බක් අමාවක 2023-04-19
ජීවිතයට පින් පුරමු
බුදුරදුන් කල සැවැත් නුවර එක් බමුණෙක් විසීය. කලෙක මහත් ඉසුරු තිබුණ ද කලෙකින් හේ
බොහෝ දිළිඳු විය. කෙතරම් දිළිඳු වුව ද තම පුතු රාධට ඉගැන්වීමට අමතක නොකළේ ය. සෑම
දෙයක් පිළිබඳව ම තරමක හෝ ඉගෙනීමක් ලබා දුන්නේ ය.
රාධ දරුවා ද කුඩා වියේ සිටම යහපත් චරිතයක් ඇත්තේ විය. කිසිවිටෙක අනුන්ගේ වැරැදි
නෙසෙව්වේ ය. ඉගෙනීම ලැබුවේ යැයි උඩඟු නොවුණි. අලස නොවුණි. වැඩිහිටියන්ට කීකරු ය.
රාධ තරුණ වියට එළඹෙත්ම මවුපියෝ මිය ගියහ. රාධ තවත් දිළිඳු විය. එහෙත් කිසි දිනෙක
වැරැදි මඟකින් ජිවිකාව ගෙනයාමට නොසිතුවේ ය. විහාරයට ගොස් භික්ෂූන් වහන්සේට ඇප
උපස්ථාන කරමින් එහි දැහැමිව ජිවිත් වෙමියි සිතා වෙහෙරට ගියේ ය.
යහපත් පැවතුම් ඇති රාධ වෙහෙර බිමෙහි කඩිසර විය. උදෙන්ම මලුපෙත් නැම ද පිරිසුදු
කරන්නේ ය. මල් නෙළා තබන්නේ ය. උණු පැන්, සිසිල් පැන් ගෙනැවිත් තබන්නේ ය. උදේ සවස
තෙරුවන් වන්දනා කළේ ය. තමන්ටත් පැවිදි වීමේ ආශාව ඇතත් ඒ අරමුණ ඉටු නොවුණි.
රාධ තරුණයාට රහත් බව ලැබීමට තරම් පින් ඇති බව බුදුරජාණන් වහන්සේ දුටුවහ. දිනක් රාධ
තරුණයා අමතා ‘ඔබ කුමක් කරන්නේ දැයි’ විමසූ සේක. භික්ෂූන් වහන්සේට වත් කරන බවත්,
පැවිදි වීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ
අමතා කවර හෝ දිනෙක රාධ තරුණයාගේ උපකාරයක් ලැබු කෙනෙක් වේ දැයි විමසුහ. එවිට
සැරියුත් මහ රහතන් වහන්සේ "භාග්‍යවතුන් වහන්ස එසේ ය. මා පිඬු පිණිස වැඩි දිනෙක මොහු
බත් හැන්දක් පිදුවේ යැයි පැවැසූහ.
එවිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඔහු සසර දුකින් මිදීමට කැමැත්තෙන් සිටින
බවත්, සම්බුදු සසුනෙහි පැවිදි කළ යුතු බවත් ය. සැරියුත් මහ රහතන් වහන්සේ ද ඒ රාධ
තරුණයාට බණ දහම් උගන්වා පැවිදි කළහ. ගුරු හිමිට කීකරුව වෙසෙමින්. ගුරු වදන් ම උතුම්
කොට සැලකූ රාධ තෙරුන් වහන්සේ නොබෝ දිනකින්ම රහත් බව ලැබූහ.
මේ කතා පුවත බෞද්ධයන්ගේ හස්ත සාර ග්‍රන්ථය වන ධම්ම පදයේ එන නිදාන කතාවකි. ගිහි
බෞද්ධයිනට ආදර්ශයට ගත හැකි කරුණු බොහොමයක් එහි අන්තර්ගත ය.
සියලු ලෝ සත දුකින් මුදවාලනු පිණිස අප මහ බෝසතාණන් වහන්සේ අපමණ කාලයක් සසර බොහෝ
දුක් වින්දහ. අවසන් ආත්ම බවයේ සිදුහත් මහ බෝසතාණන් ලෙස ඉපදීම, දසමරුන් පරදා උතුම්
සම්මා සම්බෝධියට පත්වීම, පන්සාළිස් වසක් පුරා අපමණ සතවෙත සුවාසු දහසක් ශ්‍රී
සද්ධර්මය බෙදා දී පරිනිර්වාණයට පත්වීම සිදු වූ පින්බර වෙසක් පුන් පෝ දිනය උදාවීමට
ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ කොටගත් බොදු දනන්ට මෙකල
වඩාත් සුවිශේෂී වන්නේ වචන මාත්‍රයෙත් බුදු ගුණ කීමට හෝ සිහි කිරීමට හෝ නොවේ.
සම්බුද්ධ දේශිතය ජීවන ප්‍රතිපදාව කර ගැනීමට ය. ඒ ආදර්ශ සම්බුද්ධ දේශනාව පුරාම
අන්තර්ගත ය. එහිදී ධම්මපදය බෞද්ධයාට බොහෝ සමීපය. පෙර කී රාධ තෙරුණුවන් ගේ චරිතයම
ජීවිතයට මොන තරම් ආදර්ශ ගෙන දෙනාවා ද?
මොන තරම් අග හිඟකම් තිබුණත් ඉගෙනීම අතපසු නොකිරීම, වරදට නොපෙළඹීම, ධම්මානු ධම්ම
පටිපන්න වීම, අලස නොවීම, උඩඟු නොවීම, වැඩිහිටියන්ට කීකරු වීම ජීවිතය බබළවන ආභරණයන්
ය. තමන් කළ පින් කවදා හෝ ජීවිතයට සැප ලබා දෙන ආකාරය මෙම කතා පුවතින් කියා දෙයි.
මෙවැනි කතා බෞද්ධ සාහිත්‍යයේ අපමණ වේ. මේ වෙසක් සමයේ එවැනි ජීවිතාදර්ශයන්ගෙන්
ජීවිතය පුරවාගෙන පින්කෙතක් වන්නට ය, අප අධිටන් කරගත යුතු වන්නේ. |