පරණ හණමිටිය ම කරට ගන්නවා ද?
බුද්ධ ධර්මය සත්ත්වයන් නිවන් දැක්වීම සඳහා පමණක් ම දේශිත ධර්මයක් නොවේ. බුදු දහම
අනුව මෙලොව පරලොව වශයෙන් අවස්ථා දෙකක් දැක්වේ. පරලොව සුව විඳීන්නේ මෙලොවදී කළ කුසල්
අනුව ය. එනිසා මෙලොව ජීවිතය ද යහපත් සේ හැඩගැස්වීම සඳහා අවශ්‍ය ඉගැන්වීම් ධර්ම
සාහිත්‍යයේ දැක්වෙයි.
අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය වඩාත් යහමඟට යොමු කරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.
සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර ආරම්භ වන්නේ නිදාන කථා වශයෙන් එකතුකොට ඇති සජීවි රසවත්
කතා පුවතකිනි. පාඨකයා හෝ ශ්‍රාවකයා සූත්‍රයෙහි ඇතුළත් වන ගැඹුරු ධර්ම කරුණු දෙසට
යොමු කරවීමට ඔහුගේ අවධානය සාර්ථක ලෙස රඳවා ගනු ලබන්නේ එම සාරවත් කථා පුවත් මඟිනි.
විටෙක එක් චරිතයක් අයහපත අගය කරන බව දැක්වෙතත් බොහෝ කථා අවසන් වන්නේ ඔහු යහපතෙහි
පිහිටීමෙන් හෝ ඔහු කරන ලද සාවද්‍ය ක්‍රියාවන්ට විපාක ලැබෙන බව දැක්වීමෙනි. එතරම්
ගැඹුරු ධර්මයක් වටහා ගත නොහැකි ගැමි ජනතාව පුණ්‍ය සංකල්පය දෙසට යොමු කරවීමෙන්
ඔවුන්ගේ දිවි පෙවෙත දිගු කලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කථා සාහිත්‍ය
විශිෂ්ට මෙහෙයක් ඉටුකර ඇති බව පිළිගත යුතු සත්‍යයකි.
දීඝනිකායේ පායාසි සූත්‍රයේ එන උපමා කථාවක් මුල්කොට නිර්මාණය වූ පිරුළක් ලෙස පරණ
හණමිටිය කතාව හඳුනාගත හැකි ය. පිරුළු වූ කලි මිනිසාගේ දුබලකම් හා පහත්කම් පිළිබිඹු
කර පෙන්වන කැටපතක් බඳු ය. පරණ හණ මිටිය කර තියා ගත්තා වගෙයි කියා හෝ එයා
හණමිටිකාරයෙකි’ යි කියා හෝ සමාජය තුළ ව්‍යවහාර වන පිරුළ මේ ආකාරයෙන් විස්තර කළ
හැකි ය.
එක්තරා ගමක සිටි මිත්‍රයෝ දෙදෙනෙක් වස්තු සොයාගෙන එන අදහසින් අසල ජනපදයකට ගියෝ ය.
එහිදී වැහැරී ඉවතලා තිබූ හණ තොගයක් ඔවුන් දෙදෙනාට හමුවිය. ඉන් ප්‍රයෝජනයක් ගන්නා
අදහසින් ක්‍රියාත්මක වූ මිත්‍රයන් දෙදෙනා නූල් තනා පිළි සාදාගැනීම සඳහා හණ මිටි
දෙකක් බැඳගෙන එම ස්ථානයෙන් ඉවත්වූහ. ටික දුරක් මෙසේ ගමන් කරන දෙදෙනාට තවත් තැනක හණ
නූල් රාශියක් ඉවත දමා තිබෙනවා දැක හණ වැහැරිලිවලට වඩා හණ නූල් වටිනා බැවින් වැහැරී
හණ මිටිය ඉවත දමා නූල් මිටියක් බැඳගෙන යමුයි එක් මිත්‍රයෙක් යෝජනාවක් කළේ ය.
එයට පිළිතුරු දුන් අනෙක් මිත්‍රයා ප්‍රකාශ කරන්නට වූයේ “අනේ මිත්‍රය, මේ හණමිටිය
බොහෝ දුර සිටම හිස මත තබාගෙන ආවෙමි. එසේ ම එය මනා සේ මිටියට බඳනා ලද්දේ ද වේ.
එබැවින් එය ඉවතලිය නොහැකියි,” කීවේ ය. ඒ අවස්ථාවේ හණ මිටිය කරතබා පැමිණි පළමු
මිත්‍රයා පමණක් තමා ගෙනා වැහැරි හණමිටිය ඉවත දමා නූල් මිටියක් බඳගත් පසු ඔවුන්
දෙදෙනාම පිටත් වූහ. මෙසේ තව ටික දුරක් ගමන් කරන මිත්‍රයන් දෙදෙනාට ඉවත දමා තිබෙන හණ
පිළි ගොඩවල් තිබෙනු දක්නා ලදී. ඒ අවස්ථාවේ දී පළමු මිත්‍රයා පෙර පරිදිම හණ මිටිය
ඉවත දමා අලුතෙන් හමුවූ හණ පිළිමිටියක් බැඳගෙන යාමට යෝජනා කළත් අනෙක් මිත්‍රයා එම
අදහසට එකඟ වූයේ නැත. ඔහු බොහෝ දුරක සිට කර තබාගෙන ගෙනා හණ මිටයක් බැවින් එය ඉවතලිය
නොහැකි බව ප්‍රකාශ කළෙන් පළමු මිත්‍රයා එයින් මිටියක් බැඳගැනීමෙන් අනතුරුව දෙදෙනාම
එම ස්ථානයෙන් ද නික්මුණහ. මේ ආකාරයෙන් ඒ් ඒ ස්ථානයන්හි කොමු පිළි,කපු පුළුන්,කපු
නූල්, කපු පිළි, යකඩ, තඹ, ඊයම්, රිදී සහ රත්තරං ඉවත දමා තිබෙනු දැක මුල් මුල් ඒවා
අහක දමා ඊළඟ ඊළඟ ඒවා මිටි බැඳගෙන ගෙනා පළමු වැන්නා අන්තිමට රත්තරං බරක් ආපසු ගෙනාවේ
ය.
පළමුව හණ මිටිය බැඳගෙන හිස තබාගෙන පැමිණි දෙවැන්නා එය බොහෝ දුර සිට ගෙනා බැවිනුත්
පළමුවෙන් ම හොඳීන් බැඳගත් බැවිනුත්, එය ඉවතලීමට අකැමැති වී රත්තරං ආදිය දැක දැකත්
නොගත්තේ ය. මෙසේ එක් මිත්‍රයෙක් රන් බරක් ද,අනෙක් මිත්‍රයා හණ මිටයක් ද රැගෙන ආපසු
ගමට ආ විට රන් ගෙනා තැනැත්තා ඥාති මිත්‍රාදීන්ගෙන් කීර්ති ප්‍රශංසා ලබා ගත් අතර,
පරණ හණමිටිය ම ගෙනා තැනැත්තා නෑ මිතුරන්ගෙන් නින්දා අපහාස ලබා දුකට පත්විය.
මෙලොව පරලොව නැත. කම්විපාක නැත. කියා දෘෂ්ටි ගත් තැනැත්තාගේ එම දෘෂ්ටිය වැරැදි බව
කුමාරකාශ්‍යප තෙරුන් විසින් ඔප්පුකර දැක්වූ පසුවත් එය අතහැරීම නින්දාවට හේතු වේ
යැයි ඔහු සිතුවේ ය. එසේ සිතීම පරණ හණ මිටියම කරගහගෙන ආ මිත්‍රයාගේ කල්පනාව බඳු යැයි
තෙරණුවෝ ඔහුට පැවසූහ.
ඉහත උපමා කතාවෙන් ගතයුතු උපදේශය නම්,තමන් ගෙන තිබෙන මතය හෝ දෘෂ්ටිය බොහෝ කාලයක
සිටගෙන ඇති එකක් වුව ද, එය වැරැදි නම් හෝ ඊට වඩා හොඳ දෙයක් දකී නම් හෝ මුල් එක
ඉවතලා වඩා වටිනා දෙය පිළිගැනීම තමාට ලාභය මෙන් ම සැපය ද පිණිස පවතින බව ය.
- හේමමාලා රන්දුනු |