[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැ සිත ජීවිතයට රැකවරණයකි

සැදැහැ සිත ජීවිතයට රැකවරණයකි

අනුරාධපුර සමයේ බැමිණිතියාසාය කියලා මහා නියං සමයක් ආවා. ගස් වැල් විනාශ වුණා. ඇළ දොළ, ගංගා හිඳිලා ගියා. කෑම බීම නැති නිසා මිනිසුන් ඒ ඒ තැන වැටිලා මිය යන්න පටන් ගත්තා. මිල මුදල් තිබුණ පොහොසත් අය විදේශ රටවලට පැන ගියා. දුර්භික්ෂය පුරා වසර දොළහක් පැවතුණා. ජීවිතය රැක ගන්න මිනිසුන් කැලෑවලට වැදුණා. කොළ සහිතව ගස් වැල් මිනිසුන් අයිති කර ගත්තා.

කොළ, මුල්, දළු, පොතු ආදිය තම්බා ආහාර වේල සපයා ගත්තා. එක් අඹුසැමි යුවළක් ගම අතහැර සෙසු ජනතාව වගේම ජීවිතය රැක ගන්න කැලෑවකට පිටත් වුණා. ඔවුන් දැක්කා හොඳින් කොළ වැඩී තිබෙන කරකොළ ගහක්. අතු තුනක් මේ ගහේ තිබුණා. දෙන්නා කතා කරගත්තා එක අත්තක කොළවලින් කුසගින්නෙන් තමන් වෙතට එන ආගන්තුකයන්ට සත්කාර කරන්න. තවත් අත්තක් වෙන් කර ගත්තා දානයක් දෙන්න.

තුන්වැනි අත්තේ හටගන්නා කොළ දෙදෙනාගේ ආහාරයට වෙන් කර ගත්තා. ගහ සමීපයේ කුඩා පැලක් හදාගෙන කරකොළ කමින් මේ දෙන්නා දැන් ජීවත් වෙනවා. ආගන්තුක කෙනෙක් ආවොත් වෙන් කළ අත්තේ කරකොළවලින් ඔවුන්ට සත්කාර කළා.

කොපමණ කුසගිනි දැනුණත් තමන් වෙනුවෙන් වෙන් කර ගත් අත්තේ කොළ ඇර සෙසු අතුවල කොළ කැඩුවේ නෑ. මිනිසුන් ආහාර හිඟයෙන් පීඩා වින්ද නිසා මේ කාලයේ භික්ෂූන් වහන්සේට පිණ්ඩපාතය ලැබුණේ නෑ. සමහර භික්ෂූන් වහන්සේලා වෙනත් රටවලට වැඩම කළා. එහෙත් තවත් පිරිසක් දුක සේ ජීවත් වුණා. දවසක් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයක් ලැබේවි යැයි හිතා පාත්‍රය ගෙන පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා. මිනිසුන් ජීවත් වූ ස්ථාන කරා පිණ්ඩපාතයේ ගියත් කිසිම දෙයක් ලැබුණේ නෑ.

කුසගින්න ඉවසාගත නො හැකිව සිටි තෙරුන් වහන්සේ ඈතින් තිබුණු පර්වතය සමීපයේ ගෙයක දුම් සංඥාවක් දැක්කා. උන්වහන්සේ එතැනට වැඩම කළා. ඒ පැලේ හිටියේ අර සැදැහැති අඹුසැමි යුවළ. තෙරුන් වහන්සේට වන්දනා කර පාත්‍රය අතට අරගෙන

‘ස්වාමීනි, ටික වේලාවක් වැඩ ඉන්න, ඔබ වහන්සේට අපි දානය සකසා පූජා කරන්නම්’යැයි ආරාධනා කර ස්වාමිපුරුෂයා බිරිඳ අමතලා

‘සොඳුරිය, අප දෙදෙනා බොහෝ දවසක් බලා සිටිය අදහස අද ඉටු වුණා. අපට හිමි කරකොළ ගහේ දානයක් වෙනුවෙන් වෙන් කළ කොටස තවමත් පූජා කර ගන්න බැරි වුණා. අද එය ඉටුවුණා’යි

බොහෝම සතුටට පත් වෙලා ස්වාමියා ගියා කරකොළ ගහේ කොළ ටික ගෙන එන්න. ටික වේලාවකින් හිස් අතින් ම එන සැමියා දැක බිරිඳ බොහෝ දුකට පත් වුණා. ගෙදරට ගොඩ වෙන්නත් පෙරාතුව පෙර මඟට දුවගෙන ගියා.

‘ඇයි? ස්වාමිනි, හිස් අතින් ගිය පමාවටත් පෙරාතුව නැවත ආවේ?’යි ප්‍රශ්න කළා.

‘සොඳුරිය, පින් තියන අය හිතන දේ, ප්‍රාර්ථනා කරන දේ ඉක්මනින් ම ඉටුවෙනවා. අප දෙදෙනා දුප්පත් වෙලා ඉපදුණේ පෙර පින් මදි නිසා. බොහෝ කාලයක් අප බලා හිටියා දානයක් පූජා කරන්න. අද ඒ භාග්‍ය උදා වුණා. ඒත් කරකොළ ගහේ එක කොළයක්වත්, දල්ලක්වත් නෑ. ඊයේ රෑ පණුවෝ ඒ ඔක්කොම කා දමලා. අප දැන් මොනවාද කරන්නේ. තෙරුන් වහන්සේට ආරාධනා කර කිසිවක් පූජා නොකර ආපසු වැඩම කරවන්න බෑ.’යි දැන්වූවා. බිරිඳ ඒ සියල්ල අහගෙන ඉඳලා දුක්ට පත් වුණා.

වහාම ගෙට දුවගෙන ගියා. උයන තැන තිබුණු තියුණු පිහිය අරගෙන නිවසේ පිටුපසට දිව්වා. සැමියාත් වහා ගෙට දුවගෙන ගිහින් තවත් පිහියක් අරගෙන නිවසේ පිටුපසට ගියා. බිරිඳ වේලාසනින් එතැනට ආපු බවවත් ඔහු දන්නේ නෑ. ඔහුගේ සිතෙත්, ඇයගේ සිතේත් තිබුණේ දානය කෙසේ හෝ දෙන්න ඕන කියන අදහස. දෙදෙනාම කුමක් කරනවා දැයි කතිකා කර ගත්තේවත් නෑ. ගෙයි පිටුපස පිහියක් අතැතිව සිටින බිරිඳ ව දැකපු සැමියා

‘ඇයි මේ පිහියක් අරගෙන මෙතැන? දැන් මේ කුමක් කරන්නද හදන්නේ?’යි විමසුවා.

‘ස්වාමිනි, අද කෙසේ හෝ සංඝයා වහන්සේ වෙනුවෙන් දානයක් දෙමු. පෙර පින්මද නිසායි අප මෙහෙම දුප්පත් වුණේ. මම මගේ කලවා මාංසය කපා නො දන්වා ම එය උයා තෙරුන් වහන්සේට දානය දෙනවා’යි පවසා සිටියා.

එවිට සැමියාත් මෙහෙම කියන්න පටන් ගත්තා. ‘මමත් මේ පිහිය අරගෙන ආවේ ඔය අදහසින් ම තමයි. ඔබ එයට බාධා කරාවි යැයි මම කියා සිටියේ නෑ. දැන් දෙදෙනාම එකම සිතිවිල්ල ඇතිව දානය දෙන්න සූදානම් වුණා.

ස්තී‍්‍රන්ට දුක් උහුලන්න බෑ. ඒ නිසා මම මගේ කලවා මාංශයක් කපා දෙන්නම්. ඔබ එය උයා තෙරුන් වහන්සේට පූජා කරන්න’යි කියා තියුණු පිහිය අතට ගෙන කලවා පෙදෙසෙන් කොටසක් කපන්න සූදානම් වුණා. ඒත් සමගම ගෙයි ඉදිරිපසින් කවුදෝ මහත් හඩින් නිවැසියන්ට අඬගසන ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා.

දෙදෙනාම දුවගෙන ගියා නිවස ඉදිරියට. දුප්පත්, මහල්ලෙක් බඩුමල්ලකුත් අරගෙන ගේ ඉදිරියේ ඉඳගෙන ඉන්නවා දැක්කා. ඔහු තරුණ යුවළ අමතලා

‘පින්වත් දරුවනි, මම ඈත ගමක සිට මේ එන්නේ. දවස් ගණනක් ඇවිද ආ නිසා බොහොම වෙහෙසයි. මගේ ළග උයන පිහින බඩු ටිකක් තියනවා. මට ඒකෙන් කෑම ටිකක් හදා දෙන්න පුළුවන්ද?’යි විමසා සිටියා.

සැදැහැති අඹුසැමි දෙදෙනා සතුටින් එය බාර ගත්තා. එවිට මහල්ලා මෙහෙම කියනවා

‘පින්වත් දරුවනි, මේ ද්‍රව්‍යවලින් ආහාර පිස තෙරුන් වහන්සේට පූජා කරන්න. මම මේ සමීපයට ගිහින් එන්න යනවා. මම එන්න ප්‍ර‍මාද වුණොත් ඔබලාත් අනුභව කරන්න. මම එනතෙක් බලා ඉන්න එපා’යි පවසා ඔහු යන්න ගියා.

මෙහෙම මහල්ලෙක් ලෙස පැමිණ තිබුණේ ශක්‍ර දේවේන්ද්‍රයෝ යි. අඹුසැමියන් තමන්ගේ කලවාවල මාංශ කපා උයලා තෙරුන් වහන්සේට වළඳවන්නට සැරසෙන විට ශක්‍ර දෙවියන්ගේ පණ්ඩුකම්බල ශෛලාසනය උණුවෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ශ්‍රද්ධා සිත එතරම් ම බලවත් වුණා. කෙසේ හෝ වහාම පිහිට විය යුතු යැයි හිතා ඇල්හාල් පිරවූ නැළියකුත්, දීකිරි කළයකුත්, තෙල් කළයකුත්, මුව මස් ගාතයකුත් එදා අරගෙන ගොස් තිබුණා.

දෙදෙනා සතුටින් ආහාර පිළියෙළ කර තෙරුන් වහන්සේට දානය පූජා කළා. මහලු තැනැත්තා එන තෙක් දෙදෙනා බොහෝ වේලාවක් බලන් හිටියා. ඒත් පැමිණියේ නෑ. දෙදෙනාත් ආහාර ගත්තා. සවස් සමයේ ආහාර පිසූ වළං නැවත විවෘත කර බලන විට හැම වළඳකම දකින්න ලැබුණේ පළමුවෙන් හැන්ද ගැසූ තැන හිස් අවකාශය පමණයි. පිසූ ආහාර කොපමණ බෙදා ගත්තත් අඩු වුණේ නෑ. එදින පටන් සැදැහැති මේ දෙන්නා තෙරුන් වහන්සේට සිත් සේ දන් දෙන්න පටන් ගත්තා. නොයෙක් දුගී මගී යාචකාදීන්ට දන් දුන්නා. සිල් රකිමින් බොහෝ කලක් ජීවත් වී ආයුෂ කෙළවර දෙව්ලොව උපත ලැබුවා. දෙදෙනාගේ ශ්‍රද්ධා මහිමය නිසා දුප්පත් දිවි පෙවත අවසන් වුණා. පරලොවට බොහෝ පින්දහම් කර ගත්තා.

දිව්‍ය සැප සම්පත් ලැබුවා. මේ සියලු සැප සම්පත් දෙදෙනාට හිමි වුණේ පිරිසුදු ආධ්‍යාත්මික දාන සිතිවිලි නිසා. දන්දීමට අවස්ථාවක් පැමිණෙනකම් හෝ වස්තු සම්පත් ලැබෙනකම් හෝ බලා සිටීමට වඩා සැදැහැසිතින් තමන් සතු කිසියම් හෝ දෙයක් දන්දීමට සිත පහදිනවා නම් එයම මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කමක් වන බව මේ කතා පුවත අපට පෙන්වා දෙනවා.

ඉල් අමාවක පෝය

  නොවැම්බර් 23 බදාදා
පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ.
23 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]