

සම්බුදු දහම අපට ලැබුණ දා
ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත්ම පොහොය දිනයකි පොසොන් පොහොය දිනය. ඒ
ධර්මාශෝක අධිරාජයාගේ පුතු වූ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම රැගෙන අප රටට
පැමිණි දිනය වීමයි.
මුව දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුණේ සිට
“තිස්ස” කියා ආමන්ත්‍රණය කළ මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදු දහම ප්‍රචාරය කිරීමේ
මහඟු කාර්යය ආරම්භ කළ සේක. පොසොන් පෝදා සිහිපත් කරමින් රටපුරා පොසොන් පෙරහර රාශියක්
ද පැවැත්වේ.
දීත්ම සජාර ජයසිංහ
06 ශ්‍රේණිය
සිරි විමලසිරි ඉංගී්රසි දහම් පාසල, පොල්පිටිමූකලාන
****
පොසොන් පොහෝදා
පොසොන් පොහොය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයට බුදුදහම ලැබූ දිනය නිසයි. අපේ
ආගමික, සංස්කෘතික, සමාජයීය හා අධ්‍යාපනික අංශ මෙන්ම අපේ ශිල්ප ශාස්ත්‍ර ආදී සකලවිධ
උපයෝගීතාවන්හි පුනර්ජීවනයක් හා නව ප්‍රබෝධයක් ඇති වූයේ මහින්දාගමනයත් සමඟයි.
දඹදිව අධිරාජයා වූ ධර්මාශෝක රජුගේ පුත්, මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන්
ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස ලංකාද්වීපයේ
මිහින්තලාවට වැඩමකර එවකට රජව සිටි දේවානම්පියතිස්ස රජු හා සිදුකළ අඹ පැනයේ
සංවාදයෙන් පසුව දේශනා කළේ, චුල්ලහත්ති පදෝපම සූත්‍රයයි. පොසොන් පෝදා අටසිල් සමාදන්
වීම වැනි ආධ්‍යාත්මික පිළිවෙත්වලට අමතරව දන්සල් දීම, විශේෂයෙන් ම එදා මිහින්තලා ගල්
පර්වතයේ දී වූ සිද්ධිය මූර්තිමත් කොට නිර්මාණ තැනීමත්, පරිසරය වර්ණවත් වන අයුරින්
විදුලි බුබුළුවලින් සැරසීමත් බෞද්ධ කොඩිවලින් සැරසීමත් මෙදින දැකිය හැකි සුවිශේෂයන්
වේ.
ඩී.පී. අනූපමා නෙත්සරණි
9 ශ්‍රේණිය
සුවිසුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත
****
ලක් දෙරණට පෑයූ සුපුන් සඳ

මිහිඳු සමිඳු සිරිලක් දිව වැඩි දින
මුව දඩයමේ සිටියා අප රජුන් කැලේ
රජුට දම් දෙසූ හිමි ගුණ කඳ මෙකලේ
සිහිපත් කරමු බොදු දන අලස මෙත් සිතිනේ
රාග ගින්න ඇවිලෙයි සත වනසාලා
ලක්දිව සැමට සම්බුදු ගුණ පෙන්වාලා
දයා සිසිලසෙන් සත සිත එකලු කළා
පොසොන් පෝය සඳ දෙරණට පායාලා
මෝහ අඳුර දුරලා මේ ලක් දෙරණේ
දම් දෙසුවා අනුබුදු හිමි අඹ සෙවණේ
ඒ සිල් සුවඳ තවමත් අප සිතට දැනේ
තවමත් රැව් දෙනවා අනුබුදු හිමි සඳුනේ
වටරැක ඤාණවංස හිමි
2 ශ්‍රේණිය
ප්‍රඥානන්ද පිරිවෙන,මහරගම
****
දැහැමි දෙරණක ඇරඹුම
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ උතුම් පොසොන් පෝය දාක ය. ඒ සමඟම ලක්
වැසියන්ට සසරින් එතෙර වීමේ මාර්ගය උදා වුණි. එදා දේවානම්පියතිස්ස රජු මුව දඩයමේ
ගියේය. එදින පොසොන් පොහෝ දිනයක් විය. රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස
දැක ඔබලා කවුරුන්දැයි විමසුවේ ය. පසුව මිහිඳු හිමි රජුගේ පැනයට පිළිතුරු දෙමින් අපි
ගෞතම බුදුරදුන්ගේ ශ්‍රමණ පුත්‍රයෝ වෙමු ඔබ ගැන අනුකම්පාවෙන් සසරින් එතෙර කරවීම
පිණිස වැඩම කළෙමු කියා පිළිතුරු දුන්හ. රජතුමා දුනු ඊතල බිම දමා, දන නමා නමස්කාර
කළේ ය. මිහිඳු හිමි රජුගෙන් ප්‍රශ්න ඇසුවේ ය. රජු පිළිතුරු දුන්නේ ය. රජතුමා ධර්මයට
පැහැදුණු පසුදින මිහිඳු හිමි ඇතුළු පිරිස මාලිගයට වැඩම කළහ. මාලිගයේ සිටි සියලු
දෙනාට ධර්මය දේශනා කොට නිවන් මාර්ගය පහදා දුන් අතර, භික්ෂු ශාසනය අප රටට දායාද කළ
සේක.
මල්කි රුවන්සා
07 ශ්‍රේණිය
ආනන්ද මහා විදුහල, ගාල්ල
****
පින්බර
පෝ
දිනෙක ...
ලක් දනන් ශිෂ්ටාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට ලැබුණු සුපින්වත් දිනයක් ලෙස
පොසොන් පුර පසළොස්වක පෝ දිනය හැඳින්විය හැකි ය. එකල අපේ මුතුන් මිත්තන් යක්ෂයින්,
නාගයින්, වෘක්ෂ දේවතාවන් වන්දනා කරමින් විවිධ මිථ්‍යා විශ්වාසවල සිටි කාලයකි.
එවන් ජාතියකට බුදු දහමේ සදාතනික උරුමය රැගෙන දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය කරන
සමයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ අප මහා තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ නිර්මල වූ
බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කළහ.
ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහ රහතන් වහන්සේත්, සුමන සාමණේරයන් වහන්සේ සහ
භණ්ඩුක උපාසක යන පිරිස මිහිඳු මා හිමියන් සමඟ මෙරටට වැඩම කළහ. ලක්දිව බුදු සසුන
ආරම්භ කළහ. භණ්ඩුක උපාසක තුමා මහණ කරමින් මෙරට ප්‍රථම මහණ උපසම්පදාව සිදුකිරීම,
අනුලා දේවිය ඇතුළු කාන්තාවන් බුදු දහම වැළඳ ගැනීම යනාදී උතුම් සිදුවීම් මාලාවක්
සිදු වීම සම්බන්ධ අසිරිමත් පොහෝ දිනයක් ලෙස පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධ
අපට බොහෝ සේ වැදගත් ය.
තරුෂි ෂෙහාරා තිලකසිරි
11 ශ්‍රේණිය
මෙත්මුණු දහම් පාසල , ඇහැලියගොඩ
****
පොසොන් අසිරිය
පොසොන් සිරියෙන් රටම බබළයි
පහන් එළියෙන් දසත එළියයි
සැම තැනම බුදු ගුණ ම පැවසෙයි
ඔබට සම්බුදු සමිඳු සරණයි
අලුත්වත්තේ සුගත රතන හිමි
ශ්‍රී බෝධිරාජරාම විහාර
ගලේවත්ත
****
පොසොන් පෝදා වැදගත්කම
තිස්ස කුමරු දඩයමේ යමින් සිටියදී, මිස්සක පර්වතයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ මුණ
ගැසුණි. තමන් වහන්සේ කාගේ කවුරු ද යන්නත්, පැමිණියේ කුමකට ද යන්නත් පැහැදූ මිහිඳු
මා හිමියන් තිස්ස රජුගේ දැනුම විමසා බලනු වස් අඹ හා ඥාති යන ප්‍රශ්නයන්ගෙන් ප්‍රශ්න
ඇසූහ.
ප්‍රමාණවත් පිළිතුරු ලබා දුන් රජු හොඳ නුවණැතියකු බව මිහිඳු මාහිමියන්ට අවබෝධ විය.
පසුව උන්වහන්සේ රජු ඇතුළු පැමිණි සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය
දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජු ඇතුළු පිරිස තිසරණ පන්සිල්හි පිහිටු වීමෙන්
බෞද්ධයෝ වූහ.
අන්ධකාරයේ සිටින්නකුට ආලෝකයක් දුන්නා සේ. මං මුළා වූවකුට නිසි මඟ කියන්නා සේ,
මිසදුටු බොහෝ පුද්ගලයන් සම්‍යක් දෘෂ්ඨියෙහි පිහිටුවීම සඳහා මිහිඳු මාහිමියන් විසින්
දේවදුත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය ආදී බොහෝ සූත්‍ර දේශනාවන්
උපයෝගී කරගෙන දහම් දෙසූහ.
මිහිඳු මාහිමියන් දෙසා වදා හළ සම්බුදු දහම ඇසුරු කරගත් අභිනව සංස්කෘතිය හේතු කොට
ගෙන විශාල සමාජ විපර්යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් ලක්වැසියන්
අතර ඇති විය. මෙසේ මිහිඳු මාහිමියන්ගෙන් අපට ලැබුණු ශ්‍රී සද්ධර්මයේ පණිවුඩය රැක
ගනිමින් අනාගත පරපුරට දායාද කිරීමට අප සියලු දෙනා තරයේ සිහියේ තබා ගත යුතු ය.
කන්තලේ
සූරියවංස හිමි,
සුවිසුද්ධාරාමය, වැල්ලවත්ත.
සංස්කරණය - නයනා නිල්මිණි |