[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරෝගී බවට සැහැල්ලු පැවතුම්

නිරෝගී බවට සැහැල්ලු පැවතුම්

ලෝභී ස්ත්‍රිය වරෙක හංසයා අල්ලා සියලු පිහාටු සිඳ ගත්තා ය. නමුත් සිඳ ගත් පසු එම පිහාටු නොරන් විය. අධික තණ්හාව නිසා ලැබෙන්නට තිබෙන දෙය ද නොලැබී ගියේ ය. අධික තණ්හාව නැතිව ලද දෙයින් සතුටු ව සිටියේ නම් ස්වර්ණ හංසයා මැරෙන තුරු ම ස්ත්‍රියට ද සතුටෙන් ජීවත්විය හැකි ව තිබිණ.

මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් අභිනව සංස්කෘතිය පාදක කොට ගෙන ලංකාවේ විශාලතම සමාජ විපර්යාශයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් ඇති විය. භික්ෂු ජීවිතය ආදර්ශ කොට ගෙන චාම් දිවිපෙවෙතකට ජනතාව හුරු විය.

අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මං මුළා වී සිටි ජනතාවට සද්ධර්මාලෝකයෙන් නුවණැස පහළ වී ඔවුහු උත්තරීතර ජීවිත ගත කරන්නන් බවට පත්වූහ.

දෛනික ජීවිතය ගත කිරීමේ දී බොහෝ දුරට බුදු දහමෙහි ඉගැන්වෙන ජීවන ප්‍රතිපදාවන් තම ජීවිතයට ළං කර ගෙන, ඒ අනුව ජීවිත සකස් කර ගැනීමට උත්සාහ කළහ.

සමාජ සාරධර්ම කථා කෙරෙන සිඟාලෝවාද , පරාභව, වසල වැනි සූත්‍රවල සහ මංගල, කරණීයමෙත්ත වැනි බොහෝ සූත්‍ර ධර්මවල ඉගැන්වීම්වලින් පැහැදිලි කෙරෙන ගුණ ධර්ම ප්‍රායෝගික ව තම ජීවිතවලට ඈඳා ගැනීමට උත්සාහ කළහ.

සමාජයේ බොහෝ ගැටුම් නිර්මාණය වනුයේ “සතුට” සංතෘප්ත කරණයෙහි විෂමචාරි තරගකාරිත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. බුදු දහමෙහි ද සතුට මහ ඉහළින් වර්ණනා කර ඇත. “සන්තුට්ඨි පරමං ධනං”, “සන්තුස්සකෝ ච සුභරෝච”, “ සන්තුට්ඨි ච කතඤ්ඤුතා” ආදී දේශනා පාඨවලින් ඒ බව ස්ඵූට වෙයි. මෙහි දී අවධාරණය කර ඇත්තේ ලද දෙයින් සතුටුවීමයි.

උත්සාහවත් ව ජීවන වෘත්තියෙක යෙදී, ලැබෙන පමණින් සතුටුවීමයි.

වුවමනාවට වඩා බලාපොරොත්තු සිත තුළ පුරවාගෙන ජීවත්වෙන පුද්ගලයා අති‍්‍රච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන ක්ලේශ ධර්ම සමඟ ජීවත්වෙන කෙනකු වශයෙන් බුදුදහමෙහි හඳුනා ගෙන ඇත. අතිච්ඡතා මානසිකත්වය ඇති පුද්ගලයා තමන් ළඟ ඇති දෙයින් සතුටු නොවී අනුන් ළඟ ඇති දෙයට ආශා කරන පුද්ගලයා යි. අත්‍රිච්ඡතා පුද්ගලයා තමන් කරන රැකියා හොඳමදි.

සමාජ පිළිගැනීමක් නැහැ. ගෞරවයක් ඇත්තේ නැහැ. ප්‍රමාණවත් පඩියක් ලැබෙන්නේ නැහැ. අරයා කරන රැකියාව නම් හොඳයි, කවුරුත් සලකනව, හොඳ පඩියකුත් තියෙනව ආදි වශයෙන් සිතමින් ශෝක වෙයි. පසුතැවිලි වෙයි. සමහර විට තිබෙන රැකියාව අතහැර හොඳ රැකියාවක් සොයා ගැනීමට ගොස් දෙකම නැති කර ගනී.

ඒ ලද දෙයින් සතුටුවීමේ ගුණය නැති නිසයි. සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමේ දී මෙම ලද දෙයින් සතුටුවීම අත්‍යවශ්‍යම ගුණාංගයකි. ආශාවන් පසුපස බිරිඳ හෝ ස්වාමිපුරුෂයා හඹා යන්නේ නම් සමාජයේ තිත එහිම තැබෙයි.

සතුට නැති කරන තවත් දුර්ගුණයකි, මහිච්ඡතාව. කොපමණ තිබුණත් සෑහීමකට පත් නොවී තව තවත් එකතු කිරීමට දුක් විඳීමයි. “න කහාපණ වස්සේන තිත්ථි කාමේසු විජ්ජති”

කහවණු වැස්සක් වැස්ස ද ආශාවන් ඇති තැනැත්තා තෘප්තිමත් නොවෙයි. සෑහීමකට පත් නෙවෙයි. යම් පවුලක බිරිඳ ආශා කරන දේ ස්වාමිපුරුෂයා විසින් කෙතරම් ගෙනත් දුන්න ද, සෑහීමකට පත් නොවන්නේ නම්, එම පවුල් ජීවිතය දෙදරා යාමේ දිනය ඈතක නොවේ.

ස්වාමියා උපයන දෙය බිරිඳ තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට යොදවන්නේ නම්, ස්වාමියා කෙතෙක් ඉපයුව ද ඒ සියල්ල විනාශ වෙයි. ඇවිලෙන ගින්නට කොපමණ දර දැම්මත් ගින්නට සෑහීමක් නැත. මහා සාගරයට ගංගාවලින් කොපමණ ජලය ගලා ආවත් සාගරයට සෑහීමක් නැත.

එලෙසම මහිච්ඡතාවයෙන් යුත් පුද්ගලයාට කොපමණ ලැබුණත් සෑහීමකට පත් නොවේ.

අනෙක් අතට මහිච්ඡතාව ඇති පුද්ගලයා පරිත්‍යාගයට පසු බසී. දෙන දෙයින් ඉමහත් අඩුවක් ඇති වේ යැයි ඔහු කල්පනා කරයි. පාපිච්ඡතා පුද්ගලයා ද ලද දෙයින් සතුටු නොවී තමන් ළඟ නැති ගුණ මවා පෙන්වමින් බොරුවෙන් වංචාවෙන් ලෝකය රවටා ලාභ සත්කාර ,ගෞරව සම්මාන, ගරු බුහුමන් ලබා ගැනීමට උත්සාහ කෙරෙයි.

එබැවින් මේ සමාජයේ සැපෙන් සතුටෙන් ජීවත්වනුයේ අත්‍රිච්ඡතා මහිච්ඡතා හෝ පාපිච්ඡතා පුද්ගලයා නොව ලද දෙයින් සතුටු වන පුද්ගලයායි.

මාගේ උත්සාහයට මෙපණ සෑහේ ය. මගේ දැනුමට, මගේ හැකියාවට මෙය ප්‍රමාණවත් වේ ය යනුවෙන් සිතා ලද පමණින් සතුටු විය හැකි තැනැත්තා සුව සේ වෙසෙයි.

ලැබෙන දෙයින් සතුටට පත් නොවී, අධික ලැබීමක් පතන අයට ලැබෙන දෙය පවා නොලැබ දුකට පත්වන බවට කදිම උදාහරණයකි, ස්වර්ණ හංස ජාතකය. ස්වර්ණ හංසයා අනුන්ට බැලමෙහෙවර කරමින් ජීවත්වන ස්ත්‍රියකට අනුකම්පා කර වරින් වර එහි ගොස් ඇයගේ යැපීමට එක් එක් පිහාටුව බැගින් දමා පැමිණියේ ය.

ලෝභී ස්ත්‍රිය වරෙක හංසයා අල්ලා සියලු පිහාටු සිඳ ගත්තා ය. නමුත් සිඳ ගත් පසු එම පිහාටු නොරන් විය. අධික තණ්හාව නිසා ලැබෙන්නට තිබෙන දෙය ද නොලැබී ගියේ ය. අධික තණ්හාව නැතිව ලද දෙයින් සතුටු ව සිටියේ නම් ස්වර්ණ හංසයා මැරෙන තුරු ම ස්ත්‍රියට ද සතුටෙන් ජීවත්විය හැකි ව තිබිණ.

ලද දෙයින් සතුටු ව ජීවිත සකස් කර ගත් අය පහසුවෙන් පෝෂණය කළ හැකි වෙයි. කරණීයමෙත්ත සූත්‍රයට අනුව කෙනකුගේ ජීවිතය සුහර ජීවිතයක් විය යුතුයි. ස්වාමි පුරුෂයාට භාර්යාව බරක් නොවිය යුතු ය. මව්පියන්ට දරුවන් බරක් නොවිය යුතුයි. ඇතැම් භාර්යාවරුන්ට වස්ත්‍රාභරණ ලබා දී සතුටු කළ නොහැකි වෙයි.

කෙතරම් වටිනා අඳුමක්, පැළඳුමක් ලබා දුන්නත් අඩුපාඩුවක් ම දකියි. දීමනාව අගය නොකරයි. නො ගැලපෙන එකක් සේ සලකා පැත්තකට දමයි. ස්වාමිපුරුෂයා දුක් මහන්සි ව ගෙන එන දේ එලෙස නොසලකා හැරීමෙන් කෙතරම් වේදනාවකට ස්වාමිපුරුෂයා පත්වෙයි ද යන්න නොසිතන භාර්යාවෝ සිටිති.

සමහර දරුවන් කුඩා කල සිට ම පුරුදු වනුයේ මව්පියන්ට වධ වේදනා දෙන ජීවිත ගත කරන්නට ය. එම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කර නිම කරන්නට මව්පියන්ට නොහැකි වෙයි. කාලය, ආදායම, ප්‍රදේශය, සමාජ පරිසරය ආදිය තේරුම් ගෙන ඒ අනුව ජීවිත ගත කිරීමට උත්සාහ කළ යුතු ය. එලෙස සුභර ජීවිතවලට හුරුවීම බුදුදහමට අනුව ජීවිත ගත කිරීමකි.

එසේම කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් තවත් වචනයකි. “සල්ලහුකවුත්ති” – (සැහැල්ලු දිවිපැවැත්ම) බොහෝ විට සැහැල්ලු දිවිපැවැත්ම කඩා වැටෙනුයේ අනුකරණය කිරීමට යාමෙනි.සමහර අය මෙම තරගකාරි අනුකරණයට මැදිහත් වනුයේ අනුන්ට ණය තුරස්වීමෙනි. “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ යන ආප්තෝපදේශ සැකසී ඇත්තේ මෙබඳු අය පිළිබඳව යි.

ලද දෙයින් සතුටුව, සුභර ජීවන රටාවකට හුරුව සැහැල්ලු දිවිපැවැත්මක් ඇත්තේ ද ඔහුගේ මනස ද නීරෝගි වෙයි. බොහෝ බලාපොරොත්තු, බොහෝ ප්‍රාර්ථනා ඔහුට ඇත්තේ නැත. අනවශ්‍ය බලාපොරොත්තු ඇතිව සිටීමෙන් සිත රෝගී වෙයි. කායිකව දුර්වල වෙයි. ලද දෙයින් සතුටුව ජීවිත ගත කරන්නන් නීරෝගී බවට කදිම උදාහරණයකි. මුගපක්ඛ ජාතකයේ කැලයේ තපස් රකින තේමීය කුමරු කැඳවාගෙන ඒමට ගිය කසී රජු ලුණුත් නැති, කරකොළ ආහාරයට ගෙන තපස් රකින ඔබගේ ශරීර වර්ණය මෙතරම් ප්‍රසන්න වූයේ කවර හේතුවකින් දැයි විචාළේ ය. එවිට තේමීය කුමරු,

“මම අතීතයේ මෙබඳු දේ නොලැබුණේ යැයි කියා හෝ ,අනාගතයෙහි මෙබඳු සම්පත්ති ලබමි’යි කියා හෝ අධික ප්‍රාර්ථනා තබා නො ගෙන වර්තමානයෙහි ලැබුණු දෙයින් තෘප්තියට පැමිණ වාසය කරමි’යි දක්වමින් තම ශරීර වර්ණය ද ඇතිව සිතේ සතුටෙන් ජීවත්වන බව ප්‍රකාශ කළේ ය.

ලෝකයේ බොහෝ අය නැසුණු වස්තුවට ශෝක කරති. නොලැබුණ වස්තුව ප්‍රාර්ථනා කරති. එබැවින් තෘෂ්ණා ශෝක දෙකෙන් තැවී දුර්වර්ණ වන්නා වූ දේහ ඇති පුද්ගලයන් මුලින් කපා අව්වට දමන ලද නළ දඬක් මෙන් වන්නේ යැයි සඳහන් වේ.

මිහිඳු මාහිමිපාණන් වහන්සේ හඳුන්වා දෙන ලද සැහැල්ලු දිවි පැවැත්මේ වටිනාකම මුළු මහත් සමාජයට ම ප්‍රායෝගික ව අවබෝධ වන කාලයකි. මේ එබැවින් නැවතත් එම දේශනා පිළිබඳ අවධානය යොමු කොට සැපවත් ජීවිත ගත කිරීමට උත්සාහවත් ව ක්‍රියා කළ යුතු බව පෙන්වාදීමට කැමැත්තෙමි.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]