පෝතලිය සූත්‍රයෙනි:
කිවයුතු තැන
ගුණ-අගුණ කියන්නට
පසුබට නොවන්න
ඒ කාලයෙහි පොතලිය නම් පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. උන්වහන්සේ සමඟ
සතුටට පත්විය යුතු කතා කළේ ය. අනතුරුව එකත්පසෙක හුන්නේ ය. පොතලිය පරිබ්‍රාජකට
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
පෝතලිය ලෝකයේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වෙති. ඒ කවුරුද?
මෙලොව ඇතැම් පුද්ගලයෙක් ගුණ නොමැති, අගුණ ඇති පුද්ගලයාගේ ඒ ඇති අගුණ සුදුසු
අවස්ථාවේ කියන්නේ ය. ගුණවත්, ගුණකීමට සුදුසු පුද්ගලයාගේ ගුණ හෙළි පෙහෙළි කිරීමට
සුදුසු අවස්ථාවේ නොකියන්නේ ය.
මෙලොව ඇතැම් පුද්ගලයෙක් ගුණ කීමට සුදුසු ගුණවතාගේ ඇති ගුණ සුදුසු අවස්ථාවෙහි
කියන්නේ ය. ගුණ නොමැති, අගුණ ඇති පුද්ගලයාගේ තිබෙන අගුණ කියයුතු සුදුසු කාලයෙහි නො
කියන්නේ ය.
මෙලොව ඇතැම් පුද්ගලයෙක් ගුණ නොමැති, අගුණ ඇති පුද්ගලයාගේ තිබෙන අගුණ කිවයුතු කාලය
පැමිණි කල්හි නොකියන්නේ ය. ගුණ කීමට සුදුසු ගුණවත් පුද්ගලයාගේ ගුණ ද සුදුසු
අවස්ථාවෙහි නොකියන්නේ ය.
මෙලොව ඇතැමෙක් අගුණ කිව යුතු, අගුණ ඇති පුද්ගලයාගේ අගුණ කිය යුතු අවස්ථාව පැමිණි කල
කියන්නේ ය. ගුණ කිවයුතු, ගුණවත් පුද්ගලයාගේ තිබෙන ගුණය ද කිවයුතු අවස්ථාවෙහි
කියන්නේ ය.
පොතලිය මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන වෙති. පොතලිය මෙකී පුද්ගලයන් සතර
දෙනා අතුරෙන් ඔබ රුචි කරන්නේ කවර පුද්ගලයෙක් ද?
භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අගුණ කිව යුතු පුද්ගලයාගේ තිබෙන
අගුණ සුදුසු කාලයෙහි කියන ස්වභාවය ඇත. ගුණ කිව යුතු පුද්ගලයාගේ තිබෙන ගුණ සුදුසු
අවස්ථාවෙහි නොකියන ස්වභාවය ද ඇත. භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ගුණ කිව යුත්තාගේ
තිබෙන ගුණ සුදුසු අවස්ථාවෙහි කියන ස්වභාවය ද ඇත. අගුණ කිය යුතු පුද්ගලයාගේ තිබෙන
අගුණ කිවයුතු අවස්ථාවෙහි නොකියන ස්වභාවය ද ඇත. මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අගුණ කිව
යුතු පුද්ගලයාගේ තිබෙන අගුණත්, ගුණ කිව යුතු පුද්ගලයාගේ තිබෙන ගුණත් කිව යුතු
අවස්ථාවෙහි නොකියන ස්වභාවය ඇත. මේ ලෝකයෙහි අගුණ කිව යුතු පුද්ගලයාගේ තිබෙන අගුණත්,
ගුණ කිවයුතු පුද්ගලයාගේ තිබෙන ගුණත් කිවයුතු අවස්ථාවෙහි කියන ස්වභාවය ඇත යන මේ
පුද්ගලයන් සතර දෙන විද්‍යමාන වෙති.
භවත් ගෞතමයන් වහන්ස, මෙකී පුද්ගලයන් සතර දෙනා අතුරෙන් යම් පුද්ගලයෙක් අගුණ කිව යුතු
පුද්ගලයාගේ තිබෙන අගුණ සුදුසු අවස්ථාවෙහි නොකියන්නේත් වේ ද, ගුණ කිව යුතු
පුද්ගලයාගේ තිබෙන ගුණ කිවයුතු අවස්ථාවෙහි නොකියන්නේත් වේ ද, එම පුද්ගලයා මෙකී
පුද්ගලයන් සතර දෙනා අතුරෙන් මට ඉතා මැනව. ප්‍රණීතකර ය. එසේ වීමට හේතුව නම් මධ්‍යස්ථ
බව සුන්දරතර වීම ය.
පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. මෙකී පුද්ගලයන් සතර දෙන
අතුරෙන් යමෙක් අගුණ කිය යුතු පුද්ගලයාගේ තිබෙන අගුණ සුදුසු කාලයෙහි කියන්නේ වේ ද,
ගුණ කිව යුතු පුද්ගලයාගේ තිබෙන ගුණ කිවයුතු සුදුසු අවස්ථාවෙහි කියන්නේ වේ ද, මේ තෙම
මෙකී පුද්ගලයන් සතර දෙනා අතුරෙන් මට ඉතා මනාප වූ පුද්ගලයා ද, ප්‍රණීත පුද්ගලයා ද
වෙයි. එයට හේතුව නම් ඒ ඒ කරුණෙහි දී සුදුසු අවස්ථාව දන්නා බැවිනි.
භවත් ගෞතමයන් වහන්ස, මෙකී පුද්ගලයන් සතර දෙනාගෙන් යම් පුද්ගලයෙක් අගුණ කිව යුතු
පුද්ගලයාගේ තිබෙන අගුණ කිව යුතු අවස්ථාවෙහි කියන්නේ වේ ද, ගුණ කිව යුතු පුද්ගලයාගේ
තිබෙන ගුණ කිව යුතු අවස්ථාවෙහි කියන්නේ වේ ද මට මේ පුද්ගලයා එකී පුද්ගලයන් සතර දෙනා
අතුරෙන් ඉතා මනාප ය. ප්‍රණීත ය. ඊට හේතුව නම් ඒ ඒ කරුණෙහි දී සුදුසු අවස්ථාව දන්නා
බැවිනි.
භවත් ගෞතමයන් වහන්ස. ඉතා මැනව. ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක්
උඩුකුරු කරන්නාක් මෙන් ද, වසන ලද්දක් විවෘත කරන්නාක් මෙන් ද, මං මුළාවුවකු හට මඟ
කියා දෙන්නාක් මෙන් ද, ඇස් ඇත්තෝ රූප දකිත්වා'යි අඳුරෙහි තෙල් පහන් දල්වන්නාක් මෙන්
ද, භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලද්දාහ. ඒ මම භවත්
ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද සරණකොට සලකමි. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන්
දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු වශයෙන් සලකා වදාරණ සේක්වා.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල අංගුත්තර සඟියේ ප්‍රථම භාගයේ ඒකක දුක තික
හා චතුක්ත නිපාතය ඇසුරිනි. |