මැදින් පුර අටවක 2023-02-27
ජීවිතයට වටිනාකමක් දෙන්න
බෞද්ධ උවසු උවැසියනට දහම් ශ්‍රවණයෙහිලා වන පහසුකම් අන් කවර කලෙකටත් වඩා මෙකල්හි
ලැබී තිබේ. ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් පමණක් නොව ගම් නියම්ගම් පුරා සෑම වෙහෙර
බිමකම පාහේ නිරන්තරයෙන් ධර්ම දේශනාමය පින්කම් සංවිධානය කරනු පෙනේ. එම දහම්
ශ්‍රවණයෙහිලා ද බොහෝ පිරිස් එක් රොක්වීම භාග්‍යයකි. එහෙත් ඒ අතරින් ඇසූ දහම් මනාකොට
ජීවිතයට ගළපා ගන්නේ නම් අතළොස්සක් බව පෙනෙන්නේ ඔවුනොවුන්ගේ ඇවතුම් පැවතුම්
ක්‍රියාත්මක වන ආකාරය අනුව ය.
යථා පි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං සගන්ධකං
එවං සුභාසිතා වාචා
සඵලා හොති සකුබ්බතො
දහම දැන ඉගෙන, ඒ අනුව හැසිරෙන තැනැත්තාට ඒ දහම මනාකොට හිත සැප සලසන්නේ යැයි ධම්ම
පදයේ සඳහන් වේ.
මෙම ගාථා ධර්මයට අනුව පුප්ඵං යනු මල් ය. සමන් - තුවරලා - බෝලිද්ද ආදී වූ මනා
වර්ණයෙන්, සටහනින් හා සුගන්ධයෙන් යුතු මල් ය. ඒ මල් පැළඳ සිටින පුද්ගලයාගේ සිරුර ද
සුගන්ධවත් වන්නේ ය. ඒ සුගන්ධයෙන් යුතු මල් දම තමන් සතුටට පත් කරන්නේ ය. අනුන් ද
සතුටු කරන්නේ ය. එහෙයින් පල සහිත වන්නේ ය.
සුභාසිත වාචා නම්, ශ්‍රී සද්ධර්මයයි. එනම් තථාගතයන් වහන්සේ සියලු ලෝ සතුන් වෙත පතළ
මහා කරුණාවෙන් දෙසා වදහළ අමා දහමයි. ඒ දහම සකසා දැන ඉගෙන මනා ලෙස පිළිපදින
පුද්ගලයාට පමණක් නොව, ඔහු ඇසුරු කරන සියලු දෙනාට ද සතුට වඩන සැප සලසන්නේ ය. සුවඳ
හමන මල් සේ ය.
සඵලාහොති නම් පල සහිත වන බව ය. පල යනු සම්බුදු දහමට අනුව හැසිරී, ලොව්තුරු සැප
ලැබීම ය. ඒ අනුව සිත්කලු වූ, පැහැ සටහන් ඇති, සුවඳ සහිත වූ මල යම් සේ සුවඳ පතුරයි
ද? එ පරිදි, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මනා ලෙස පිළිපදින්නාට
පල සහිත වන්නේ ය.
බෞද්ධයන් වූ අපට තථාගත ශ්‍රී සද්ධර්මය හැර අන් සැපතක් නැත. මෙලොව ජීවිතය පමණක් නොව
පරලොව ජීවිතය ද සුව සලසා ගනිමින් මේ ඝෝර සසර මඟ දුකින් මිදී උතුම් නිවන්සුව සලසා
ගැනීමේ මාර්ගය ද උන්වහන්සේ අපට පෙන්වා දුන්හ.
බෞද්ධයාගේ ඒකායන අරමුණ විය යුතු ධර්මචාරී වෙමින් ඒ උතුම් නිවනට පිවිසීම ය. එහිදී
ගිහියාට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාවේ සිට අපට දහම් මාවතට ප්‍රවේශවිය හැකි ය.
පස්පවින් වැළකුණ පුද්ගලයා අනුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරන්නෙක් වේ. අනුන්ගේ දේපළ ආරක්ෂා
කරන්නෙක් වේ. විශ්වාසය රකින්නෙක් වේ. බොරුවෙන් අනුන් නොරවටන ඔහු මදයට හෝ ප්‍රමාදයට
පත්වන්නෙක් නොවේ. ඒ පුද්ගලයා තමන්ට අර්ථකාරී වෙමින් අනුන්ට ද අර්ථවත් වන්නේ ය.
එතැන් සිට ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන අටලෝ දහමින් කම්පා
නොවී ජීවිතයට මුහුණ දෙමින් තම දරුවන්ට ද ඒ මඟ යන්නට ආදර්ශය සැලසීම ගිහි බෞද්ධයාගේ
යුතුකම ය.
ධම්ම පදය බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයකි. එහි ගාථා ධර්ම අර්ථවත් ජීවිතයට අපූර්ව ලෙස
මඟ පෙන්වයි. පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වා ම ප්‍රයෝජනවත් ය. මේ උතුම් දහම් කරුණු
පොතට සීමා නොකර, අසන දහම් පද ඒ අවස්ථාවට පමණක් සීමා නොකොට ජීවිතයට ගළපා ගන්නා
පුද්ගලයා දෙලොව ම දිනන පුද්ගලයෙක් වන්නේ ය. |