[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2022-06-14

අභිමානවත් දේශයක ඇරඹුම


මිහිඳු මහරහතන් වහන්සේ හෙළදිවට වැඩම කළ උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස්හය වැනි වර්ෂයේ දී දඹදිව වේදිසාවේ සිට මිහිඳු මහරහතන් වහන්සේ හෙළදිව මිස්සක පව්වට හෙවත් මිහින්තලයට වැඩම කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට පෙර පොසොන් පොහොය දිනය යනු හෙළදිව් වැසියන්ට සැනකෙළි දිනයකි. තිස්ස රජතුමා සේනා පිරිවරා මුවදඩයමේ ගියේ එබැවිනි. රජතුමාගේ පටන් සමස්ත රටවැසියාගේ ආහාර රටාවත්, සමාජ සංස්කෘතික පරිසරයත් ප්‍රාථමික විය. විනෝදකාමී ජීවිතයක් ගත කළහ. පෙර කිසිදු දිනක නොදුටු පිරිසක් දුටු රජතුමා ඔවුන් අමතා කවුරුන්දැයි ප්‍රශ්න කරයි. එහි දී මිහිඳු මහ රහතන් වහන්සේ

“සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා, තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉදාගතා” යන ගාථාවෙන් පිළිතුරු සපයති. රජතුමාගේ බුද්ධියත්, දැනුමත් පරීක්ෂා කිරීමට ඥාති ප්‍රශ්නය සහ අඹ ප්‍රශ්නය විමසති.

රජතුමාගේ බාහිර පෙනුම හෝ ඔහු කරමින් සිටි ක්‍රියාව හෝ නො සලකා මිහිඳු මහරහතන් වහන්සේ පළමුවෙන් ම පරීක්ෂා කරන්නේ බුද්ධියයි. මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනාවකි. රජතුමාගේ ප්‍රඥාවෙන් වැඩ ගැනීමේ කාර්යය ආරම්භ කරන්නේ අනතුරුවයි. එය නායකයකුගේ ප්‍රමුඛ ලක්ෂණයකි.

යම් ක්‍රියාවක් කිරීමට පෙර ඔහුගේ හෝ ඇයගේ ප්‍රඥාව සහ දැනුම විමසා බැලිය යුතු ය. රජතුමාත්, රටවැසියාත් පුරුදු වී සිටියේ ගස්, ගල්, පර්වත, නාග ඇදහිලි ආදිය විශ්වාස කිරීමටයි. ඒවා සම්පූර්ණයෙන් ම බැහැර කර ත්‍රිවිධ චෛත්‍ය වන්දනයට හුරු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, දළදා වහන්සේත්, පාත්‍රා ධාතුන් වහන්සේත් හෙළදිවට ලැබුණි. හෙළ රාජ්‍ය වංශය හෙබවූ රජවරු බුදු දහමට අපමණ භක්තියක් දැක්වූහ. සද්ධාතිස්ස, ධාතුසේන, මුගලන්, බුද්ධදාස, සිරිසඟබෝ වැනි උදාර නම් පවා තමන්ගේ නාමයන් සඳහා යොදා ගත්හ. ඔවුන්ගේ ජීවිතය සරල සහ දැහැමි විය. රටවැසියාත් ඒ මඟ යොමු කළහ. මුහුද පරදන මහ වැව්, අහස සිඹින දාගැබ් ඉදිවූයේ බෞද්ධාගම කෙරෙහි පැවැති ශ්‍රද්ධාව නිසා ය. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට සම්බුදු දහම හඳුන්වාදීමත් සමඟ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය මුල්කර ගනිමින් හෙළදිව අපූර්ව සංස්කෘතියක් නිර්මාණය විය.

රටවැසියාගේ විනෝදය පිණිස අටළොස් කලාවක් හඳුන්වා දී බුද්ධි වර්ධනය සහ රසඥතාව වර්ධනය කළහ. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය වැනි සාහිත්‍ය නිර්මාණත්, සඳකඩපහණ, සමාධි පිළිමය, ලෝවාමහාපාය, අවුකන පිළිමය වැනි විශ්මිත නිර්මාණත් බිහි වන්නේ ඒ හේතුවෙනි. හෙළ කලාවේ නූතන දියුණුවට සෘජුව සහ වක්‍රව මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා බලපා තිබේ.

අරිට්ඨ කුමරුගේ සහ අනුලා දේවියගේ පැවිද්දත් සමඟ භික්ෂු සහ භික්ෂුණී ශාසනය ඇති විය. සමස්ත රටවැසියා ම උපාසක සහ උපාසිකා නාමයට අයත් වූහ. කුලයෙන් හෝ ධනයෙන් හෝ තනතුරින් හෝ උසස් යැයි හෝ පහත් යැයි හෝ නො සැලකූහ. ඔවුන්ගේ ක්‍රියාව ම අගය කළහ. පංචසීලය රටේ නීතිය බවට පත් කළහ. සමූහිකව වැඩ කිරීමේ සාර්ථකත්වය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රායෝගිකව පෙන්වා වදාළහ. නූතනය තාක්ෂණයෙන් ඉතා ඉහළ ය. කාර්මීකරණය, නාගරීකරණය පෙරට වඩා දියුණු ය. භෞතික දියුණුව කොතරම් සාර්ථක මට්ටමක පැවතියත් ආධ්‍යාත්මික දියුණුව පහළ ස්ථරයක පවතින්නේ නම් එම සමාජය දිනෙන් දින පිරිහෙන බවත්, ලැබූ භෞතික දියුණුව නිෂ්ඵල බවත් මිහිඳු මහරහතන් වහන්සේ තථාගත ධර්මය ප්‍රායෝගික කරමින් පෙන්වා වදාළහ. මිහිඳු මා හිමියන් මේ ලක්දිව ධර්මද්වීපයක් කරන්නට මුල පිරූ අදවන් දිනෙක ඒ ප්‍රායෝගික ධර්මය අපගේ ජීවිතවලට ද පුරුදු පුහුණු කිරීමට අධිටන් කර ගනිමු.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]