අරුත නොතේරුණත්
බණ අසන
සංඥාවෙන් දහම් අසමු
දෙහිඅත්තකණ්ඩිය
කජුවත්ත ආරණ්‍ය සේනාසනයේ
ශාස්ත්‍රවේදී
බිබිලේ ධම්මසිරි හිමි
චම්පා නුවර ගග්ගරියා පොකුණ සමීපයේ පිහිටි දම්සභා මණ්ඩපය සිව්වනක් පිරිසගෙන් පිරී
ඉතිරී ගියේ ය. තිලෝගුරු අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මය
විවරකොට සුමධුර ධර්ම දේශනාව ඇරැඹූ සේක. එකෙනෙහි පොකුණ සමීපයේ සිටිය එක්තරා
මැඩියෙක් (ගෙම්බෙක්) ගොඩට පැමිණියේ ය.
“මේ කියන්නේ බුදු බණ තමයි” යන ධර්ම සංඥාවෙන් මිහිරි හඬට සවන්පත් යොමු කළේ ය. ඒ
සුමිහිරි ශබ්දයෙන් මැඬියාගේ සිත දහම් රසයෙන් පිනා යන්නට විය. ඔහුට එම අමාරසය
විඳින්නට වූයේ සුළු මොහොතක් ය.
මේ ස්ථානයට පැමිණි ගොපල්ලකු තම අතේ තිබුණ කෙවිට බිම ඇන එයට බර දී බණ ශ්‍රවණය කරන්නට
විය. කෙවිට මැඬියාගේ හිස මතට එල්ල විය. ගොපල්ලා ඒ කිසිත් නොදත්තේ ය. මැඬියා කෙවිට
නිසා ඇති වූ පීඩනයෙන් මරණයට පත්වී නිදා පිබිදුන අයකු මෙන් තව්තිසා දෙව්ලොව මණ්ඩුක
දිව්‍ය පුත්‍රයා නමින් පහළ විය.
මෙසේ පහළ වූ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මෙසේ සිතී ය. මේ වාගේ මහා සම්පත්තියක් සමඟ මා
වැන්නකු මෙහි උපන්නේ කුමන කුමන පින්කම් කරලා ද? කියා ඔහු පෙර ආත්ම භවය සිහිකර බැලී
ය. බුදුරජාණන් වහන්සේගේ බණ දේශනාවේ හඬට සවන් දීමෙන් ඇතිවුණ සැනසීම හැර වෙන පිනක්
නොකළ බව ඔහු දැක්කේ ය. බුදුරජාණන් වහන්සේ තවමත් දහම් දේශනා කරමින් සිටින බව ද
දැක්කේ ය.
දිව්‍ය පුත්‍රයා සිය දිව්‍ය විමානය සහ දිව්‍යාංගනාවන් සමඟ බුදුරජාණන් වහන්සේ බණ
දේශනා කරන ස්ථානයට පැමිණ බුදුසිරිපා වන්දනා කළේ ය.
බුදුරජාණන් වහන්සේ ඔහු කවරෙක් ද කියා දැන සිටියත් රැස්ව සිටි ජනයා ඒ බව නොදත්හ.
ශ්‍රාවක පිරිසට පුණ්‍ය කර්මවල ඵල විපාකත්, බුදුකෙනෙකුගේ බුද්ධානුභාවයත් ප්‍රත්‍යක්ෂ
කිරීම සඳහා
“කෝ මේ වන්දති පාදානි” යන ගාථා රත්නයෙන් “මාගේ පා වඳින ඔබ කවරෙක්ද?” කියා විමසූහ.
එවිට දේව පුත්‍රයා
“මම පෙර ජාතියේ දියේ සිටි මැඩියෙක්මි. ඔබ වහන්සේගේ ධර්මය අසමින් සිටියදී ගොපල්ලකුගේ
කෙවිටක් නිසා මරණයට පත්වීමි. ධර්මය ඇසුවේ සුළු වේලාවයි. එහිදී සිතේ ඇති වුණ
පැහැදීම් මාත්‍රයෙන් මම මැරිල ගිහිල්ලා මේ සා දිව්‍ය සම්පත් ලැබුවෙමි. මා දැන් ලබා
සිටින පරිවාර සම්පත්තිය බලනු මැනවි. දිව්‍ය ආනුභාව, දිව්‍ය ශරීර වර්ණය, දොළොස්
යොදුනක් පැතිරිය හැකි ශරීරාලෝකය බලනු මැනවි. ස්වාමීනී ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ
ශ්‍රී සද්ධර්මය යමෙක් බොහෝ කලක් ශ්‍රවණය කළොත් නිර්වාණ සම්පත් ක්ෂාත්ෂාත් කරගෙන
සදාතනික සැපතට පත්වනවා” කියා දිව්‍ය පුත්‍රයා රැස්ව සිටි අති විශාල ශ්‍රාවක ජනතාවට
ඇසෙන සේ ප්‍රකාශ කළේ ය.
බුදුරජාණන් වහන්සේ තව දුරටත් ධර්මය දේශනා කළ සේක. ඉන් අසූහාර දහසක් දෙනා
ධර්මාවබෝධයට පත් වූ අතර දිව්‍ය පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.
භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කාලයේ සිදුවූ මේ සත්‍ය කතා පුවතින් ප්‍රඥාවන්තයන් වන
බොහෝ පිරිසකට ගැඹුරු ධර්මයක් සන්නිවේදනය කරන්නේ ය. ධර්මය නොතේරුණත් ධර්ම සංඥාවෙන්,
ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයට සවන් යොමු කිරීමෙන් සිතේ ඇතිවන ශාන්ත භාවය නිසා තමන්ට
එයින් විශාල ආනිශංස රැසක් හිමි වන බව ප්‍රත්‍යක්ෂ කෙරේ. දුෂ්ඨ වු සිතින් මරණයට
පත්වන තෙක් බණ ඇසුවත් ඉන් යහපත් ප්‍රතිඵල නොලැබෙන බව ද ඉන් කියැවෙන්නේ ය.
මට්ටකුණ්ඩලී කතා වස්තුවෙන් ද අපට ගෙන එන්නේ මෙවැනිම ආදර්ශයකි. ජීවිතයට පිනක් නොකළ,
දහමක් නොදත් මට්ටකුණ්ඩලී නමැති තරුණයා මරණයට පත්වන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ
රූපශී‍්‍රය නෙත ගැටීමෙන් පමණක් ඇතිවූ ප්‍රසන්න චිත්ත ස්වභාවය නිසා ඔහුට මහත් වූ
දිව්‍ය සම්පත් ලැබීමටත්, අවසානයේ සෝවාන් ඵල ක්ෂාත් ක්ෂාත් කර ගැනීමටත් වාසනාව
ඉස්මතු විය.
තවද භික්ෂූන් වහන්සේ දෙනමක් අභිධර්ම පිටකය සජ්ඣායනා කරන හඬට සවන්පත් යොමු කිරීමෙන්
සිතේ ඇතිවුණ ප්‍රසන්න භාවය නිසා කිරි වවුලන් පන්සියය දෙනකු නිර්වාණය ක්ෂාත් ක්ෂාත්
කරන තුරු සතර අපාගත නොවුන බව සඳහන් වේ. ධර්ම සංඥාවෙන් ධර්මයට සවන්දීම නිසා තිරිසන්
සතුන්ට පවා ලැබෙන ආනිශංස සුළු පටු නොවේ.
මෙවැනි ධර්ම කතා බෞද්ධ ශ්‍රාවක පිරිස බොහෝ කොට ශ්‍රවණය කර ඇත. එහෙත් එවැනි කතාවන්
තුළින් ගෙන එන ගැඹුරු ධර්මය බොහෝ දෙනකුට අසුවෙන්නේ නැත. එවැනි බෞද්ධ කතා තුළින්
මතුකර දක්වන ධර්මය ගැන නොසලකා එහි එන කතා රසය, සාහිත්‍ය රසය වැනි ලාමක රසය පමණක්
ගෙන බණ ඇසුවා කියා සෑහීමකට පත්වන පිරිස් ද සිටිති. තවත් සමහර පිරිස් දහම ගැන
විශ්වාසයක් හා ශ්‍රද්ධාවක් නොමැතිකමින් දහමෙන් කියවෙන ආශ්චර්යවත් සිදුවීම් හෙළා
දකිති. විශ්වාස නොකරති.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක විශාල පිරිසක්
ද සිටිති. ඔවුහු ත්‍රිවිධ රත්නය විශ්වාස කරති. ඔවුහු තම නිවස තුළ බුදු බණ ශ්‍රවණය
කරති. පිරිත් සජ්ඣායනාවලට සවන් දෙති. දන් පැන් දීමට සිත පුරුදු කරති. පරඋපකාරවල
යෙදෙති. නිතර නිතර කුසල් දහම් වඩති. ඒ අනුව කුසල් දහම් වැඩෙන අයුරින් සිත පුරුදු
කරගත් බෞද්ධ ශ්‍රාවකයාට සසර බියක්, අපාය බයක් නූපදී. “ධම්මො හවේ රක්ඛති ධම්මචාරී”
යන බුදුවදනට අනුව ඔහුව ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ. |