උඩඟුකම පිරිහීමේ ඇරඹුමයි
මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පණ්ඩිතයන්ගෙන් වැඩිහිටියන්ගෙන් ආදී ලෙස විවිධ අයගෙන්
අපගේ ජීවිතයට අවවාද අනුශාසනා ලැබේ. ඒ අවවාද ගෞරවයෙන් පිළිගන්නා ස්වභාවය ‘සොවචස්සතා’
නම් වේ. එය මංගල කරුණකි.
අප දන්නා දෙයට වඩා සිය දහස් ගුණයෙන් නොදන්නා දේ වේ. ඒ නිසා ම අප අතර, නොවරදින
පුද්ගලයකු සොයා ගැනීම අපහසු ය. ඒ ඒ අවස්ථාවේ දී කළ යුතු වූ යම් දේ අමතක නො වන්නා වූ
කෙනෙක්ද නැත. ඒ වගේම වරද නැති කෙනෙක් ද නැත.
අප ජීවත්වන ලෝකයේ ස්වභාවය අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කර ය. ඇතැම් දේ සාර්ථක නොවීම
ව්‍යර්ථ වේ. එයින් නො නැවතී එමඟින් අනර්ථයන් ද ඇති වේ. ඒ ලෙසින් ම ඒ මොහොතේ සුබ ඵල
ගෙන දී අවසන මහත් දුක් ගෙන දෙන කටයුතු ද වේ. මෙලොව දී දුක් ඇති කර පරලොව මහත් වූ
සැපතට හේතුවන්නා වූ කටයුතු ද වේ. ඒ වගේම මෙලොව සැප ඇති කොට මරණින් මතු අපා දුකට
පමුණුවන කටයුතු ද වේ. මෙලොව පරලොව දෙකෙහිදී ම සැප පිණිස පවතින කටයුතු ද වේ. ඒ වගේම
මෙලොව – පරලොව වශයෙන් දුක් දෙන්නා වූ කටයුතු ද වේ.
තමාට පමණක් සැප පිණිස හේතු වී, අන්‍යයන්ට දුක් පිණිස හේතුවන කටයුතු ද ඇත.
අන්‍යයන්ගේ සැපයට හේතු වී තමාට දුක් පිණිස පවතින්නා වූ කටයුතු ද ඇත. තමාට මෙන්ම
අන්‍යයන්ට ද දුක් පිණිස මෙන් ම සැප පිණිස පවතින්නා වූ කටයුතු ද වේ.
ඉහත කී අයුරින් ඒ ඒ ක්‍රියාවන්ගෙන් ලැබෙන්නා වූ ඵලය කුමක් වේ දැයි සෑම කෙනකුට ම
දැනගත නොහැකි ය. ඒ නිසා ම කළ යුතු දේත් නො කළ යුතු දේ ත් අවබෝධ කර ගන්නට
අනුශාසකයෙක් සෑම පෘථග්ජන පුද්ගලයකුට ම අවශ්‍ය වේ.
තමාට වඩා දැනුම ඇති වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනා නොපිළිගෙන තමාට හොඳ යැයි සිතන
දෙයක් ම කරන්නා වූ, නුවණ මද පුද්ගලයා මෙලොවත්, පරලොවත් පිරිහීමට පත්වේ. ඒ නිසා
මෙලොව, පරලොව වශයෙන් සැප කැමැති සත්පුරුෂයන් විසින් උතුමන්ගේ අවවාද අනුශාසනා
ගෞරවයෙන් යුතුව පිළිගත යුතු ය. මේ ස්වභාවය මෙලොව, පරලොව සැපතට හේතුවන බැවින් උතුම්
මංගල කරුණක් ම වේ.
ඇතැමෙක් උතුමන්ගේ අවවාද, අනුශාසනා නො සලකති. තමා තමාට වැටහෙන ආකාරයෙන් ක්‍රියා
කරති. ඒ නිසාම මෙලොවින් ද පිරිහී මරණින් මතු අපායට ද යති. ඒ වගේ ම තව පුද්ගලයෙක්
තමා අන්‍යයන්ගෙන් ගුරු උපදේශ ලැබීමට නුසුදුසු යැයි සිතා අවවාද, අනුශාසනා ඇසීමට
කැමැති නොවෙති. යම් වූ ද පුද්ගලයෙක් අනුශාසනා, අවවාද කිරීමට සූදානම් වුව ද එයට
විරුද්ධ වෙති. එය ඒ පුද්ගලයන් තුළ පිහිටි මහත්ම අනුවණකමකි. ලොකුම මුලාවකි.
සියල්ල දන්නා වූ, කිසිම තැනක සිහි මුළාවීමක් නැත්තා වූ තථාගත බුදුරජාණන් වහන්සේ පවා
යම් කිසිවකු ගුරු තනතුරෙහි තබා ගරු බුහුමන් කරමින් විසිය යුතුය යැයි සිතා
ආචාර්යත්වයට සුදුසු වූවෙක් සෙවීම පිණිස තුන්ලොවම බලා වදාළ සේක. උන්වහන්සේට ගරු
බුහුමන් කළ යුත්තකු තබා තමන් වහන්සේ හා සම වූවකුවත් තුන්ලොවෙහි ම නො දැක “මා විසින්
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් දම් පුරා යම් ධර්මයක් අවබෝධ කර ගන්නා ලද්දේ ද
ඒ ධර්මය ම ගුරුකොට තබා ඒ ධර්මයට ම සත්කාර සම්මාන කරමින් ගරු කරමින් වෙසෙමි”යි
අධිෂ්ඨාන කර ගත් සේක.”
අපට ලැබිය යුතු අවවාද, අනුශාසනා ඇත්තේ තමාට වඩා උසස් අයගෙන් පමණක් ම නොවේ. අපට වඩා
දැනුමින් පහත් පන්තියේ යැයි සැලකෙන කෙනකුගෙන් ද ලැබිය යුතු බොහෝ අවවාද, අනුශාසනා
ඇත්තේ ය. “තමන්ගේ ඇසට තමන්ගේ ඇස නොපෙනෙන්නා සේ උගත් යැයි සිතන පුද්ගලයාට තමාගේ වරද
නොපෙනෙන අවස්ථා බොහෝ ඇත. ඒ උගතුන්ගේ අඩුපාඩු සමහර අවස්ථාවක දී උගත්කමින් අඩු අයට
පෙනේ.
මේ නිසා තමාට වඩා පහත් යැයි සිතන පුද්ගලයකු වුවත් යම් වූ ද අවවාදයක්, අනුශාසනයක්
කරන්නේ නම්, උගත්කමින් අඩු පුද්ගලයාගේ වචන යැයි පරිභව කොට ඉවත දැමීමට ඉක්මන් විය
යුතු නැත. සමහර අවස්ථාවක දී නූගතුන්ගෙන් උගතුන්ට ද, දරුවන්ගෙන් මවුපියන්ට ද,
ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුනට ද, වටිනා උපදේශයෝ ලැබෙත්.
මේ නිසාම කවර පුද්ගලයකුගෙන් නමුදු තමාට අවවාදයක්, අනුශාසනයක් ලැබෙන්නේ ද එය සලකා
බැලීම වටින්නේ ය. මහා පඬිරුවනට නොපෙනෙන යම් වූ ද දෙයක් උගත්කමින් අඩු අයකුට පෙනෙන්ට
පුළුවනි. මේ සමාජයේ යමෙක් තමාට පහත් යැයි සම්මත කෙනකු අවවාදයක්, අනුශාසනයක් දුන්
විටක “මෙයත් මට අවවාද දෙන්නට එනවා යැයි” කිපෙති. එය ඉතාම අනුවණ වූ ක්‍රියාවකි.
කුමන තරාතිරමක පුද්ගලයකු හෝ තමාට අවවාදයක්, අනුශාසනයක් දෙන්නේ නම් ඒ ගැන කෘතඥ විය
යුතු ය. නො කිපිය යුතු ය. ලැබෙන අවවාදය, අනුශාසනාව ගෞරවයෙන් පිළිගැන්ම
නුවණැත්තවුන්ගේ ධර්මයයි. “සත් හැවිරිදි සාමණේර නමකගේ අනුශාසනාව හිස් මුදුනින්
පිළිගත්, මේ බුද්ධ ශාසනයෙහි බුද්ධ ශ්‍රාවකයන්ගෙන් නුවණැතියන් අතරෙන් අග තනතුරු ලත්,
ධර්ම සේනාපති යන අර්ථාන්විත විශේෂ ගරු නාමයකින් ද සම්මාන ලද සැරියුත් මහ රහතන්
වහන්සේගේ චරිතය මෙහිලා හොඳම නිදසුනකි.
වර්තමානයේ ඇතැමෙක් යහපත් වූ අවවාද අනුශාසනා දෙන්නා වූ කල්‍යාණ මිත්‍රයන් සේවනයට නො
කැමති වෙති. කල්‍යාණවන්ත පුද්ගලයන්ගෙන් ඈත් වන්නට උත්සාහ කරති. එය මහත් වූ
පිරිහීමකි. තමාගේ ඇති වරද, අඩුපාඩුව නො සඟවා පෙන්වා දී අවවාද අනුශාසනා කරන
සත්පුරුෂයන් ම ඇසුරු කිරීම ද වටින්නේ ය.
- දීපා පෙරේරා |