[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත එකලු කළ ගම්මැදගම ඥානිස්සර නාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරේ

සසුන් කෙත එකලු කළ ගම්මැදගම ඥානිස්සර නාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරේ

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ ,මාතර මහ දිසාවේ අධිකරණ සංඝ නායක , රොටුඹ පෙත්මග පුරාණ රාජමහා විහාරය,දෙන්කන්දළිය බෝධිරාජාරාමය. තල්ගස්තැන්න මගධ විහාරය යන විහාරත්‍රයාධිපති, විශ්‍රාමික විදුහල්පති, ශ්‍රාස්ත්‍රපති ,සද්ධර්‍ම කීර්ති ශ්‍රී පඤ්ඤාසාරාභිධාන , ගම්මැදගම ඥානිස්සර නාහිමිපාණන්ගේ පළමු ගුණ සමරු පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් මස 01 වැනි දින රොටුඹ පෙත්මග පුරාණ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. පසුගිය 2021 වසරේ අගෝස්තු මස 31 දින අලුයම් කාලයේ දී මාතර මහ රෝහලේදී අපවත් වූ උන්වහන්සේ, අපවත්වන විට 68 වන වයස් පිරිපුන්ව සිටි සේක .

මාතර දෙයියන්දර ගම්මැදගම ග්‍රාමයේ වැදගත් කුල පරම්පරාවකට හිමිකම් කියමින්, “හේනෙගෙදර,, විසූ මුණසිංහගේ සර්දියස් මහතා ගේ සහ මුණසිංහ ආරච්චිගේ කවනිහාමි මාතාවගේ සිව්වැනි දරුවා ලෙස ,1953 වසරේ මාර්තු මස 15 වැනි දින ජනිත වූ මෙම පින්වත් කුලකුමරුවා, මුණසිංහගේ කුලරත්න නම් විය. සහෝදරියන් දෙදෙනකුගේත්, සහෝදරයන් හය දෙනකුගේත් සෙනෙහස ලබමින් ළමා කාලය ගෙවමින්, ගම්මැදගම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික සිප් සතර හැදෑරී ය. කාලය ගෙවී යන අතර තුර ආගම දහම ගැන ඇති වූ නොතිත් ආසාව නිසා , රොටුඹ පෙත්මග පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති, රොටුඹ පඤ්ඤාසාර හිමිපාණන්ගේ ආචාර්‍ය උපාධ්‍යයත්වයෙන්, 1968 වසරේ පෙබරවාරි මස 15 වැනි දින ප්‍රවෘජා භූමියට ඇතුළත් වූහ.

දහම් අධ්‍යාපනය සඳහා, ඌරුබොක්ක ශ්‍රී මේධංකර පිරිවෙණෙහි ආරම්භක පළමු ශිෂ්‍යය ලෙස ඇතුළත් ව, ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ පසුව සපුගොඩ විද්‍යානිකේත පිරිවෙණෙන් පිරිවෙන් අධ්‍යාපනය නිමා කරන ලදී. 1974 වසරේ ජුනි මස 8 වැනි දින මහනුවර සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මංගල උපෝශථාගාරයේ දී ,රොටුඹ පඤ්ඤාසාර හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙස අධිශිල සංඛ්‍යාත උපසම්පදා ශිලයට පත් වූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී උපාධියත්,කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලැබූ උන් වහන්සේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් ද ලබා ගත්හ.

ආචාර්යවරයකු ලෙස රජයේ ගුරු සේවයට එක්ව ඉන්පසුව , මාර නාරන්දෙණිය මහා විද්‍යාලයේ උප විදුහල්පතිවරයා ලෙසත්,විදුහල්පතිවරයා ලෙසත් සේවය කර ඉසිඹු ලැබූහ.

1991 වසරේ දී රොටුඹ පෙත්මග පුරාණ රාජමහා විහාරාධිපති හිමියන්ගේ අපවත් වීමෙන් පසුව, විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ, රොටුඹ හා තදාසන්න ගම් වරයන්ට දහම් ප්‍රඥාව ලබා දෙමින් ශාසනික මෙහෙවර ඉටුකරමින්, සිටියදී 2014 වර්ෂයේ මාර්තු මස , මල්වතුපාර්ශවයේ ගරුතර මහා කාරක සංඝ සභාව විසින් මාතර මහ දිසාවේ අධිකරණ සංඝනායක ධූරය උන්වහන්සේට පිරිනමමින් අක්තපත්‍ර ප්‍රදානය කර තිබේ..

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මොරවක්කෝරළයට තිබූ ඓතිහාසික සම්බන්ධතාව පිළිබඳ කරුණු සොයා බලා, රොටුඹ ගමට ඇති සම්බන්ධතාව අනුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පවත්වන උපහාර පූජාවක් ලෙස, රොටුඹ පෙත්මඟ පුරාණ රාජ මහා විහාරස්ථානය මඟින් ශ්‍රී දළදා සමිඳුන්ට පූජෝපහාර සඳහා වූ ඇසළ මහා දළදා පෙරහැර වර්ෂ 16 පුරා පවත්වාගෙන ඒමට උන්වහන්සේ පියවර ගැනීම පළාත් වාසීන්ගේ නොමඳ අගැයීමට බඳුන් වූහ.

ශාස්ත්‍රවේදී රොටුඹ පියසිරි, ශාස්ත්‍රවේදී ඇහැලකන්දේ රතනසාර යන හිමිවරුන් ඇතුළු සාශනික මෙහෙවර සඳහා, තම ආචාර්‍ය්‍යත්වයෙන්, ශිෂ්‍ය හිමිවරු පිරිසක් තනා ඇති ඥානිස්සර හිමිපාණන් ඝෘජු තීරණ ගැනීමේ සහ සමාජ සේවා නායකත්වයේ ප්‍රතිමූර්තියක් ද වූහ.

සැප්තැම්බර් මස 2 වැනි දින රාත්‍රී පරිත්‍රාණ ධර්‍ම දේශනාවක් පවත්වා,පසු දින මහා සංඝ රත්නය විෂයයෙහි පිරිනමන සපිරිකර සංඝගත දක්ෂිණාවෙන් පසුව අපවත් වී වදාළ මාතර මහ දිසාවේ අධිකරණ සංඝනායක,පඤ්ඤාසාරාභිධාන ශාස්ත්‍රපති, ගම්මැදගම ඥානිස්සර නාහිමිපාණ වහන්සේගේ පළමු ගුණසමරු පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට විහාරස්ථානාධිපති ශාස්ත්‍රවේදී ඇහැලකන්දේ රතනසාර හිමියන් ප්‍රධාන විහාරස්ථ දායක සභාව සහ ගම්වාසීන් විසින් පියවර ගෙන ඇත.

අප නාහිමිපාණන්ට උතුම් වූ ,අමාමහ නිවන් සුව ලැබේවා.

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]