ඉල් අමාවක 2022-11-23
මනස පුබුදන
නැණස පාදමු
දුර අරමුණ කරා ගමන් කරන, හුදකලාව හැසිරෙන, සිරුරක් නැත්තා වූ, ශරීර නමැති ගුහාවෙහි
නිදන සිත යම් කෙනකු තැන්පත් කර ගනිත් ද, ඔහු සසර පැවැත්මෙන් මිදෙන බව ධම්ම පදයෙහි
සඳහන් ය.
මේ අනුව සිත එකඟ කර ගැනීමේ ඒකායන මාර්ගය භාවනාව යි. එය මෙලොව හා පරලොව යන දෙලොව
දියුණුව සඳහාම හේතුවනු ඇත. ප්‍රධාන භාවනා ක්‍රම දෙක අතර සමථ භාවනාවෙන් තැන්පත්කම හා
එකඟකම පිළිබඳ දියුණුව ද, විදර්ශනා භාවනාවෙන් නුවණ දියුණු කරගැනීම ද මැනවින්
සිදුකරගත හැකි ය. භාවනාව පිළිබඳ කරුණු සොයා යාමේ දී කායානුපස්සනාවට සුවිශේෂී
ස්ථානයක් හිමි වෙයි. කය අනුව සිතීම, වේදනාව අනුව සිතීම, සිත අනුව සිතීම සහ ධර්මය
අනුව සිතීම එමඟින් සිදු වෙයි.
කායානුපස්සනාවට ම අයත් ආනාපානසති භාවනාව ඉතා සරල හා පහසු භාවනා ක්‍රමයකි. හුස්ම
ගැනීම හා පිට කිරීම මුල් කරගෙන සිහිය පිහිටුවා ගැනීම එමඟින් සිදු කෙරෙයි. එය අපගේ
ශරීර සෞඛ්‍යයට ද, විවේකයට ද, හොඳ නින්දක් ලබා ගැනීමට ද දිනපතා වැඩ කටයුතු හොඳින් කර
ගැනීමට ද බෙහෙවින් ම උපකාරී වෙයි. එයින් සිතට සාමය හා සැනසිල්ල ලැබේ. සිත කැළඹී
තිබෙන අවස්ථාවක මිනිත්තු කිහිපයක් මෙම භාවනාව ප්‍රගුණ කළහොත් වහාම සිත සන්සිඳෙයි.
තමා මෙන්ම අන්‍යයෝ ද නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා ආදී වශයෙන්
මෛත්‍රිය අනුන් කෙරෙහි නැවත නැවත පැතිරවීම මෛත්‍රී භාවනාව යි. සත්ත්වයන් කෙරෙහි
යහපත ප්‍රාර්ථනා කිරීම මෙන්ම අනර්ථයක්, අයහපතක්, විපතක්, අලාභයක්, අපහාසයක්, අයසක්
නොවේවා යි, ප්‍රාර්ථනා කිරීම ද මෛත්‍රිය යි. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් හා මෝහයෙන්
තොරව මෙත් සිත පතුරුවාලිය හැක්කේ එක්තරා ක්‍රමයකට සකස් වූ මනසක් ඇත්තෙකුට ය.
මහානාම නම් ශාක්‍ය පුත්‍රයාගේ විමසීමකට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ආර්ය
ශ්‍රාවකයා නිතර අනුස්සති භාවනා වඩන බවත්, මනසින් එය නිතර සිහි කරන බවත් වදාළහ. නව
අරහාදී බුදුගුණ සිහිකිරීම ධර්මයෙහි විශේෂතාව සිහි කිරීම, භික්ෂූන් වහන්සේගේ
සුපටිපන්නාදී ගුණ මෙනෙහි කිරීම, සීලය ගැන මෙනෙහි කිරීම, ත්‍යාගී ගුණය මෙනෙහි කිරීම,
දේව කායික තත්ත්වයට යෝග්‍ය වූ ගුණ මෙනෙහි කිරීම මෙම අනුස්සති භාවනාවට ඇතුළත් ය.
මෙමඟින් රාගය, ද්වේෂය, මෝහය යන අකුසල මූල යටපත් කර සිත එකඟතාවට පත් කරයි. එය වඩන
පුද්ගලයා ධර්මය දැනගෙන ධර්ම ප්‍රමෝදයට පත් වී සොම්නසට පැමිණ කයෙහි සංසිඳීම නිසා
සැපතට පත් වෙයි. සැපතට පත්ව චිත්ත සමාධියට පැමිණෙයි.
මෑතක දී බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් කිහිප දෙනකු විසින් කරන ලද පර්යේෂණවලින් තහවුරු
වූ කරුණක් නම් මිනිසා තුළ ඇතිවන රෝග භාවනා මාර්ගයෙන් බොහෝ දුරට සමනය කරගත හැකි
බවයි. මීට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ භාවනාවේ දී මිනිසා තුළ ශාරීරික වශයෙන්
මෙන් ම මානසික වශයෙන් ද ඇතිවන පරිවර්තනය යි. |