[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 78 කොටස: නිවැරැදි උපදෙස් ලබා දෙන මහ නාහිමිවරුන්ට රට ම ණය ගැතියි

දුටුගැමුණු මහ රජතුමා 78 කොටස:

නිවැරැදි උපදෙස් ලබා දෙන මහ නාහිමිවරුන්ට රට ම ණය ගැතියි

“මිත්‍රට වුවමනා වූයේ ඔබව ජයනාථ සිටුතුමාගෙන් ඈත් කරන්නටයි. ඒත් ඒක කරන්නට බැරිවුණු නිසයි කෝපයට පත්වුණේ.”

මිත්‍ර ඇසුරේ සිටියා නම් ඔබ අන්ත දූෂිතයෙක් වෙනවා. චරපුරුෂයකු ලෙස හෝ මාගම පින්බිමට යෑමෙන් සිරිනාගට අඳුරෙන් එළියට එන්නට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි, ඒ එළියෙන් මේ රාජධානිය ආලෝකවත් කිරීමටත්, රට එක්සේසත් කිරීමේ සටනට පන්නරය දෙන්නටත් අවස්ථාව සලසා දුන්නේ මහාසිව මාහිමිපාණන් වහන්සේයි. ඒ නිසා අපි තිස්සමහාරාම විහාරස්ථානයට දහස් වාරයක් ණය ගැතියි.”

“අපට වාසනාව පෑදු ඒ හිමිවරුන්ගේ අනුග්‍රහයෙන් අපට සිංහල බෞද්ධ රට බේරා ගන්නට හැකිවේවි.” බෝධිනාග කීවේ මාගම වාසනා මහිමය ගැන සිහිපත් කරමිනි.

මහාසිව මාහිමිපාණන් වහන්සේත් ත්‍රිපිටකතිස්ස මාහිමිපාණන් වහන්සේත් මේ දිනවල මහියංගණ රාජමහා විහාරයේ වැඩ වෙසෙනවා. ඒ දුටුගැමුණු රජතුමාට ආශීර්වාද කිරීම සඳහායි. “විහාරාධිපති හිමියන්ට කළ යුතු දේ ගැන උපදෙස් දී සතියකින් පමණ ආපසු වඩීවි. ඊට කලින් මහියංගනයට ගොස් උන්වහන්සේ හමුවීම වඩාත් සුදුසු බව මට හැඟෙනවා. නමුත් මේ මොහොතේ සැක සිතෙන ගමන් අපේ ඉදිරි ඉලක්කවලට බාධාවක්.”

“ඔබ හරි සිරිනාග, මේ දිනවල මෙහි සිදුවන දේ ගැන හොඳ අවධානයෙන් ඉන්නට ඕනෑ. පුතා කැමති නම් වන්දනා ගමනක් ලෙස, නැතිනම් ව්‍යාපාර කටයුත්තකට යන මුවාවෙන් මට මහියංගනයට ගොස් එන්නට පුළුවන්.”

“මං සිතුවෙත් ඒකමයි. මම අද මගේ පරෙවියා මහියංගනයට යවනවා. මම තල්පතක ලියා යවන්නම් පියාණන් හෙට එහි එන බව. හෙට හිමිදිරියේ ම ගමන් අරඹන්න. සිවුරු හා අටපිරිකර කිහිපයක් තවත් පූජා භාණ්ඩ ජයනාථ මහ සිටුතුමාගේ වෙළඳ සැලෙන් ගන්න. හෙට දවස එහි නැවතී සිටින්න. අනිද්දා අරුණෝදයේම පිටත් වී එන්න.”

උදය ආහාරය ගෙන භෝජනාගාරයෙන් පිටතට එන බෝධිනාග විවේකාගාරයට යන අතර, වසා ඇති කුටිය දැක ඒ අසල නතර විය.

“අක්කණ්ඩි, ඇයි මේ කුටිය වසා තිබෙන්නේ? මිත්‍ර මහ සෙනෙවි මරණයට පත්වූයේ මේ කුටියේදී ද? නැහැ; මේ කුටිය ඉදිරිපස දී. සිරිනාගගේ අතට කඩුවෙන් කොටන්නට ඇත්තේ ඔය කුටියේ දී වෙන්නට පුළුවන්. ඒත් සිරිනාගට ඒ කිසිවක් මතක නැහැ. මම භය වුණේ සිරිනාග ගැනයි.

“අක්කණ්ඩිට මම රහසක් කියන්නම්. හැබැයි හිත අවුල් කර නොගෙන ඉන්නවාද?”

“බෝධිනාග කියන්නට හදන්නේ කුමක්ද? යි දන්නා සිරිනාග එයින් ඇය තුළ ඇති විය හැකි වේදනාව අඩු කිරීම සඳහා කතාව වෙනත් පැත්තකට යොමු කළේ ය.

“නැහැ.ඊට කලින් ඔබ දෙදෙනාටම රහසක් මම කියන්නම්.” ඔතනම ඉන්න.”

දෙදෙනාම පුදුමයෙන් බලා සිටියහ. සිරිනාග විචිත්‍රාගාරයට ගොස් යතුරක් ගෙන ආවේ ය. වසා තිබූ කුටිය විවෘත කළේ ය. තිදෙනාම එහි ඇතුළු වූහ.

එහි මැද වුයේ කළුවර කැටයමින් හැඩ කළ ඵලකයකි. මිත්‍ර හිඳ ගත් ආසනයත් ඒ අසලම විය. ඒ දුටු බෝධිනාගට ඇති වූයේ කෝපයකි. පසෙකින් වූ පෙට්ටගම ද, සෝපාව ද සුමන මහ සිටුතුමාගේ කාමරයේ තිබූ උපකරණ බව ඔහු හඳුනා ගත්තේ ය. සිරිනාග පෙට්ටගම මත තිබූ පළිඟු බඳුනක් අතට ගත්තේ ය. මඳ වේලාවක් ඒ දෙස බලා සිට එය සමන්තී අතට දුන්නේ ය.

“මේ අත්තන ඇට නේද? ඇය දෙඇස් ලොකු කර සිරිනාග දෙස බලා සිටියේ ය. එයට පිළිතුරක් නොදුන් ඔහු ඒ අසල ම වූ කුඩා අං හෙප්පුවක් අතට ගත්තේ ය. එය බෝධිනාග අතට දුන්නේ ය.

එය නාසයට ඇල්ලු බෝධිනාග “අත්තන ඇට කුඩු” කියමින් සමන්තී දෙස බැලුවේ ය. සිරිනාග මොහොතක් නිශ්ශබ්දව සිටියේ ය. ඔහුගේ මුහුණ අඳුරු වනු ඔවුන් දෙදෙනා දුටුවෝ ය.

පියාණනි, මෑණියනි ඔබ දන්නවා ද? මේ කුඩුවලින් තමයි මගේ මෑණියන් මිය ගියේ.

“අනේ රත්තරන් පුතේ” කියමින් සමන්තී සිරිනාග බදා ගත්තේ ය. බෝධිනාග අහසට නෙත් දල්වා බලා සිටියේ ය. තිදෙනාටම ඇති වූ වේදනාව නිසා කතා කර ගත නොහැකි විය.

“පියාණනි, එදා කවුරුන් විසින් හෝ මිත්‍ර මහ සෙනෙවි මරා නොදමන්නට මගේ ජීවිතයත් මේ කුඩුවලින් ම අවසන් වෙන්නට තිබුණා. මිත්‍ර සෙනෙවිතුමා එදා රාත්‍රී භෝජන සංග්‍රහයට මට ආරාධනා කළේ මේ කුඩු සූදානම් කරගෙනයි. ඔහු නොයෙකුත් විස්තර කතා කරමින් කාලය ගත්තේ තමාගේ ම ලෙයින් උපන් පුත්‍රයකු මරා දමන්නට අවස්ථාව ලැබෙන තුරුයි.”

“රාජකීය වෛද්‍යවරයාගෙන් මේ රහස මා දැනගත් බව, මිත්‍ර මහ සෙනෙවි සැක කළා. ඔහු වෛද්‍යවරයා හමු වී ඔහුව බියට පත්කර මා එහි ගිය බව දැන ගත්තා. එදා සිට ඔහු කටයුතු කළේ උන්මත්තකයකු ලෙසයි.”

සමන්තීගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැලෙන්නට විය. ඇගේ ගත සීතල විය. සිරිනාග ඇය වත්තන් කරගෙන එම කුටියෙන් පිට වී විවේකාගාරයේ ආසනයක හිඳගන්නට සැලැස්සුවේ ය. බෝධිනාග ද මහත් වේදනාවකින් පෙළුණේ ය. මිනිසත්කමින් තිරිසනෙක් බවට පත් වූ පුද්ගලයකුගේ අපරාධ හා දූෂණ අනුරාධපුර සොළී පාලනයේ යථාර්ථය සංකේතවත් කරති'යි බෝධිනාගට සිතුණි.

සිරිනාග මගේ දරුවෙක් නොවෙයි. ඒ නිසා සිරිනාගට පුතකුට වගේ සලකන්නට මට බැරිවුණා. ඔහුට ආදරය කරන්නට හදන සෑම අවස්ථාවක ම මගේ සිතට දැනුනේ මිත්‍ර කෙරෙහි තිබෙන කෝපය. විමලී ඉදිරියේ දී දරුවාට ආදරයක් පෑවත් එය බොරු ආදරයක් බව ඇයට හැඟෙන්නට ඇති.

“අප දෙදෙනාගේ ආදරය පළුදු නොවන්නට කළ යුතුව තිබුණේ දරුවා මිත්‍රට දීමයි.”

“මට සැක සිතුණා. ඒ නිසා දරුවා ඔහුට දුන්නේ නැහැ.” “දැන් සිරිනාග මගේම පුතා. පුණ්ණාගේ අයියා. ඒත් මම කොහොමද පුණ්ණාට මේ බව කියන්නේ.”

“අක්කණ්ඩි අපි මේ ගඳ ගසන අතීතය වළලා දමමු. දෛවය විසින් අපේ ජීවිත වඩාත් හොඳ පැත්තකට යොමු කර තිබෙනවා. අපට සතුට සැනසුම අත්පත් කර දී තිබෙනවා. දැන් අපේ අනාගතය සිරිනාගට බාරයි. ඔහුට ඉදිරියට යන්නට අපේ උපරිම සහාය ලබා දෙමු.”

මම අද උදේ ගෙමිදුලේ කොනක සුමන මහ සිටුතුමාගේ මිරිවැඩි සඟලක් තියෙනවා දුටුවා. මිත්‍ර මහ සෙනෙවිගේ කුටියේ තියෙන සියලු ගෘභාණ්ඩ මහ සිටුමැදුරෙන් ගෙනාපුවා.”

“පියාණෙනි, මිත්‍ර ගේ මැදුරේ තිබෙන අගනා ගෘහ භාණ්ඩ, උපකරණ සියල්ලම මහ විහාරයෙන්, නැතිනම් සිටු ගෙදරකින් සොරකම් කළ දේවල්. මෑණියන්ගේ සිත කම්පාවට පත්වෙන නිසා මම ඒවා වෙනස් කළේ නැහැ.”

“අද යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ දී මට සම්මානයක් පිරිනැමෙනවා. එයට වටිනා ගෘහභාණ්ඩ රැසක් ඇතුළත් බව දැන ගන්නට ලැබුණා. රන් කහවනු මල්ලක්, ගොඩමඩ, ඉඩම්, ඇතුළු තවත් වටිනා තෑගි රැසක්.”

මම මේ සියලු තෑගි, සම්මාන, උපහාර ප්‍රතික්ෂේප කළා. නමුත් රජතුමාගේ සිතේ අසතුටක් ඇතිවන්නට ඉඩ නොදී මෙය භාරගන්නට කියලා දීඝජන්තු මහ සෙනෙවිතුමා කීවා. රාජසභාව නොපවත්වන අද දිනට එය යොදාගත්තේ මගේ ඉල්ලීමටයි.

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]