමත් බවක් ඇතිවෙනවා. ඒ වගේම ප්‍රමාදයට හේතුවන මත්වතුරින් වැළකුණු විට අපට මෙලොව භයත්, වෛරයත් නැතිව සතුටින් ජීවත්වෙන්න පුළුවන්.

මේ ආත්මයේ දී සතුටින් සොම්නසින් ජීවත් වන විට එතැන දිව්‍ය විමානයක් පහළ වෙනවා. එම තෘප්තිමත් ජීවිතය නිසාම අප හොඳ ස්ථානයක උප්පත්තිය ලබනවා. සුරාව නැතහොත් මත්වතුර භාවිතය පුද්ගල විනාශයට මෙන්ම සමාජ විනාශයටත් හේතුවෙනවා.

ජාතක පොතේ කුම්භ ජාතකයේ සුරාවේ ආරම්භය පිළිබඳ මෙසේ සඳහන් වෙනවා. එදවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රජකම් කරන කල්හි "සුරා" නමැති වැද්දකු සිටියේ ය.

මෙම වැද්දා දිනක් ගස් දෙබලක රැඳී තිබෙන ජලය පානය කරන සතුන් දුටුවේ ය. එම ජලය පානය කරන සතුන් මද වෙලාවක් යද්දී සිහි නැතිව මෙන් සිට යළිත් ඇවිද යන්නාහ. මෙම සිදුවීම දුටු වැද්දාට එම ගස් දෙබලේ රැඳී තිබෙන ජලය පානය කිරීමට සිතක් පහළ විය. වැද්දා එම ජලය පානය කළේ ය. මද වේලාවක් යද්දී තමා අමුතු ලෝකයකට ගෙනයන්නාක් මෙන් දැනුණි. ඒ අසල සිටි වරුණ නම් තාපසයකුටත් මෙම වැද්දා එම ජලය පානය කිරීමට දුන්නේ ය. තාපසයාටත් දැනුණේ තමන් අපූර්ව ලෝකයකට ගියාක් බඳු හැඟීමකි.

දැන් සුරා නමැති වැද්දාටත්, තාපසයාටත් සිතිවිලි පහළ වෙනවා. මේවා නගරයට ගොස් අලෙවි කළොත් හොඳයි කියලා. ඔවුන් භාජනවලට දමාගෙන ගිහින් මෙම ජලය නගරයේ දී විකුණුවා. හොඳ අලෙවියක් ලැබුණා. මේ පුවත බරණැස් රජතුමාටත් දැන ගැනීමට ලැබෙනවා. අන්තිමේ දී රජතුමාත් වැද්දා සොයා ගත් මත්වෙන ජලය පානය කළා. රජතුමාත් පත්වෙන්නේ වැද්දාත් තාපසයාත් පත් වූ තත්ත්වයටම යි. රජතුමාටත් දිගින් දිගටම මෙය පානය කිරීමේ අවශ්‍යතාව මතුවෙනවා. අන්තිමට වැද්දා සොයාගත් පානය (මත් වතුර) පෙරීමට රජතුමා අවසර ලබා දෙනවා.

වැද්දාත් පලතුරු පල් කරලා මෙම පානය නිෂ්පාදනය කළා. අවසානයේ රජතුමාත්, රටවැසියෝත් මත්පැනට ඇබ්බැහිවීමෙන් රටම විනාශ වූ බව බුදුරජාණන් වහන්සේ කුම්භ ජාතකයේ දී පෙන්වා දෙනවා.

අනේපිඬු සිටුතුමාටත් සුරාවට ලොල් වූ පුත්‍රයකු සිටියා. ඔහු බීමත්කම හා ස්ත්‍රී ලෝලිත්වය නිසා විනාශ වුණා. අතීතයේත් වර්තමානයේත් බීමත්කම නිසා විනාශ වුණු චරිත අනන්තවත් හමුවෙනවා. මනුෂ්මෘතියේ 11 වැනි අදියරේ මත්පැන් ගැන මෙහෙමයි සඳහන් වෙන්නේ.

යක්ෂරාක්ෂා විශාචාන්ත - මද්‍යං මාංසඞ සුරාවසමි

යක්ෂයාගේ ප්‍රේතයාගේ ආහාර කියන්නේ මත්වතුර, මස් මාංශ ආදිය බවයි. එසේ නම් අපි මත්වතුර කියලා බොන්නේ ප්‍රේතයන්ගේ, යක්ෂයන්ගේ බීමක්. ශෝකයට දුකට හේතුවන මත්වතුර බී ඇයි අපි අපේ ආත්ම ශක්තිය නැති කර ගන්නේ. අපේ වැදගත් ජීවිතය විනාශ කර ගන්නේ. අද ඇතිවෙලා තියෙන භයානකම තත්ත්වය තමයි තරුණ තරුණියන් මත් වතුරට ඇබ්බැහිවීම.

මත්වතුරට පමණක් නොවෙයි, මේ අය දැන් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා. මේවා රටක සුන්දරත්වය විනාශ කරන දේ. සුරාව කියන්නේ කොයි අතින් බැලුවත් හොඳ නැති දෙයක්. සමහරු කියන්නේ ඉඳහිට බොනවා කියලා. එහෙම ටික දිනක් බොනකොට එය පුරුද්දකට යනවා. ඒ නිසා සුරා ධූර්ත නොවී ඉන් වැළකී සිටීමයි වඩා යහපත් ම දේ.

සමහරවිට පුරුද්දක් වශයෙන් මත්වතුර නොබොන කෙනෙක් වුවත් සමාජයේ පිරිසක් සමඟ එක් වූ විට මත්වතුර බොන තත්ත්වයක් තියෙනවා. සමහරවිට ඔහු එම අවස්ථාවේ දී මත්වතුර බොන්නේ තමන් ඔවුන් අතරින් කොන් වේ යැයි සිතමින්. නමුත් මෙවැනි අවස්ථාවක දී තමයි ආත්ම ශක්තිය වැදගත් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ඝෘජු ප්‍රතිපත්ති කවර සමාජයක දී වුවත් රැක ගැනීමට මිනිසාට ශක්තියක් තිබිය යුතු බවයි. ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට මත්වතුර බොන තැනක දී වුවත් නොබී ඉන්න පුළුවන්. නමුත් සමාජගත ජීවිතයේ දී අපේ සමහර මිනිසුන් ඝෘජු ප්‍රතිපත්තියක් ඇති මිනිසුන්ට එම තත්ත්වයේ ඉන්න නොදෙන තත්ත්වයන් තියෙනවා. එවැනි අපාය සහාය මිත්‍රයන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.

බීමත්කම නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙනවා නම් එය කොතරම් පවක් ද? තමන්ගේ ජීවිතය විනාශ වෙනවා නම්, ඒකත් පවක්. මත්වතුර බීම පවක්. බුදුරජාණන් වහන්සේ ඉන් වැළකෙන්න කියලා දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා මත්වතුර බොන පුද්ගලයා නිරයට යනවා කියලා. නිරය කියන්නේ සැප නැති තැනක ජීවත් වීමයි. එය මෙලොව විය හැකියි. පරලොවත් විය හැකියි.

බොහොම පෞරුෂත්වයෙන් ඉන්න පුද්ගලයෙක් ඇතැම් විට මත්වතුර බොනවා. සමහර විට එහෙම සිටින පුද්ගලයා බීමත්කම වැඩි වී අන්තිමේ දී තමාගේ ආත්ම ගරුත්වය නැතිකර ගන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුරා සොඬෙකු වීම සමස්ත සමාජයට ම හානියක් ගෙන දෙන ස්වභාවයක් බවයි.

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]