බිනර පුර අටවක 2022-09-03
යහපත් ජීවිතයක අගය
සත්පුරුෂකම් හා අසත්පුරුෂකම් ගැන සමාජයේ නිරන්තර කතාබහට ලක්වේ. එහිදී සත්පුරුෂයා
අගය කරන්නටත්, අසත්පුරුෂයා පිළිකෙව් කරන්නටත් අපි බොහෝ දෙනෙක් හුරු පුරුදුව සිටිමු.
ඒ අයහපත් චර්යාවන් පුද්ගල වශයෙන්, සමාජමය වශයෙන් විපතක්, නපුරක් ම කරන හෙයින් ය.
අනුන්ගෙන් වන එවන් විනාශකාරි තත්ත්වයන් පිළිකෙව් කළ ද බොහෝ දෙනෙක් තමන්ගෙන් අනුන්ට
වන, සමාජයට වන හානිකර තත්ත්වයන් ගැන සිතන්නේ නැති තරම් ය.
අස්වනු ලැබෙන්නේ වපුරන දෙයට අනුව ය යන්න අද සාමාන්‍ය ජන වහරේ සුලබ ව්‍යවහාරයෙකි.
ඉහත කී තත්ත්වයන්ට ද එය මනාව ගැළපේ. කෙනෙක් තමන් අයහපත් පුද්ගලයෙක් වෙමින් අනුන්ට
කරදරයක් වන ලෙස හැසිරෙනවා නම්, බොහෝවිට ඔහුට ද අනුන්ගෙන් යහපතක් බලාපොරොත්තු විය
නොහැකි ය. තමන් නරක බීජ පැළ කළේ නම් සොබා දහමට අනුව පලය ද වටිනාකමින් තොර ය.
එහෙයින් අනුන්ගෙන් තමන්ට යහපතක් බලාපොරොත්තු වනවා නම් තමන්ට ද, අනුන්ට ද අර්ථකාරී
වන ලෙස ජීවිතය හසුරුවා ගන්නට වගබලා ගත යුතු වේ.
සත්පුරුෂයා යනු හොඳ මිනිසා ලෙස සරලව අර්ථ ගැන්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා
කොට වදාළ ශ්‍රී සද්ධර්මය පුරා ම ඉගැන්වෙන්නේ හොඳ මනුෂ්‍යයෙක් වීමට පුරුදු පුහුණු කළ
යුතු ගුණධර්ම ය. ඉතා දුර්ලභව ලද හැකි මිනිසත් බවක් ලැබ, බුද්ධෝත්පාද කාලයක, සම්බුදු
දහම ජීවමාන රටක ජීවත් වන්නට අපි භාග්‍යවන්ත වී සිටිමු. එහෙත් ඒ භාග්‍ය සම්පන්න
බවින් ප්‍රයෝජන ලබන්නෝ නම් ඉතා දුලබ බව ය‘. සමාජය තුළ ඇස ගැටෙන සංසිද්ධීන් තුළින්
අපට පැහැදිලි වනුයේ, බුදු දහමට අනුව හොඳ මිනිසා යනු සිතින්, කයින්, වචනයෙන් වැරැදි
නොකරන පුද්ගලයා ය. එනම් ඔහුගේ සිතිවිලි යහපත් ය. කයින් සිදු කරන ක්‍රියාකාරකම්
යහපත් ය. වචනය යහපත් ය.
එසේ යහපත අගයන අතරම ඔහු බෞද්ධ දර්ශනය අනුව යමින් දසකුසලයට, දස පුණ්‍ය ක්‍රියාවන්ට
මුල් තැන දී පින් පුරවා ගන්නේ ය. මව්පියන්ට, වැඩිහිටියන්ට සැලකීම අසරණයන්ට පිහිට
වීම, දැහැමි ධනෝපායන ක්‍රමයන්ගෙන් මිස අධාර්මිකව ධනය ඉපයීමට නොපෙළඹීම ආදි බොහෝ ගුණ
දහම් සත්පුරුෂයා සතු ය. බුදුරජාණන් වහන්සේ දෙසා වදහළ ශ්‍රී සද්ධර්මය තුළ එන ‘ආරති
විරති පාපා’ යන බුද්ධ වචනය ගෙන බැලුව ද සත්පුරුෂයකු වීමට ඇවැසි මූලික ගුණධර්මය එහි
අන්තර්ගත ය. එනම් පාපයෙන් ඈත් වීම ය. වෙන්වීම ය. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි
දෙපිරිසට ම අනුදැන වදාළේ ‘අසේවනාච බාලානං’ බාලයන් ඇසුරු නොකරන්න. “පණ්ඩිතා නං ච
සේවනා’ පණ්ඩිතයන් ම ඇසුරු කරන්න යනුවෙනි. ඒ පුද්ගල ඇසුර ජීවිතයක දියුණුව සේ ම
පරිහානිය ද තීරණය කරන ප්‍රධාන සාධකයක් වන නිසා ය.
මෙහි බාලයා යනු වැරැදි වැඩ කරන පාපකාරී පුද්ගලයා ය. ඔහු සතුන් මරන්නේ ය. අනුන්ගේ
දෙය සොර සිතින් කඩා වඩා ගන්නේ ය. කාමයෙහි වරදවා හැසිරෙන්නේ ය. බොරු කියන්නේ ය. තමන්
ද මතට ඇබ්බැහි වී ඇසුරු කරන අය ද ඊට ගොදුරු කර ගන්නේ ය. එසේ පව් කරන ඔහුගේ සිතිවිලි
ද නපුරු ය. වචනය ද පිළිකෙව් සහගත ය. යම් හෙයකින් ජීවිතය ගැන දැනුම් තේරුම් නැති
කුඩා දරුවෙක් පමණක් නොව සමාජය පිළිබඳ නොමේරු දැනුම් ඇති අයකු එවැන්නකුගේ ඇසුරට
වැටුණේ නම් වන අයහපත ප්‍රමාණය කළ නොහැකි ය. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් තමන්
සත්පුරුෂයකු විය යුතු ය. එවිට සියල්ල යහපත් ලෙසින් තමන්ට ද දායාද වනු ඇත. |